ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයන් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය සඳුදා සවස 7ට ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී එළැඹෙන පළාත් පාලන මැතිවරණ සූදානම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෛත්‍රීවරුන්ට පැහැදිලි කිරීමක් කළේය.

අනතුරුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට අදහස් පළ කිරීමේ අවස්ථාවක් උදාවිය.

‘යූ.ඇන්.පී අපේක්ෂකයෝ ජනාධිපතිතුමාගෙයි. අගමැතිතුමාගෙයි. අපේක්ෂකයගෙයි ෆොටෝ දාලා පහුගිය ඡන්දෙදිත් ‍පෝස්ටර් ගැහුවා. අපි ‍පෝස්ටර් ගහන්නෙ කොහොමද ? අපි දැන් ‍පෝස්ටර් ගහන්න ගියත් අපට ගහන්නයි උන්දැල බලාගෙන ඉන්නෙ. ඒ නිසා ඉස්සරහට වැඩ කරන එක ගැටලුවක්. ශ්‍රීලනිප ඡන්ද දායකයෝ කරකියා ගන්න දෙයක් නැතිව ඉන්නෙ යැයි රංජිත් සොයිසා මන්ත්‍රීවරයා නැගිට කීවේය.

‘කාටවත් මම කියලා නැහැ මගේ ෆොටෝ දාලා ‍පෝස්ටර් ගහන්න කියලා. ඉතිං..කවුරුත් ගහන්නෙ නැත්නම් කවුරු හරි ගහන්න ඕන නේ ‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ පෙරළා රංජිත් සොයිසා මන්ත්‍රීවරයාටම යමක් ඒත්තු ගන්වන්නට මෙන්ය.

රංජිත්ගේ කතාවට ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයාද යම් යම් එකතුවීම් කළේය.
මේ සමගම නැගිට සිටියේ අමාත්‍ය එස්.බි දිසානායක මහතාය.

‘මෙහෙම කිව්වට මම ටී.වී එකේ දැක්කා පහුගිය ඉරිදා ලොකුගේ මන්ත්‍රීතුමාගේ නිවසේ තිබුණු ශ්‍රීලනිප බල මණ්ඩල රැස්වීමේදි දිනේෂ්ගෙ නායකත්වයෙන් වීරවංශගෙ පෙරමුණකින් ඡන්දෙ ඉල්ලනවා කියන කතාවක්. එතන ප්‍රසන්නත් හිටියානේ.’ යැයි එස්.බි. කීවේය.

ගාමිණි ලොකුගේ මෙන්ම ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරු මේ කියමනත් සමග නැගී සිටියහ. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් වූයේ එස්.බි ගේ එම ප්‍රකාශය සමගය.
ඔය පට්ටපල් බොරු යැයි ලොකුගේ පැවැසුවේය.

‘ටී.වී එකේ කතාව ඔක්කොම දාන්නෙ නැහැනේ. ඔහොම කතාවක් කියන තැන මම හිටියෙ නැහැ. එතැනට ගියත් මම කලින් කතා කරලා ආවා. එතනදි පාක්ෂිකයො කිව්වා දැන් ශ්‍රීලනිපයෙන් නැතිව වෙන පක්ෂයකින් ඉල්ලන්න කියලා යැයි ප්‍රසන්න අවේගයෙන් මෙන් කීවේය.

එස්.බි. ද මෙම වාදය අත්හැරියේ නැත. ‘ඔයාලා හදන්නෙ පක්ෙෂ කඩන්න’ යැයි එස්.බි. පැවැසීය.

‘මිනිස්සු ප්‍රතික්ෂේප කළාම පිං මන්ත්‍රීකමක් අරගෙන, පිං ඇමැතිවෙලා, ඔබතුමා තමයි මහින්ද මහත්තයා නිසා පැරදුණා කිව්වේ. 2001 යූ.එන්.පී එකට ගිහිං අපේ ආණ්ඩුව පැරැද්දුවා. එහෙම කරලා දැන් පක්ෂෙ කඩන කතා කියනවා. සර් මේ වගේ අයගෙන් පරිස්සම් වෙන්න යැයි ප්‍රසන්න මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා දෙස බලමින් කීවේය.
එස්.බි. ද විවිධ දෑ කියමින් නැගී සිටියද මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව නිසා එය එතරම් ඇසුණේ නැත.

‘දැන් ඉතිං ඕවා අමතක කරලා පක්ෂයක් විධියට ඉදිරියට යමු යැයි ජනාධිපතිවරයා කීයා සිටියේය.

‘රෝහල්වල බේත් නැහැ. කොටින්ම කියනවා නම් පාර්ලිමේන්තුවේ මෙඩිකල් සෙන්ටර් එකෙත් බෙහෙත් නැහැ. එතනින් මන්ත්‍රීවරුන්ට කියන්නෙ ඔසුසලෙන් ගන්න කියලා. සමහර වෙලාවට එතනත් නැහැ’ යැයි රංජිත් සොයිසා කීවේය.

‘ඒක සෞඛ්‍ය ඇමැතිට කියන්න’ යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේමලාල් ජයසේකර සහ සනත් නිශාන්ත මන්ත්‍රීවරු සිරභාරයට පත්වීම සම්බන්ධයෙන් කතා කළ මන්ත්‍රීවරු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට සිදුවන අඩන්තේට්ටම් ගැන කතා කළහ.

‘එහෙම වෙලාවට කෙළින්ම මට කියන්න’යැයි ජනාධිපතිවරයා කීවේය.
‘අපිට කෙළින් කතා කරන්න බැහැනේ. ඒක වෙන්නෙ නැහැ. එහෙම වුණොත් ක්‍රියත්මක වෙන්න ප්‍රමාද වෙනවා යැයි කෙහෙළිය රඹුක්වැල්ල පැවැසීය.

ඒ සම්බන්ධයෙන් කටයුතු සොයා බැලීමට හා එම දුක්ගැනවිලි සවන් දීමට කමිටුවක් පත් කරගන්නැයි ජනාධිපතිවරයා යෝජනා කළේ ඒ අනුවයි. ඒ අනුව එම කමිටුවේ සභාපති ලෙස අමාත්‍ය ෆයිසර් මුස්තාපා පත්වූ අතර සුසිල් ප්‍රේමජයන්ත, එස්.බි දිසානායක සෙසු කමිටු සාමාජිකයෝ වූහ.

2015 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පසුගිය අඟහරුවාදා සවස නෙළුම් පොකුණ රඟහලේදී පැවැතිණි. මෙය සංවිධානය කරන්නේ සංස්කෘතික අමාත්‍යාංශය විසිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම  සම්මාන උළෙලේ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා කතා කරමින් සිටියේය.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මෙන්ම රාජ්‍ය නායකයා වන මහින්… යැයි ඇමැතිවරයා හිටපු ජනාධිපතිවරයාගේ නම කීමට ගොස් නැවත එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලෙස නිවැරැදි කළේය.

මෙම උත්සවයේම ඇමැතිවරයාගේ කතාවෙන් පසු කතා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. දිසානාය….යැයි කීමට ගොස් එස්.බී. නාවින්න යැයි නිවැරදි කළේ උත්සවයට සහභාගි වූ පිරිසට කතාවට කතාවක් ඉතුරු කරමිනි.

මෙම සම්මාන උළෙලේදී ඇමැති පාඨලී චම්පික රණවක ලියූ බලය සහ බලය පොතටද වසරේ විවිධ විෂයික කෘතිය ලෙස සම්මානයක් හිමිවිය.

මේ අතර ජිනීවා යෝජනාවලිය සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජිත සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී ඊයේ සවස 5.20ට ආරම්භ විය.

‘ජිනීවා ගැන විවේචන කරනවා. කමක් නැහැ. හැබැයි ඔබතුමාලා විසදුම් දෙන්න. ඒකටයි මේ පක්ෂ සමුළුව කැඳෙව්වෙ යැයි ජනාධිපතිවරයා සමුළුව ආරම්භ කරමින් පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නියෝජිතයෝ මෙම සමුළුවට එක්ව සිටියහ.
මෙම සමුළුවට පාර්ලිමේන්තුව නියෝජනය නොකළද ලංකා සම සමාජ පක්ෂයේ තිස්ස විතාරණ මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාද එක්ව සිටියහ.

‘ඔස්ටින් ප්‍රනාන්දු කතා කරලා කිව්වා පාර්ලිමේන්තුව නියෝජනය කරන අයට විතරයි මේක කියලා. මම කිව්වා ඇයි අපි ඕන නැද්ද? කියලා. මට විශේෂ ඇරයුමක් ලැබුනේ නැහැ. ටී.වී එකේ දැක්කා විශේෂයෙන් මටත් එන්න කියලා තියෙනවා කියලා. ඒ නිසා ආරාධනා නැතත් මම ආවා’යැයි සරත් ෆොන්සේකා මහතා සමුළුව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදියෙකුට කීවේය.

මේ අතර සිංගප්පූරුවේ සංචාරයකට ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරළා දිවයිනට පැමිණීමෙන් පසු කෙළින්ම ගියේ ගාල්ලේ පැවැති විශේෂ සාකච්ඡාවකටය. ගාලු නගරය නව ලොවට සරිලන ලෙස සැලසුම් කිරීමේ මෙම සාකච්ඡාව පැවතියේ ගාල්ල ලයිට්හවුස් හෝටලයේය. ඊට අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන,
ගයන්ත කරුණාතිලක සහ ප්‍රාදේශීය ‍ලේකම්වරු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ‍පොලිසිය ඇතුළු ආයතන රැසක නිලධාරීහු එක්ව සිටියහ.

“ගාලු කොටුව ලෝක උරුමයක්. එහෙම තිබියදී කෞතුකාගාර රජයේ කාර්යාල පවා කොටුව ඇතුළේ තියෙනවා. ඒවායින් පිටතට ගෙනියන්න. ගාලු උරුමය ලෝකයට පෙන්වන්නයි ඕනෙ.” අගමැතිවරයා කීවේය.

මෙම රැස්වීමේ තවත් විශේෂත්වයක් වූයේ පැමිණි සිටි නිලධාරීන්ට ගාලු ඉතිහාසය ගැන අගමැතිවරයා පාඩමක් කියා දීමයි. අගමැතිවරයා මෙම සාකච්ඡාවේදී විමසා සිටි ගාලු ඉතිහාසය සම්බන්ධ කරුණු ගණනාවක්ම එතැන සිටි නිලධාරීන් දැන නොසිටීම ඊට හේතු විය. සාකච්ඡාවට එක්වූ වජිර සහ ගයන්ත සාකච්ඡා මේසයේ වාඩි වී සිටියේ අගමැතිවරයාට දෙපැත්තෙන් මුහුණට මුහුණ බලාගෙනය. නමුත් ඔවුන් එකිනෙකාට මෙම හමුවේදී කතාබහක් ඇති වූයේ නැත.

පසුගිය සතියේ පාර්ලිමේන්තු සභා වාරයන්ට එක්වූ අගමැතිවරයා අරලියගහ මන්දිරයේදී පාර්ලිමේන්තුවේදී එජාප මැති ඇමැතිවරුන් සමග කතා කළේය.

“උදලාගම පරණගම ජිනීවා වාර්තා පාර්ලිමේන්තුවට දැම්ම නිසා විපක්ෂය හිරවුණා.” ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“විපක්ෂය හදිසි කළා මේවායේ පරිවර්තන කරන්න කල්වත් හිටියේ නෑ. ඉංග්‍රීසි පිටපත් දැම්මේ ඒකයි.” අගමැතිවරයා කියා සිටියේය.

රාජ්‍ය ඇමැතිවරුන්ට වගකීම් දීලා නැහැ කියලා චෝදනාවක් තියෙනවා යැයි රන්ජන් රාමනායක විමසා සිටියේය.

“ඒ අයට වගකීම් දෙන්න ඕනෑ කැබිනට් ඇමැතිවරු. නිරෝෂන් පෙරේරාට මගේ අමාත්‍යාංශය වෙනුවෙන් පිළිතුරු දෙන්න පවා වගකීම් පවරලා තියෙනවා. ඒවා අනෙක් අයත් ආදර්ශයට ගන්න ඕනෑ.” අගමැතිවරයා කීවේය.

“විදේශ අමාත්‍යාංශයේ ලොකු වෙනසක් කරන්න යනවද?” රවි කරුණානායක විමසා සිටියේය.

“අමාත්‍යාංශයේ වෙනස් කිරීම් ඒ ඒ අමාත්‍යාංශවල වගකීමක්. පරණ අදහස් තියෙන අය වෙනුවට අලුත් අදහස් තියෙන අයට තැන දෙන්න ඕන.” යැයි කී අගමැතිවරයා “රවි දැන් බජට් එක සූදානම්ද?” යැයි විමසීය.

එසේ කී අගමැතිවරයා ලබන 05 වැනිදාට ආණ්ඩුවේ මාධ්‍යකාලීන ආර්ථික උපාය මාර්ග රටට හෙළි කරන බව කීවේය.

“ජනතාවට බර පටවන්නේ නැති, ආණ්ඩුවත් බංකොලොත් නොවන අයවැයක් එළියට දාන්න ඕන” අගමැතිවරයා රවි දෙස බලමින් කීවේය.

“රේගුවේ කෝටි දොළහමාරක අල්ලස අල්ලලා ලොකු දෙයක් කළේ” යැයි වජිර අබේවර්ධන කීවේය.

“අල්ලස් කොමිසමේ ඇයට විරුද්ධව චෝදනා කරපු අයට දැන් ප්‍රතිඵල ලැබිලා තියෙනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“දෙමළ සිරකරුවන්ගේ අලුත් තත්ත්වය මොකක්ද?” පී. හැරිසන් ඇමැතිවරු අතරට ප්‍රශ්නයක් දැමුවේය.

ඊට පිළිතුරු දුන්නේ අගමැතිවරයායි.
“වාර්තා ගෙනැල්ලා ඒ ගැන හොයනවා. දෙමළ වීම නිසා හිරකරලා තියෙනවා නම් ඒ අයට සාධාරණයක් කරන්න ඕනෑ.” අගමැතිවරයා කීවේය.

මේ අතර ආණ්ඩුවේ ඇමැතිවරු සම්බන්ධ කර ගනිමින් විවිධ ව්‍යාපාර කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද පසුගිය සතියේ අගමැතිවරයාගේ අවධානය යොමු වී තිබිණි. ඒ අනුව ආණ්ඩුවේ නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙකේම කමිටුවක එකඟතාවන් ඔස්සේ දෙස් විදෙස් ඒකාබද්ධ ව්‍යාපාර ආයෝජන සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අගමැතිවරයා තීරණය කර තිබේ. ඒ අනුව අදාළ කමිටුව ද අද හෙට ම පත්වීමට නියමිතය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමිගේ සුවදුක් බැලීම සඳහා පසුගිය සඳුදා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගියේය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා සහ මාදුළුවාවේ සෝභිත හිමි අතර ඇතිවූ කතාබහ මාධ්‍යයට අනාවරණය වූයේ නැත. කෙසේ වෙතත් හදවත් සැත්කමකින් පසු විවේකීව ප්‍රතිකාර ලබන සෝභිත හිමිගේ සුව දුක් බැලීමට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේ සමග පිළිසඳරක නිරත වී තිබේ.

මෙම හමුවීමෙන් පසුව නැවතත් කොළඹ පිහිටි  පුද්ගලික රෝහලකට සෝභිත හිමි ඊයේ වන විට ඇතුළත් කර තිබිණි. කෝට්ටේ නාග විහාර ආරංචි මාර්ගවලට අනුව ඒ සෝභිත හිමිට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ පහසුව සඳහාය.

මේ අතර පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබුණේ මුදල් අමාත්‍යවරයා විසින් ගෙන ආ විශේෂ බදු පනත් යටතේ රෙගුලාසි කිහිපයකි.
එම රෙගුලාසි සභාවට ඉදිරිපත් කිරීමට පෙර මුදල් අමාත්‍යවරයා හා එම රෙගුලාසි සම්බන්ධයෙන් සභාව තුළ දෙවරක් ම උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් ඊට පෙරදින තමාගේ නම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සභාවේ කළ වැරදි ප්‍රකාශය පිළිබඳව කතානායකවරයාගේ අවධානය යොමු කළේය.

සභාවේ කටයුතු සජීවීව විකාශය වෙමින් තිබූ අවස්ථාවේ කළ එම ප්‍රකාශය නිසා තමාගේ ගෞරවයට හානි වූ බවද රවි කරුණානායක මහතා පැවසීය. තමා කළ ප්‍රකාශය වැරදි නම් ඉල්ලා අස්වන බවට බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාම කලින් දින කළ ප්‍රකාශය අනුව ඔහු දැන් ඉල්ලා අස්විය යුතු බව  රවි කරුණානායක මහතා පැවසීමත් සමග පාර්ලිමේන්තුව උණුසුම් විය.

මීට පෙර දින බන්දුල ගුණවර්ධන මෙම ප්‍රකාශය කළ අවස්ථාවේ එය දැනගත් අගමැතිවරයා, ඇමති රවි කරුණානායකට දුරකථන ඇමතුමක් දී තිබිණි.

උප්පැන්න සහතිකේ ඉඳන් තියෙන හැම සහතිකයක්ම අරන් ඉක්මනට පාර්ලිමේන්තුවට එන්න යැයි අගමැතිවරයා විසින් රවිට උපදෙස් දී තිබිණි. රවි අගමැතිගේ එම උපදෙස් අනුව එම සියලූ ලියකියවිලිද රැගෙන පාර්ලිමේන්තුවට පැමිණ තිබිණි.

මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු නැඟී සිට බන්දුල මන්ත්‍රීවරයාට ඉල්ලා අස්වන ලෙස දිගින් දිගටම ඝෝෂා කරන්නට වූ අතර විපක්ෂ මන්ත්‍රීවරු ද ඊට එරෙහිව යම් යම් දේ කියමින් ඝෝෂා කරන්නට වීම නිසා සභාවේ දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් ඇතිවිය.
“ මම දැන් දෙන්නටම කරුණු දක්වන්න අවස්ථාව දුන්නා. අවස්ථාව දීම දුර්වලකමක් විදිහට හිතන්න එපා. කරුණාකරල දැන් නිශ්ශබ්ද වෙලා සභාවේ කටයුතු ගෙනියන්න ඉඩ දෙන්න. මේ පාර්ලිමේන්තුව දවසකට රැස්වෙන්න ලක්ෂ 46ක් වියදම් කරනවා.

මහජන මුදල් එ් විදිහට නාස්ති කරන්න බෑ. පාර්ලිමේන්තුව විහිළුවක් කරගන්න එපා” කතානායක කරු ජයසූරිය මහතා මන්ත්‍රීවරුන්ට දැඩි ස්වරයෙන් අවධාරණය කළේය. එසේ වුවද ඝෝෂාව නවතින අයුරු පෙනෙන්නට නොතිබුණි. එ් නිසා ඝෝෂාව අතරේම කතානායකවරයා පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට අත්හිටවූයේය.

මෙම උණුසුම අතරවාරයේ සභා ගර්භයට පිවිසි පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු සුහදව කතා කරන්නට වූහ. ටී.වී එකට පේන්න විතරයි මේ අඬදබර ගැලරියේ සිටි මාධ්‍යවේදීන් කතා කළේය.

එසේ සභාගැබට පැමිණි මලික් සමරවික්‍රම, දිනේෂ් ගුණවර්ධන, මනූෂ නානායක්කාර මෙහොතකට කතාවට වැටුනහ.

ඇවන්ගාඞ් එකට සම්බන්ධ රෝයල් නොගියපු දකුණේ ඇමති කවුද ? මනූෂ මලික් දෙස බලමින් ඇසුවේය.

ඔයා මේ පාරත් අර මනුස්සයට ඉන්න දෙන්නෙ නැහැ යැයි මලික් සිනාසෙමින් මනූෂට කීවේය.

නෑ නෑ මට කිව්වෙ ගයන්ත යැයි මනූෂ මලික්ට පැවැසීය.
මේ අතරවාරයේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා අගමැතිවරයාගේ අසුන අසලට ගොස් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මන්ත්‍රී පිරිසක් සමග කතා කරමින් සිටියේය.
මම කලින්ම ඔයාට අපේ පැත්තට එන්න කියලා කිව්වා යැයි මලික් මේ අතරවාරයේ දිනේෂ්ට කීවේය.

මලික් එසේ සිහිපත් කළේ ඈත අතීතයේදී මලික් කළ යෝජනාවක් දිනේෂ්ට සිහිපත් කරමිනි.

මට ගැළමපන එකට මම සම්බන්ධ වුණා යැයි දිනේෂ් මලික් කළ යෝජනාව තමන්ට මතක බව පවසමින් සිනාසෙමින් කීවේය.

යළි සභාව රැස්වීමෙන් පසු බන්දුල ගුණවර්ධන මහතා හැන්සාඞ් පිටපතේ ඉංග්‍රීසි සහ සිංහල පිටපත්වල රවි කරුණානායක මහතාගේ නම දෙවිදිහකට සටහන් වී තිබීම නිස වැරැද්දක් සිදුවූ බව පවසා එය සිතාමතා කළ අපහාස කිරීමක් නොවන බවත් මානුෂිකව තමා එ් වෙනුවෙන් ඇමැතිවරයාගෙන් සමාව ඉල්ලා සිටින බවත් කියා සිටීමෙන් පසු තත්ත්වය සමනය විය.

ඉන්පසු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් රෙගුලාසි ඉදිරිපත් කළේය. එහෙත් එම මුදල් රෙගුලාසි කිහිපයක් නීති විරෝධී අයුරින් ඉදිරිපත් කර තිබෙන බවට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් සමග පාර්ලිමේන්තුව යළිත් උණුසුම් වූ අතර දිනේෂ් සහ කතානායක කරු අතර එ් පිළිබඳ උණුසුම් කතාබහක්ද ඇතිවිය.

මේ අතර ඊයේ පාර්ලිමේන්තු විවාදය පැවැති අවස්ථාවේ දිගින් දිගටම ඇමැතිවරු පමණක් අදහස් දැක්වූහ. ඩී.එම්. ස්වාමිනාදන් අමාත්‍යවරයාද විවාදයේ අදහස් දැක්වීමට නැගී සිටියේය.

‘විපක්ෂයේ වෙනම අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන්ගේද නියෝජනයක් විවාදයට අවශ්‍ය යැයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා නැගිට මූලාසනයට චෝදනා කළේය.
විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අවස්ථාවක් දෙන්න ඔහු ඉල්ලා සිටියේය.

මම අවස්ථාව දෙන්නේ කථික ලැයිස්තුවට අනුව. මට ඒකෙන් පිට යන්න බෑ මුලසුන සිටි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීවේය.

එහෙම හරියන්නෙ නෑ. අපි කථානායකතුමා එක්ක එකඟ වුණු සම්ප්‍රදායක් තියෙනවා. ඔබතුමා ඒ අනුව කටයුතු කරන්න. දිනේෂ් ගුණවර්ධන කීවේය.

මම කටයුතු කරන්නේ කථික ලැයිස්තුව අනුවයි මූලාසනය නැවත කීවේය.
මේ අවස්ථාවේ ඊට විරෝධය දක්වමින් දිනේෂ් ගුණවර්ධන මහතා සෙංකෝලය තබා ඇති ස්ථානය කරා පැමිණ සෙංකෝලය අතට ගෙන සභා ගර්භය මැදට පැමිණියේය.විමල් වීරවංශ මන්ත්‍රීවරයාද ඊට හවුල් විය. අනතුරුව සී.බි. රත්නායක, පියල් නිශාන්ත, ශ්‍රියාණි විජේවික්‍රම, කංචන විජේසේකර ආදී මන්ත්‍රීවරුද සභා ගැබට පැමිණියහ.

එය දුටු නියෝජ්‍ය වේත්‍රධාරි නරේන් ප්‍රනාන්දු මහතා වහා එම ස්ථානයට දිව ගොස් මන්ත්‍රීවරුන්ගෙන් සෙංකෝලය උදුරා ගත් අතර ඒ මොහොතේ මූලාසනය මිනිත්තු 10කට සභාව කල් තැබිය.

අනතුරුව මිනිත්තු 10කට පසුව සභාව යළි රැස්වූ අතර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සභාව අත්හිටුවීමට සිදුවූ හේතුවට සමාව අයැද සිටියේය.

දෙපාර්ශ්වයේම අනවබෝධය නිසා එම සිදුවීම ඇති වූ බවද මන්ත්‍රීවරයා කීවේය.
ඉන් පසු මූලාසනය විසින් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අදහස් දැක්වීමට අවස්ථාව දුන්නේය.

මේ අතර පාර්ලිමේන්තුවට දිනකට රුපියල් ලක්ෂ 46ක් වැය වන බවට පළ වන ප්‍රකාශය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවෙදී ඊයේ මාධ්‍යවේදීන් විමසා සිටියේ ය.

එම මුදල අධික ලෙස වැඩි යැයි ඔබ හිතනවාද? රාජිතගෙන් මාධ්‍යවේදියෙක් ඇසුවේය.
“මෙහෙමයි මන්ත්‍රීවරුන් 225ක් ඉන්නවා. කාර්ය මණ්ඩලය ඉන්නවා. ඉතින් එවැනි මුදලක් වැය වෙන්න පුළුවන්. අපි ආපු කාලේ තරම් දැන් කෑම වේලා හොඳ නැහැ. දැන් ඉස්සර වගේ නෑ. පරණ පාර්ලිමේන්තුවේ බොන්නත් පුළුවන්. ඔය සුන්දරයි කියන පාර්ලිමේන්තුවේ බොන්නත් දුන්නා. සමහර මන්ත්‍රීවරු හිටියා සභාවාරයට යන්නේ ඇතුළට ගිහින් ෂොට් එකක් ගහලා. එ් කාලේ කෑම අදට වඩා ගොඩක් හොඳයි.

බේකන් තිබුණා. ඌරු මස් තිබුණා. අද වගේ නෙවෙයි. වෙන රටවල පාර්ලිමේන්තුවල කෑම බැලූවම අපේ එ්ව මොනවද කියලා හිතෙනවා. සමහර රටවල මන්ත්‍රීවරුන්ගේ කෑමවලට සල්ලි ගන්නෙත් නෑ. මෙහෙ තියෙන මෙනු එක බලන්න.” යැයි රාජිත පිළිතුරු දුන්නේය.

මේ අතර දින 4කින් ලියූ වන්නිය ජාතිවාදය සහ නිව්යෝර්ක් දෙමළ ඊළාම් මාර්ග සිතියම කෘතිය පසුගිය බදාදා එළිදැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද දින යුරෝපයේ සංචාරයක් සඳහා පිටව යාමට නියමිතය.

ඒ සුද්දන්ගෙ උසාවිය හා ජාතියේ අවනඩුව මැයෙන් සංවිධානය වන සම්මන්ත්‍රණ මාලාවට එක්වීම සඳහාය. ඒ අනුව විමල් වීරවංශ මහතා අද දින ඉතාලිය බලා පිටත්ව යන අතර එතැන් සිට එංගලන්තය සහ ප්‍රංශයේ සංචාරය කරමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හමුවීමට නියමිතය.

ජිනීවා යෝජනාව පිළිබඳ විවාදයට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තිබුණේ බලවත් උනන්දුවකි.  ඒ නිසා විවාදයට දින නියම කළ දා පටන් ජීඑල්, දිනේෂ්, විමල් සහ  උදය නිරතුරුව ඒ සම්බන්ධ කරුණු විමසූහ.

ජිනීවා යෝජනාව ගැන වැඩමුළුවක් සංවිධානය කරන්න යැයි ජීඑල් විද්වත් හඬ සංවිධානයෙන් ඉල්ලා සිටියේය.

ක්ෂණිකා හිරිඹුරේගම, විමලධර්ම අබේවික්‍රම, නාලක ගොඩහේවා, ජනිතා අබේවික්‍රම සහ දිනේෂ් දොඩම්ගොඩ වැනි විද්වතුන් මේ සංවිධානය තුළ සිටිති.

ඒ අනුව පසුගිය අඟහරුවාදා තලවතුගොඩ “ද මොනාර්ක්“ හෝටලයේ පැවැති ජිනීවා වැඩමුළුවට සන්ධානයේ විපක්ෂ මන්ත්‍රීවරුන් 37ක් සහභාගි වී සිටියහ.  මන්ත්‍රීවරුන් සංවිධානය කිරීම භාරව සිටියේ ඩලස් සහ ප්‍රසන්නය.

දේශන පැවැත්වීමට මහාචාර්ය ජී එල් පීරිස්,  හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා සහ මොහාන් සමරනායක පැමිණ සිටියහ.

සරත් එන් සිල්වා විසින් මෙම යෝජනාවේ භයංකාරත්වය විස්තර කරද්දී නැගී සිටි රංජිත් සොයිසා විමසා සිටියේ මෙතරම් භයානක යෝජනාවකට ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්වූයේ ඇයි ද කියාය.  ඊට හඬ නගා සිනාසුණු සරත් එන් සිල්වා මෙසේ පැවසීය.  “මම  ඕකට මෙහෙම කියන්නම්.  මහාචාර්ය ජී එල් පීරිස් විදේශ ඇමැති වෙලා හිටියා නම් කීයටවත් මේකට එකඟ වෙන්නේ නෑ.  මොකද එතුමාට හොඳ ඔළුවක් තිබෙනවා යැයි කීවේය.

මේ අතර පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ලිපියක් ලැබී තිබිණි. එ් සාකච්ඡාවක් සඳහා දැනුම්දීමක්ද සහිතවය. ලිපිය ලැබීමෙන් අනතුරුව ටිල්වින් සිල්වා ජවිපෙ නායකයින් සමග සාකච්ඡා කළේය. එ් ආරාධනාව භාරගන්නවාද නැද්ද දෙගිඩියාවට විසඳුමක් සඳහාය.

“විශාල කරුණු ගොඩක් එක්ක ලිපිය එවලා තිබුණට නිශ්චිත අරමුණක් වෙනුවෙන් සාකච්ඡාව කැඳවන බවක් සඳහන් කරලා නැහැ. සාකච්ඡාව කරන්නේ කුමක් සඳහාද කියන එකවත් පැහැදිලි කරලා නැහැ.” ටිල්වින් සිල්වා කීවේය.

මාධ්‍ය සංදර්ශනයක්ද දන්නේ නැහැ” විජිත හේරත් කියා සිටියේය.
“නමුත් අපි මේ සාකච්ඡාවට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. අපේ අදහස් සෘජුව කියන්න අවස්ථාවක් ලැබෙනවා. හොඳ අරමුණකින් මේ සාකච්ඡාව කැඳවනවානම් අපිට සහාය දෙන්න පුළුවන්” ටිල්වින් සිල්වා කීවේය. ඒ අනුව ඊයේ පැවැති පක්ෂ නියෝජිත හමුවට ටිල්වින් සිල්වා සහ විජිත හේරත් ජවිපෙ නියෝජනය කරමින් සහභාගි වූහ.
මේ අතර පාර්ලිමේන්තු සතියේ සිදුවූ විශේෂ සිදුවීම් කිහිපයක් ගැන ජවිපෙ මන්ත්‍රීවරු අතර පාර්ලිමේන්තුවේදී කතාබහක් ඇතිවූහ.

“අඟහරුවාදා පාර්ලිමේන්තුවට ආපු නිමල් සිරිපාල ඇමතිතුමා විපක්ෂයේ පැත්තේ දොරටුව ළඟට ආවා. ඇවිත් කතා කළේ දිනේෂ් ගුණවර්ධනට. ඊට පස්සේ සෑහෙන වෙලාවක් දෙන්නා බරපතළ සාකච්ඡාවක හිටියා විපක්ෂයේ ලොබියේදී” වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය.

“තව ටික දවසක් යනකොට සමහරවිට මොනවද සාකච්ඡා කළේ කියලා එළියට එන්නත් පුළුවන්” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

“තව කතාබහක් තියෙනවා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සිංගප්පූරුවේ ගිය දවසේ ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපතිත් සිංගප්පූරුවේ ගියා කියලා. අගමැතිවරයාගේ ලේකම් සුගත් චන්ද්‍රසේකරත් මැලේසියාවේ ඉඳලා සිංගප්පූරුවට ඇවිත් තියෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ.” විජිත හේරත් අලූත් ආරංචියක් ගැන කීවේය.
“නිශ්ශංක සේනාධිපති, අගමැතිවරයා සිංගප්පූරුවේ ඉන්න වෙලාවෙම එහෙ ගියේ රහස් හමුවීමකටද කියලා සැකයි” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

“ඇවන්ගාඞ් ගනුදෙනුව ගැන ඇත්ත තත්ත්වය යටගහන්න තමයි ආණ්ඩුවත් උත්සාහ කරන්නේ. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් ඉල්ලන්න  ඕනෑ. මේ ගැන දවසක විවාදයක් ඉල්ලන්න  ඕනෑ.” අනුර දිසානායක කියා සිටියේය.
“එස්.බී., මෛත්‍රීපාල ජනාධිපති-වරයාට ළං වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවන්න උත්සාහ කරමින් ඉන්නවා කියලා ශ්‍රීලනිප ප්‍රබලයෙක් මට කිව්වා.  එස්.බී. එහෙ මෙහෙ පැන පැන ඉඳලා අයෙත් ශ්‍රීලනිපයට රිංගලා ශ්‍රීලනිපයත් නැති කරලා මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් යනඑන මං නැති කරන්න තමයි යන්නේ කියලා තමයි ශ්‍රීලනිපයේ අය කියන්නේ” විජිත හේරත් කීවේය.

“මේ දවස්වල එස්.බී. කියන කතාවලින් ඒ බව පේනවා. මහින්ද රාජපක්ෂට හොඳ කියපු කටින් දැන් දිගට හරහට මහින්දට ගහනවා. මේක තමයි එස්.බීගේ දේශපාලනය” වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය.

“යහපාලන ආණ්ඩුව කැසිනෝ ඉවත් කරනවා කිව්වට ඒක කළේ නැහැ. පනතක් ගෙනත් කළේ කැසිනෝවලට බදු වැඩි කරලා කැසිනෝ නීතිගත කරපු එක. පසුගිය ආණ්ඩුව වෙනුවට ආපු ආණ්ඩුවත් කිසි වෙනසක් නැහැ.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

“උසස් නිලධාරීන් පත් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පත්කළා. මේ සැරේ විශේෂ දෙයක් වුණා. ඒක තමයි සභාපතිකම කතානායකවරයාම ලබාගැනීම. මීට කලින් එහෙම වෙලා නැහැ.” අනුර දිසානායක කීවේය.

“කාරක සභාව පත්කරපු ගමන් පත්කිරීම් දෙකක් කළා. එකක් සිංගප්පූරුවේ තානාපති ධුරය. ඒකට පත්කළේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක්. ඒක දේශපාලන පත්කිරීමක්. ඒ විතරක් නෙවෙයි බෙල්ජියමේ ඉන්න තානාපති තුර්කියට දාලා. ඒ තානාපතිතුමා රාජ්‍යතාන්ත්‍රික සේවයේ දක්ෂ නිලධාරියෙක්.” විජිත හේරත් කීවේය.

“ඒ විතරක් නෙවෙයි. පොලිස් කොමිසමට පත්කරපු හත්දෙනා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ව්‍යවස්ථා සභාව ඒක ගැන නැවත සාකච්ඡාවක් දාලා තියෙනවා. හදිසියට පත්කිරීම් කරලා අවුල් හදාගන්නවා” ජවිපෙ ව්‍යවස්ථා සභාවේ නියෝජනය කරන විජිත හේරත් ඒ සම්බන්ධයෙන්ද තම මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළේය.

ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පසුගිය අඟහරුවාද පැවැත්විණි. රන්පත්විල විමලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මධ්‍යම කාරක සභාවේදී පළාත් සභා මන්ත්‍රීනි නිරෝෂා අතුකෝරල මහත්මිය අන්තර් ජාතික සංවිධාන කතා නොකරන කොටි සංවිධානය ඝාතනය කරන ලද පවුල් 800 පමණ තොරතුරු ඇති බව කීවාය.

අපි හෙළ උරුමය වශයෙන් මේ අය වෙනුවෙන් පෙනි ඉන්න  ඕනෑ. දැනටත් අදාළ අපරාධවලට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ජීවත්ව ඉන්නේ දැයි විමර්ශනය කොට එම අපරාධකරුවන්ට එරෙහිව  සැබෑ මානව හිතවාදී නීතිඥවරුන්ගෙන් සහාය ගෙන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කළ යුතු බව ඇමැති පාඨලී චම්පික පැවැසීය.

එහි වගකීම නීතිඥ එම්.සී. ජයරත්නට හා නීතිඥ ටියුඩර් පෙරේරාට පැවැරිණි. නිශාන්ත ඉක්මනින් පක්ෂයේ සියලූම පළත් සභා මන්ත්‍රීන් හා පළාත් පාලන නියෝජිතයන් කැඳවන්න යැයි ඇමැති චම්පික කියා සිටියේය.

රමේෂ් වරල්ලෙගම
rameshdefence@gmail.com