මුහුණ හදවත පිළිබිඹු කරන කැඩපතකි. ඉන් අදහස් කරන්නේ හදවතේ ඇති දේ මුහුණින් පිළිබිඹු වන බවයි. බැලූ බැල්මටම මෙම ඡායාරූපයේ සිටින තරුණ රංගන ශිල්පියාගේ මුවෙහි ඇත්තේ ආකර්ෂණීය පුළුල් සිනහවකි. එම සිනහව තුළ වන සුවිශේෂී ලක්ෂණ දෙස බැලුවහොත් ඔහු සිනාසෙන විට කම්මුල් උඩට එසවී මුහුණ දෙපස වළ ගැසේ. නිකට දිගැටි ස්වරූපයෙන් යුතුය. ඇස් දෙක තරමක් ලොකු අතර, නළල් තලයද සුවිශේෂි ආකාරයට පිහිටා තිබේ. ඔහුගේ කන්වල ස්වභාවය දෙස බැලීමේදී ඒ කන් ‘කුළු කන්’ යටතට අයත් බව පෙනේ. මෙය ජනප්‍රිය බවේ ලකුණකි.

කුළු කන් හිමිවීම ජනප්‍රිය වීමේ ලකුණක් ලෙස මා කියද්දී ඇතැමෙකු ඔහු ජනප්‍රිය වී ඇති නිසාම මගේ කියමන බැහැර කිරීමට ඉඩ ඇත. එහෙත් මා මෙහිදී කියන්නේ දේහ ලක්ෂණ විද්‍යාවට අනුව එම ජනප්‍රිය වීමේ අංගලක්ෂණ ඔහු තුළ ඇති බවයි. මක්නිසාද යත් ඇතැමෙකු ජනප්‍රිය භාවයට පත් වුවද එය තාවකාලිකව රඳා පවතින දෙයක් බැවිනි. එය දිගින් දිගටම පවත්වාගෙන යමින් සාර්ථක වීමට ඇතැමෙකුට නොහැකිය. එහෙත් මෙම රංගන ශිල්පියා තම ජනප්‍රිය බව දිගින් දිගටම පවත්වාගෙන සාර්ථක පුද්ගලයකු වනු ඇති බවට එම මුහුණේ ඉරියව් වඩාත් හොඳින් නිරීක්ෂණය මගින් පෙනී යයි.

සිනහව ගත්විට පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධය. මොහු සිනාසෙද්දී එය හදවතින්ම මතුවන සිනාවක් බව කිව හැකිය. හදවතේ එකක් තබාගෙන කිසිවිටක කටයුතු නොකරන මෙවැනි පුද්ගලයින් ඇසුරු කරන්නන් අතරද හොඳ හිත රඳවා ගනී. මොහුගේ නිකටේ පිහිටීම සිනාසෙන විට කම්මුල් වළ ගැසෙන ආකාරය හා දෙඇසේ ස්වරූපය අනුව ඔහුට ආකර්ෂණයේ නම් කිසිදු අඩුවක් නැත. එය ඔහු විසින් ගෙනෙන ලද පෙර පිනකි. පෙර ආත්ම භවයන්හි කරන ලද කුසලා’කුසල කර්ම මතු ජීවිතයන් සදහා බලපාන බව බෞද්ධ පත‍පොතේද සඳහන් වන බැවින් මෙම සිනහවට එම යහපත් කර්ම ශක්තීන්ද බලපා ඇතැයි කිව හැකිය.

මෙහිදී කාන්තා ආකර්ෂණයද ඔහුට නොඅඩුව හිමිවන බව කිව යුතුය. එහෙත් ඔහු තම ආත්ම ගරුත්වය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීමට අමතක නොකරන අතර වඩාත් විචක්ෂණශීලීව තම ජීවිතය පවත්වාගෙන යෑමට කටයුතු කරනු ඇත.

මෙම ඡායාරූපය දෙස හොඳින් නිරීක්ෂණය කිරීමේදී පෙනෙන තවත් දෙයක් තිබේ. ඔහු අත්දෙක තබාගෙන සිටින්නේ මිටි කරගත් ස්වරූපයෙනි. ඉන් හැඟවෙන්නේ තමන් අද මෙන්ම හෙට දිනය ගැනද සිතා කටයුතු කරනු ලබන බවයි.

එමෙන්ම  ඔහුට ඇත්තේ හතරැස් අල්ලකි. ජනප්‍රසාදය ලබමින් කලාවේ විශිෂ්ට තැනකට පත්වනවා මෙන්ම ඔහු ජීවිතයේ කෙදිනක හෝ තමන්ගේ කියා ව්‍යාපාරයකට අත තබන බව ඉතා පැහැදිලිවම කිව හැකිය. මෙහිදී කාර්මික පැත්තට වඩා වැඩි නැඹුරුවක් ඇතිවන හෝ රථවාහන සම්බන්ධ ව්‍යාපාරයකට නිතැතින්ම සම්බන්ධ වන බව කිව යුතුමය. එය අද හෙට සිදු නොවන්නක් විය හැකි නමුත් ඔහුගේ වන අධිෂ්ඨාන සහගත ලක්ෂණයන් අනුව එනම් ඔහු අත තබාගෙන සිටින ආකාරය අනුව නිතැතින්ම අනාගතය ගැන සිතන පුද්ගලයකු බව පෙන්නුම් කෙරේ.

ඔහු ඇතැම් විටක සිතනු ලබන්නේ හැමදාමත් නළුකම් කළ නොහැකි බවයි. මේ ජනප්‍රියත්වය හැමදාම තියෙන්නේ නැතැයිද සිතන ඔහු කිසිදු කරදරයකින් බාධකයකින් තොරව තම ඉදිරි දියුණුව සලසා ගනී. ඔහු කෙදිනක හෝ ව්‍යාපාර පැත්තට යොමුවනවාම යැයි මා කියන්නේ ඔහුගේ දේහ ලක්ෂණ තුළින් එම සිතැඟියාවන් වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි බැවිනි.

මොහුගේ ජනප්‍රියත්වය ගැනද යමක් කිව යුතුය. එය බොහෝ කාලයක් රඳා පවතින ජනප්‍රියකමකි. අලුත් අලුත් දේ ඇතිවන ලොව නළු නිළි මුහුණුද අලුත් වන බැවින් ඔහු සිතන්නේද නළුකම තුළ දිගින් දිගටම රැඳෙන බව නොවේ. එහෙත් ඔහුට තම ජනප්‍රියත්වය ආරක්ෂා කරගනිමින් දීර්ඝ කාලයක් කටයුතු කළ හැකිය. මෙම සිනාවට අනුව ඕනෑම අයකු ඇදී එන බව පැහැදිලිය.

මොහු කවුරුන් ආශ්‍රය කරනු ලැබුවද මිත්‍රශීලීත්වය ආරක්ෂා කරගනිමින් කල්පනාකාරීව එම ආශ්‍රය පවත්වාගෙන යනු ලබයි. එනම් ජරා නමක් ගාගන්නේ නැත. ඕනෑම අයකු ඇසුරු කරන අතර කරන ඕනෑම දෙයක් කිහිප වරක් සිතා කිරීමට ඔහු පසුබට නොවන බව කිව යුතුය.

තම පවු‍ලේ අයටද හිතවත් වන අතර, උදව් කිරීමටද පසුබට වන චරිතයක් නොවේ. ඔහු බොහෝවිට සිතනු ලබන දෙයක් වන්නේ තමා ජනප්‍රිය වූවා මෙන්ම ඊට මුල්වූ කුසල කර්ම තව තවත් දියුණු කරගැනීමට නම් අන් අයට වඩ වඩාත් උදව් කිරීම වැදගත් බවයි.

මෙහිදී නෑයා වේයා මීයා කියන්නාක් මෙන්ම ඥාතීන්ට පමණක් උදව් කළ යුතු යැයි අදහසක් ඔහු තුළ නැති අතර සම මට්ටමේ හිඳිමින් යම් දක්ෂතාවක් වේ නම් එවැනි පුද්ගලයකුට අත හිත දී ඔහු ලබන සතුට සුවිසල් විය හැකිය. ඒ අනුව රොෂාන් රණවන බොහෝ වැදගත් චරිත ලක්ෂණයන්ගෙන් හෙබි අයකු බව මෙම දේහ ලක්ෂණ නිරීක්ෂණයෙන් කිව හැකිය.
දේහ ලක්ෂණ විද්‍යා විශාරද සමන් ජයතිලක | සටහන දීපා වසන්ති එදිරිසිංහ