මැති ඇමැතිකම් කියන්නේ නිකම්ම පිරුවට විතරයි – අමාත්‍ය සජිත් ප්‍රේමදාසsajith
අපි කැබිනට් ඇමැතිවරුන් ලෙස පත්වුණේ ජනතා ඡන්දයෙන් හා ආශිර්වාදයෙන්. එම ජනතා වරමින් අප යහපාලන ආණ්ඩුවක් පිහිටුවාගනු ලැබුවා. මේ ඇමැති තනතුරු සදාකාලික නැහැ. ජනතාව අපව ප්‍රතික්ෂේප කළ විට මේ තනතුරු, පට්ටම්, නිලතල සියල්ලක්ම ඉවත දමා දේශපාලනයෙන් විශ්‍රාම යන්නට අපට සිදුවෙනවා. මේවා පිරුවට විතරයි.

ඇතැම් පිරිසක් අදහස් කළේ මෙම ඇමැති පුටුවල හිඳිමින් සදාකාලිකව සුර සැප විඳිය හැකි ජීවිතයක් ගත කරන්නයි. පසුගිය දිනවල ඇතිවූ යම් යම් සිදුවීම් සමග එම පිරිසේ බලා‍පොරොත්තු වියැකී යන්නට ඇති. ජනතාව අප ප්‍රතික්ෂේප කළ විට මේ මැති ඇමැතිකම්, තනතුරු, නිලතල සියල්ලක්ම අහෝසි වෙනවා. දණ ගසා, හිස නමා ජනතා මතය පිළිගැනීමට, එයට අවනත වන්නට අප ඕනෑම විටක සූදානම් විය යුතුයි. දේශපාලනය නම් එයයි.


මාරපන රඟපාලා ගියා දැන් අගමැති වැඩ පෙන්වනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශwimal weerawansa
මේ විකාර නාටකයේ තිලක් මාරපන මහත්මයා එතුමාට අයිති චරිතය රඟ දක්වන්න ගිහින් වේදිකාවෙන් බැහැලා ගියා. දඬුවම් ලැබිය යුතු, දඬුවම් ලබන, අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන මිනීමරු කොටි ත්‍රස්තවාදීන් නිදහස් කිරීමේ මෙහෙයුම අද වනවිට ආරම්භ කරලා තියෙනවා. මේ රටේ ජනතාව බලා‍පොරොත්තු වූවාද මේ රට විනාශ කරපු ත්‍රස්තවාදීන් නිදහස් කරපු දිනයක් උදාවෙයි කියලා. අගමැතිතුමාගේ උපදෙස් පරිදි කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරනවාය කියා පුවත්පත්වල පළවුණා. අගමැතිතුමාගේ උපදෙස් පරිදි කොහොමද කොටි සැකකරුවන් නිදහස් කරන්නේ? එහෙම නම් අගමැතිගේ උපදෙස් පරිදි අත්අඩංගුවට ගෙන ඇති සියලුම දෙනා නිදහස් කරන්න පුළුවන්ද කියන එකයි අපට තියෙන ප්‍රශ්නය.


වෙනසකට ඡන්දෙ දුන්න අය දැන් ගොළුවෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්kanaka
වෙනසක් බලාගෙන ඡන්දය පාවිච්චි කළ අයට දැන් සැබෑම වෙනසක් වෙලා. එජා පක්ෂයට දුන්න අයත් දැන් නිහඬ පිළිවෙතක් ගෙන යනවා. ඒ අය දන්නවා තමන්ට වැරදුණ බව.

ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බෑ. ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිරීමට අප කටයුතු කරමු.

උපාලි ප්‍රේමනාත් – කෑගල්ල


මාරපනගේ අස්වීම ආණ්ඩුව ලැබූ ජයග්‍රහණයක් – අමාත්‍ය රාජිත සේනාරත්නrajitha
ඇතැම් දුන්න ‍පොරොන්දු නිසි පරිදි ඉටුවන්නේ නැහැ. තනතුරු ගන්න පමණක් සමහරු කටයුතු කරනවා. තිලක් මාරපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම යහපාලන රජය ලැබූ ජයග්‍රහණයක්. ඇවන්ගාඩ් සමාගමේ හිමිකරු හිටපු ජනාධිපතිවරයා දිනවීමට කටයුතු කළා. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට වෙඩි තියන්න උත්සාහ කර තිබෙනවා. එහෙම කරපු මෙම පුද්ගලයා අපේ රජයේ ඇතැම් මැති ඇමැතිවරුන්ට මිත්‍රයෙක් වෙලා. පාර්ලිමේන්තුවේදීත් විලිලජ්ජා නැතිව අදහස් දක්වනවා. ඇවන්ගාඩ් සමාගමෙන් ඇතැම් මැති ඇමැතිවරුන්ගේ දරුවන්ටත් උදව් කරලා තිබෙනවා.


දීමනා වැටුපට එකතු නොකළොත් ජනතාව එක්ක පාරට බහිනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්තK. D. Lalkantha
දීමනා කියන දේවල් ඕනම වෙලාවක කපා අයින් කරන්න පාලකයන්ට පුළුවන්. ඒ නිසා සියලු දීමනා මූලික වැටුපට එක් කරන්න කියලයි අපි කියන්නේ.
ජනපති හමුවී මේ ගැන සාකච්ඡා කළා. හරි හරි කිව්වා. අයවැයට තව ටික දවසයි. මේවා ඉටු නොවුණොත් අපි ජනතාව සමග මහපාරට බහිනවා. දැන් තියෙන්නේ වැඩබිමේ මහපාරේ සටන පමණයි. අපි ඒ සඳහා කැපවෙනවා.

සිසිර කුමාර කුරුප්පුආරච්චි-ගම්පහ විශේෂ


ජනපති ක්‍රමය වෙනස් කරන කතා දැන් පාර්ලිමේන්තුවේ කාපට් එක යට – පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායකVidura-Wickramanayaka
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැනයි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැනයි දැන් කිසි කෙනෙක් කතා කරන්නේ නෑ. ඒවා අතුගාලා පාර්ලිමේන්තුවේ කාපට් එක යටට දාලා තියෙනවා.

අපේ රටේ ආරක්ෂක රහස් තොග පිටින් හෙළි කළා. ආයෙත් ත්‍රස්තවාදයත් ඇති නොවෙයි කියලා සහතිකයක් දෙන්න පුළුවන් කාටද? ලද අවස්ථාවේ ත්‍රස්තවාදය නැවත හිස ඔසවනවා. ඔවුන්ට අවශ්‍ය බව කියන්නේ වෙනම රාජ්‍යයක්. රටේ අභ්‍යන්තර රහස් ලෝකයටම හෙළි කිරීමෙන් රටකට වෙන්නේ අනතුරක්.

ඉන්ද්‍රා කුමාරි-හඳපාන්ගොඩ