නව රජය විදිහට මෙරට මැණික් කර්මාන්තය දියුණු කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (19) පැවැති ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා මෙසේද පැවසීය.
“මම ඉතාමත් සතුටු වෙනවා අද ශ්‍රී ලංකා රත්න විද්‍යාඥයන්ගේ සංගමය විසින් පවත්වනු ලබන දෙදින ප්‍රදර්ශනයක් සමග ඊට අදාළ විවිධ කාර්යයන් සඳහා සම්පාදනය වූ වැඩසටහන් ක්‍රියාත්මක වන අවස්ථාවක ඔබ සමග එක්වීමට ලැබිම ගැන.

මේ රත්න විද්‍යාඥයින්ගේ සංගමය මීට පෙර මට හමු වෙලා නැහැ. කෙසේ වෙතත් මීට කලින් අපි හමුවුණා නම් හොඳයි කියලා මම හිතනවා. මැණික් කර්මාන්තය සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් පිළිබඳ තිබෙන අවශ්‍යතාව පිළිබඳව ඔබේ අදහස් සහ යොජනා ලබා ගැනීම සඳහා.

ඒ කෙසේ වෙතත් අද මට මෙම අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව ඔබ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. වාර්ෂිකව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන කිහිපයක් පැවැත්වෙන බව මම දන්නවා. ඒ අතරේ ඔබේ සංවිධානය අද මේ පවත්වන ප්‍රදර්ශනය දීර්ඝකාලීනව කරගෙන ආ වැඩසටහනක්. ඒ පිළිබඳ ඔබ සියලු දෙනාටම මගේ ගෞරවය  සහ ස්තූතිය පිරිනමනවා.

මැණික් පිළිබඳව කතා කරන විට ශ්‍රී ලාංකික ඉතිහාසයට වසර දහස් ගණනක කතාවක් තිබෙනවා. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළේ. චුලෝදර – මහෝදර සහෝදරයින්ගේ මැණික් පුටුවට ඇති වූ ආරවුල නිරාකරණය කිරීම සඳහා කියන එක අපේ බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම අපේ රට රත්න භූමිය, රත්න දීපය විදිහට හැඳින්වීම ඉතිහාසයේ පටන්ම අපට ලැබුණු ගෞරවයක්.

අපේ රටේ රාජ්‍යයන්හි කටයුතු කළ එක් එක් රජවරුන්ගේ රාජ පරම්පරාවන් පිළිබඳ ඉතිහාසය ගත් විට රාජ්‍ය නාමාවලිය තුළ අනුරාධපුර යුගය, ‍පොළොන්නරු යුගයේ සිට කෝට්ටේ යුගය දක්වාත් ඒ වගේම අවසානයේ මහනුවර රාජධානිය දක්වාත් ඒ සියලු රාජ්‍ය පාලන කාලයන් තුළ රජවරුන්ගේ සහ රාජ්‍යයේ මැති ඇමැතිවරුන්ගේ සිට රජ බිසවුන්ගේ, කුමරියන්ගේ අලංකාරයට මැණික් පැලඳි බව අපි දන්නා කරුණක්.

මම පසුගිය ජනවාරි මාසයේ ජනාධිපති ධුරයට පත් වෙලා මගේ මතකයේ හැටියට මම මාර්තු මාසයේ මහා බ්‍රිතාන්‍යයට ගියා එළිසබෙත් මහ රැජිණ හමු වීම සඳහා. ඒ යන විටත් මහ රැජිණට තෑගි දෙන්න මම අරගෙන ගියේ අපේ මැණික් ගලක්. මමත් මගේ බිරිඳත් එළිසබෙත් මහ රැජිණට මැණික් ගල තෑගි කරන කොට එය එතුමිය අතට අරගෙන එතුමියගේ උරහිසට අත තියලා පෙන්නුවා පැලඳගෙන ඉන්න මැණික් ගල් කිහිපයක්, මේවත් ශ්‍රී ලංකාවේ මැණික් කියලා.

ඉතින් එයින් පෙනී යනවා ඈත අතීතයේ සිට වගේම අද දවසේත් ලෝකයේ රාජ්‍ය නායකයන් සියලුදෙනා තුළත් මැණික් කර්මාන්තය විදිහට ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයෙත් අපේ මැණික් පිළිබඳව තිබෙන පිළිගැනීම ගෞරවය වගේම අපේ මැණික්වල තිබෙන ප්‍රමිතිය, වටිනාකම සහ ගුණාත්මකභාවය පිළිබඳව.

ඒ නිසා අපි නව රජය විදිහට අපේ මැණික් කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. මීට සති දෙකකට පෙර පාර්ලිමේන්තුවේ පරිසර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සාකච්ඡා වෙන වෙලාවේ මට මතකයි එදා උදේ වරුවේ මැණික් ව්‍යාපාරිකයින්ගේ රැස්වීමක් තිබුණා. ඒ වගේම පාර්ලිමේන්තුව තුළත් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු සඳහන් කළා මැණික් කර්මාන්තය දියුණු කිරීම සහ ඊට අදාළව ලබාදිය යුතු පහසුකම් සහ මැණික් කර්මාන්තය දියුණු කිරීමට දැනට තිබෙන යම් යම් බාධාවන් පිළිබඳව.

එහිදී එල්ල වූ චෝදනාවක් සහ විවේචනයක් තමයි විදේශීය සමාගමවලට ලංකාවේ මැණික් කර්මාන්තය සඳහා බලපත්‍ර නිකුත් කරනවා කියන එක. මම ජනවාරි 08 වැනිදාට පෙර ‍පොදු අපේක්ෂකයා ලෙස මැතිවරණ ව්‍යාපාරයේ නිරත වෙද්දි රත්නපුර ප්‍රදේශයේ දී මගෙන් කරපු ඉල්ලීමක් තමයි බලයට පත්වූ පසුව මේ විදේශීය සමාගම්වලට ලංකාවේ මැණික් කැණීම් කටයුතු සඳහා ඉඩ කඩ ලබාදෙන්න එපා කියන එක. එදා වගේම මම ජනාධිපති ධුරයට පත්වුණාට පස්සෙ රත්නපුර ප්‍රදේශයට ගිහිල්ලා ඒ ව්‍යාපාරිකයින් හමුවෙලා කිව්වා විදේශිකයන්ට ලංකාවේ මැණික් කැණීම් සඳහා අපි බලපත්‍ර දෙන්නේ නැහැ කියලා.

නමුත් ඒ අතරවාරයේ මා නොදැනුවත්ම මැණික් සංස්ථාව තුළ එවැනි කාර්යයන් කෙරිලා තිබුණා. මම දැනගත් වහාම ඒ බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කළා. ඒ නිසා ඉතා පැහැදිලිව සඳහන් කරන්න ඕන විෂය භාර ඇමැතිවරයා විදිහටත්, රාජ්‍ය ප්‍රතිපත්තිය තුළත් විදේශීය සමාගම්වලට මේ රටේ මැණික් කර්මාන්තය සඳහා විශේෂයෙන්ම කැණීම්වලට භූමිය ලබාදෙන්නේ නැහැ කියන එක.

නව ලෝකයේ, නව තාක්ෂණය සමග දියුණු වෙමින් පවතින රටක් විදිහට ලෝකයේ දියුණු වූ රටවල පර්යේෂණ සහ තාක්ෂණික දැනුම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒ නිසා මැණික් කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහාත් විදේශීය විශේෂඥයින්ගේ තාක්ෂණික දැනුම ශිල්පීය දැනුම අපට අවශ්‍ය වෙනවා. ප්‍රධාන වශයෙන්ම මම සතුටු වෙනවා රත්න විද්‍යාඥයින්ගේ සංගමය විදියට මේ විෂය පිළිබඳ වෘත්තිකයන් විදිහට විශේෂයෙන්ම මෙය ප්‍රගුණ කළ උගතුන් විදිහට මේ කාර්යය සඳහා ඔබෙන් කෙරෙන කාර්යය පිළිබඳව.

ඒ නිසා ඔබේ අදහස් ඉතා වැදගත් වෙනවා ලංකාවේ මැණික් කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් මීට පෙර මට ඔබ හමුවී නොතිබුණත් මම ඔබෙන් ඉල්ලීමක් කරනවා ඉදිරි දිනවලදී රත්න විද්‍යාඥයින්ගේ සංගමය විදිහට මේ රටේ මැණික් කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික සහ අනෙකුත් කටයුතුවලදී ඔබේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස. මාව හමුවෙලා සාකච්ඡා කරලා අපේ දේශීය මැණික් කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට මම ඔබට ආරාධනා කරනවා.

අපිට වගේම ලෝකයේ ඕනෑම රටක සංවර්ධන කාර්යයේදී තිබෙන්නා වූ ප්‍රධාන අභියෝගයක් තමයි විදේශ වත්කම්. අපේ රටෙත් එය ඉතා වැදගත් බව ඔබ දන්නවා. විදේශ වත්කම් ඉහළ යන්නට අපි කරන අපනයන කර්මාන්ත අතර මැණික් කර්මාන්තය ප්‍රමුඛ කර්මාන්තයක්. අද තේ, ‍පොල්, රබර්, වී ඇතුළු අපේ කෘෂි ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී අද තේ සහ රබර් සඳහා අන්තර්ජාතික වෙළෙඳ‍පොළ තුළ මේ කාලය තුළ මිල පහළ බැසීමක් තිබෙනවා. ජාත්‍යන්තර වෙළෙඳ‍පොළේ තේ සහ රබර්වලට තිබෙන්නේ ඉතා අඩු ඉල්ලුමක්. ඒ තත්ත්වය අද අපේ රටටත් බලපා තිබෙනවා.

නමුත් මැණික් කර්මාන්තය ගත් විට එය දවසින් දවස විදේශ වෙළෙඳ‍පොළ වැඩි ඉල්ලුමක් සහ වැඩි අගයක් ලැබෙන කර්මාන්තයක්. මුළු ලෝකයම අපේ දේශීය මැණික් පිළිගන්නා නිසා අපේ මැණික් කර්මාන්තය වැඩිදියුණු කරමින් අපනයන වෙළෙඳ‍පොළ තුළ මැණික් කර්මාන්තය වඩා ප්‍රමුඛ ලෙස දායක කර ගැනීමේ අවශ්‍යතාව අපි දකිනවා. ඒ නිසා මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දේශීය මැණික් කර්මාන්තය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍යයි.

එහි දියුණුව සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම, ශිල්පීය දැනුම මෙම කර්මාන්තයේ යෙදී සිටින අයට වඩ වඩා ලබාදීම අවශ්‍ය වෙනවා. අද ඔබේ ආයතනය මගින් පුහුණුවෙන් පසු කිහිප දෙනෙකුට ඩිප්ලෝමා සහතික පිළිගන්වනු ලැබුවා. මම ඒ පිළිබඳ ඉතා සතුටු වෙනවා. අපේ රටේ උගත් තරුණ පිරිස් මේ සඳහා වැඩිපුර යොමු කරමින් මේ ඩිප්ලෝමාධාරීන් වැඩි වැඩියෙන් බිහි කර මේ විෂය පිළිබඳ අවශ්‍ය දැනුම ලබානීම සඳහා උපාධි පාඨමාලා තව තවත් ශක්තිමත් කර මැණික් කර්මාන්තය පිළිබඳ තාක්ෂණික දැනුම, විද්‍යාත්මක දැනුම ශිල්පීය සහ පර්යේෂණ කටයුතු ශක්තිමත් කිරීම ඉතාම අවශ්‍ය වෙනවා.

වසර දහස් ගණනක ඉතිහාසයේ අපට තිබෙන කර්මාන්තයක් වන මැණික් කර්මාන්තය සාම්ප්‍රදායිකත්වයෙන් එහාට ගෙන ගොස් නව තාක්ෂණය සමග බද්ධව දියුණු කිරීම අවශ්‍ය වෙනවා.

මම ඉතාමත් සතුටු වෙනවා ඔබේ මේ වැදගත් අවස්ථාවට සහභාගි වීමට ලැබිම ගැන. ඒ වගේම සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. අපි රජය විදිහටත්, රටක් විදිහටත් ඉදිරියේදී දේශීය මැණික් කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා තව තවත් මිත්‍රශීලීව එක්වෙලා අදහස් යෝජනා බෙදා හදා ගෙන කටයුතු කරමු යනුවෙන් මම නැවත ඉල්ලා සිටිනවා” යැයි ජනාධිපතිවරයා පැවැසීය.

මැණික් ක්ෂේත්‍රයේ උන්නතියට දැක්වූ දායත්වය වෙනුවෙන් රත්න විද්‍යාඥයන්ගේ සංගමයේ රත්න විද්‍යාඥ දයානන්ද දිල්ලිමුණි මහතාට ඇගයීම් සම්මානයක් සහ රත්න විද්‍යාලයේ ඩිප්ලෝමාධාරීන් 6 දෙනකුට සහතික පත් ප්‍රදානයද ජනාධිපතිවරයාගේ අතින් සිදුවිය.

මෙහිදී ශ්‍රී ලංකා රත්න විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති කේ. එල්. ඩී. දයාසාගර මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිරිනැමිණි.

දෙදිනක් පුරා පැවති මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකා රත්න විද්‍යාඥයන්ගේ සංගමය විසින් සංවිධානය කොට තිබිණි.
මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ‍ලේකම් උදය ආර්. සෙනවිරත්න, අතිරේක ‍ලේකම් ඒ. ආර්. ආර්. රූපසිංහ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී අසංක සංජීව වෙලගෙදර ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වූහ.
ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය | සුජිත් කෝනාර

 මැණික් ක්ෂේත්‍රයේ උන්නතියට දැක්වූ දායකත්වය වෙනුවෙන් රත්න විද්‍යාඥයන්ගේ සංගමයේ රත්න විද්‍යාඥ දයානන්ද දිල්ලිමුනි මහතාට ඇගයීම් සම්මානය ජනපති අතින් පිරිනැමූ අයුරු
මැණික් ක්ෂේත්‍රයේ උන්නතියට දැක්වූ දායකත්වය වෙනුවෙන් රත්න විද්‍යාඥයන්ගේ සංගමයේ රත්න විද්‍යාඥ දයානන්ද දිල්ලිමුනි මහතාට ඇගයීම් සම්මානය ජනපති අතින් පිරිනැමූ අයුරු
ඩිප්ලෝමාධාරීනියකට සහතිකපත්‍රය ප්‍රදානය කරමින්
ඩිප්ලෝමාධාරීනියකට සහතිකපත්‍රය ප්‍රදානය කරමින්
උත්සව අවස්ථාවට එක්ව සිටි පිරිසෙන් කොටසක්..
උත්සව අවස්ථාවට එක්ව සිටි පිරිසෙන් කොටසක්..