පාර්ලිමේන්තුව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරු 1.00ට රැස්විය.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව, දේශීය ආදායම් (සංශෝධන) පනත, මුදල් පනත් කෙටුම්පත, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත, ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත, ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත සහ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත් පිළිබඳ යෝජනා ඉදිරිපත් කළේය.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා : ඝාතනයට ලක්වූ ආර්ථිකයක් සහිත රටක් තමයි අපේ රජය භාර ගත්තේ. දවස් 21කින් අපි හදපු අතුරු අයවැය තුළ අඩුපාඩු තිබිය හැකියි. නමුත් රටට උපරිම වාසියක් හා අවම හානියක් වන ආකාරයේ අයවැයක් තමයි අපි මෙවර ඉදිරිපත් කරන්නේ. වියදම් දරන්න ආදායම් අවශ්‍යයි. ඒ සඳහා ආදායම් ගෙවන්න පුළුවන් අයට බදු පැනවීම අවශ්‍යයි. අපිට ණය වෙළෙඳ‍පොළෙන් ඉවතට ගමන් කිරීම අවශ්‍ය වුණා.

මේ රට දුවන්න තියෙන්නේ ජනතාව පත් කළ ආණ්ඩුවකින් මිසක් උසාවියකින් ‍නෙවෙයි. අපි වියදම දරනවා කියපු කෙනාගේ ඉඳන්. නමුත් ආදායම එන්නේ කල් ගිහිල්ලා. ජනතාව වෙනුවෙන් බද්දක් දාපුවහම උසාවියට ගිහින් ගෙවපු ඒවාත් ආපසු ගෙවන්න කියනවා. මේ වගේ ප්‍රශ්න තමයි අපිට තිබෙන්නේ. උසාවිය කිව්වොත් බදු වැඩි කරන්න එපා පඩි වැඩි කරන්න කියලා අපි කොහොමද ඒක කරන්නේ. පාර්ලිමේන්තුව කොහොමද ඒ විදිහට වැඩ කරන්නේ.

ආචාර්ය සරත් අමුණුගම මහතා : ඇමැතිතුමා ඒ තර්කය දුරදිග ගෙනියන්න එපා. නීති සම්පාදනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි විය යුතුයි. එහෙම හිඩැස් අඩුපාඩු නැති නීති අණ පනත් ගේනවා නම් උසාවිය එක්ක ගැටීමක් ඇතිවෙන්නේ නෑ.

අමාත්‍ය රවි කරුණානායක මහතා : මේ බදු පැනවීම අත්‍යවශ්‍යයි. අරක්කු නිෂ්පාදනය කරන සමාගම් විසි ගණනක් තියෙද්දී බදු ගෙවන්නේ සමාගම් හතර පස් දෙනයි. ඒක වළක්වන බදු පැනවීමක් කරන එක වැරදියිද? ඔබතුමන්ලාගේ තර්කවලින් තමුන්නාන්සේලාගේ කුහක දේශපාලනය තමයි පේන්නේ. මන්දිර බද්ද ගැන ප්‍රශ්න කරන නිසා ඒක මට අදාළ වුණත් නැතත් මම මුලින්ම ඒ බද්ද ගෙනාව කියලා කියන්න කැමැතියි. විදේශගත හැම දෙනාටම කියන්නේ ඔබතුමන්ලාගේ සල්ලි පිරටවල්වල තියෙන්න අවශ්‍ය නෑ. මේ රටට ගේන්න අපි ඒකට අවශ්‍ය වැඩපිළිවෙළ හදන්නම් කියලයි.

ඉලෙක්ටේ‍රානික කාඩ් එකක් මුල් කරගත් අලුත් ගනුදෙනු ක්‍රමවේදයක් හදන්න අපි පදනම දමා තිබෙනවා. ඒ තුළින් පුද්ගලයකු උපතේ සිට ජීවිත කාලය පුරාම කරන ගනුදෙනු පිළිබඳ දැන ගන්න පුළුවන්. සීයට සීයක් බදු වැඩි කරලා මේ රට හදන්න පුළුවන් කියලා තමුන්නාන්සේලා හිතන්න එපා. අපිට දුන්නේ ණය බරින් දණ ගස්වපු ආර්ථිකයක්. අපි හදන්න යන ආර්ථිකය මුළු රටේම ජනතාවටයි. එහෙම නැතුව සුළු පිරිසකට වාසි ප්‍රයෝජන ලබන්න ‍නෙවෙයි.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා : 2000 සිට 2014 දක්වා ආයෝජන වැඩි වෙලා තියෙන්නේ සියයට දෙකක වැනි සුළු ප්‍රමාණයකින් පමණයි. නමුත් සියයට 35ක ආයෝජන ප්‍රතිශතයකට එන්නේ නැතුව අපිට ආර්ථික වර්ධන වේගය ගැන පුරසාරම් කියන්න බෑ.

රජයට මුදල් ලබා ගැනීමට රාජ්‍ය ආදායම වර්ධනය කළ යුතුයි. පසුගිය රජය බදු කොමිෂන් වාර්තාව එළියට දැම්මේ නැහැ. අපේ මුදල් ඇමැතිතුමයි මුදල් අමාත්‍යාංශ ‍ලේකම්තුමයි දැන් ඒ වාර්තාව එළියට අරන් තියෙන්නේ. ඉදිරියේදී ඒක පාර්ලිමේන්තුවට, මන්ත්‍රීවරුන්ට හෙළි කරනවා.  අපේ වර්තමාන රජය අපේ ජාතික ඉලක්කයන් අවබෝධ කරගෙන කටයුතු කරන්නේ. ගමේ රන් මැණිකාගේ අප්පුහාමිගේ පසුම්බියට දැනෙන්නෙ නැති ආර්ථික වේගයකින් රටට වැඩක් නැහැ.

ඇති හැකි කලාපය සහ නැති බැරි කලාපය කියලා කොටස් දෙකක් රටේ තියෙන්න බැහැ. හතර දෙනෙක් ඉන්න පවුලකට අද ජීවත් වෙන්න මාසෙකට රුපියල් පනස් එක් දාහක් අවශ්‍යයි. නමුත් ඒ වියදම පියවා ගන්න බැරි විශාල පිරිසක් අද අපේ රටේ ඉන්නවා. ඔවුන්ට ආදායම් සම්පාදනය කරගත හැකි ආර්ථිකයක් හදන්න අපේ රජය කැපවී සිටිනවා.

පත් කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ) : එජාපය විපක්ෂයේ ඉන්න කා‍ලේ කිව්වේ මේ රටේ ආර්ථිකය කඩා වැටිලා. ඒක ආයේ නැගිට්ටවන්න බෑ කියලා. ඒත් එයාලාගේ ආණ්ඩුව පත් වෙලා මාස ගාණක් යද්දී මෙන්න ඒ ආර්ථිකය දියුණු වෙලා. ඒත් ආර්ථිකය නිර්වචනය කරන අය කියන්නේ ආර්ථිකය කඩාවැටිලා රුපියල බාල්දු වෙලා කියලා. මේක පුදුම කතාවක්. තමුන්නාන්සේලා මේ පාර්ලිමේන්තුවට ඇත්ත කියන්න ඕන. විපක්ෂයේ ඉන්න කොට දැකපු ආර්ථිකය තමුන්නාන්සේලා ඇමැතිකම් දරද්දී පේන්නේ නැති එකයි මේ ප්‍රශ්නවලට හේතුව. තේ, රබර්, ‍පොල් කර්මාන්ත මෙහෙයවන්න තිබෙන අමාත්‍යාංශවල අද හරියට වැඩක් කෙරෙන්නෙ නෑ. සමහර ඇමැතිවරුන්ට වැඩ කරන්න අමාත්‍යාංශ කාර්යාලයක් නෑ. නමුත් කතා කරද්දී කියන්නේ නැගලා යන ආර්ථිකයක් කියලා.

තමුන්නාන්සේලා කරන්න යන්නේ කැසිනෝ නැති කරන එක ‍නෙවෙයි. බදු හරහා කැසිනෝ නීතිගත කිරීමයි. රාජපක්ෂ පාලනය පෙරළලා දාපු ජනතාව යහපාලනයෙන් බලා‍පොරොත්තු වුණේ ඒකද? ජනතාවට ඕන කැසිනෝ නතර කරන්න.

තමුන්නාන්සේලාට ඕන යහපාලනය මුවාවෙන් කැසිනෝ පාලනය කිරීමයි. බදු හරහා අලුතිනුත් කැසිනෝ ආරම්භ කරන්න ආරාධනා කරනවා. බහු ආදායම වැඩිවීම ‍නෙවෙයි ජනතාවගේ බලා‍පොරොත්තුව. කැසිනෝ, මත්පැන් නැති කරන ක්‍රමයක් බලා‍පොරොත්තු වුණේ. තමුන්නාන්සේලා ඊළඟ අයවැය ගේන්නේ මේ බදු ආදායමෙන් ‍නෙවෙයි ජනතාව මත පටවන බදු ආදායමෙන්. අද කාර් එකක් ගන්න බැරිව මිනිස්සු බලාගෙන ඉන්නවා. තේ පැක්ට්‍රරි කීයක් මේ වෙද්දී වැහිලද?

පත් කළ මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා (එජනිස): මුළු ආසියාවෙන්ම අපි තමයි අද සෘණ ආර්ථිකයක ඉන්නේ. අපේ විදේශ සංචිතය බලාගෙන ඉද්දී අඩු වෙලා තිබෙනවා. සංචාරක ව්‍යාපාරය සහ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් මෙරටට ගලා ඒම අද අඩු වෙලා. රටට මුදල් ලැබෙන ප්‍රධාන මාර්ග දෙක ඒ විදිහට ඇහිරිලා තියෙද්දී අපි කොහොමද ආර්ථික සංවර්ධන වේගයක් ගැන කතා කරන්නේ. සිහින ලෝකවල ඉඳගෙන මේ ප්‍රශ්න විසඳන්න බැහැ. අපි ජී.එස්.පී. සහනය ගැන බලා‍පොරොත්තුවෙන් ඉන්නවා. නමුත් අපි මධ්‍යම ආදායම් ලබන රටක්.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා : ජී.එස්.පී. + ලබා ගැනීම පිළිබඳ සියලුම වැඩකටයුතු සම්පාදනය කර තිබෙනවා. ඔබතුමන්ලා දැන් පිළිගන්නවා ඒක හොඳයි කියලා. කලින් ඒ ගැන කටයුතු කළා නම් කොයි තරම් හොඳයිද?

ආචාර්ය සරත් අමුණුගම මහතා : පරණ දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් අපි ලැබෙන දේවල්වලින් ප්‍රයෝජන ගන්න ඕන.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප) : අවුරුදු 20ක් කඩා වැටුණු රට මාස දෙකකින් ගොඩනගන්න බැහැ. නමුත් අපි සමහර ප්‍රශ්නවලට ක්ෂණිකව විසඳුම් ලබාදී තිබෙනවා. රටේ ඉතිහාසයේ වැඩිම වී ප්‍රමාණය මිලදී ගත්තේ අපි. ඔට්ටු හා සූදු පනත ගෙනැල්ලා අපි කැසිනෝ ව්‍යාපාරය පාලනය කරන්නයි හදන්නේ. ජනතා විමුක්ති පෙරමුණ කැලෑ නීතිය ගෙනැල්ලා චිට් කෑල්ලෙන් කඩ වැහුවා වගේ කැසිනෝ වහන්න බැහැ. යහපාලනය තුළ හැමදේම නීතියට අනුවයි කරන්නේ. සුපිරි වාසි බද්ද, මන්දිර බද්ද වගේ බදු අපිට හඳුන්වලා දෙන්න සිද්ධ වුණේ පසුගිය කා‍ලේ සුපිරි ධනවතුන් ආරක්ෂා කරන බදු ප්‍රතිපත්තියක් තිබුණු නිසයි.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (එජනිස) : වෛරී ච්ෙතනාවෙන් තමයි මුදල් ඇමැතිතුමා තමන්ගේ අයවැය ඉදිරිපත් කළේ.

මැතිවරණ කොමසාරිස් ගැසට් කරලා තියෙන නමක් මේ පාර්ලිමේන්තුවේ කියන්න බැරි නම් ඒක මොන තත්ත්වයක්ද? මුදල් ඇමැතිතුමාගේ නියම නම කිව්වම ඒක ජාතිවාදය ඇවිස්සීමක් කියලා කියන්නෙ කොහොමද?

2014 මුදල් වර්ෂය පිළිබඳ වාර්තාවේ මුදල් ඇමැතිතුමා විසින් අච්චු ගහලා ලියලා දීලා තිබෙනවා මේ රටේ හොඳම නිරෝගී ආර්ථිකය තිබුණු වර්ෂය 2014 කියලා. එතුමා එහෙම කියපු එක ගම්පහ අජිත් මන්ත්‍රීවරයා බොරු කියන්නේ කොහොමද? වාසනාවන්ත මුදල් ඇමැතිවරයා ලෙස තෙල් මිල අඩුවීමෙන් රට තුළ ඉතිරි වුණු රුපියල් කෝටි තිස්දාහෙන් වී, රබර්, තේ කර්මාන්ත නගා සිටුවන්න කටයුතු කළ හැකියි. මේ සඳහා මුදල් නැහැ කියලා කියන්න තමුන්නාන්සේලාගේ රජයට බැහැ. මහින්ද රාජපක්ෂ රජය පටන් ගත්ත එක කැසිනෝ එකක්වත් මේ රටේ නැහැ. 1988 තමයි මේවා පටන් ගත්තේ.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා (එජනිස) : මේ රජයට අනාගතයක් නැහැ. මේ දෙමුහුන් ආණ්ඩුවට වැඩි දවසක් මෙහෙම යන්න බැහැ කියලා විපක්ෂය හැටියට අපි කියනවා. එජාප ආණ්ඩුවක් පත්වූ හැම වෙලාවකම මිනිසුන්ගේ අතමිට සරු වුණා. නමුත් පළවෙනි පාරට ඒක මේ පාර වෙනස් වෙලා තිබෙනවා. අද මිනිසුන්ගේ අතේ සල්ලි නැහැ. රාජපක්ෂ රජය ණය ගත්තා වැඩියි කියලා චෝදනා කරපු තමුන්නාන්සේලා අද රුපියල් බිලියන 400ක් වැඩිපුර ණය ගන්න අනුමැතිය ඉල්ලනවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ විමධ්‍යගත අරමුදල නැහැ.

අපි ආණ්ඩුවට කියනවා කුඩා තේ වතු හිමියන්ගේ ප්‍රශ්නය විසඳන්න වහාම මැදිහත් වෙන්න කියලා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (එජාප) : පසුගිය කා‍ලේ ඇලඩින්ගේ පුදුම පහන වගේ මුදල් වැය කරපු රජයක් තිබුණු නිසයි අපේ ආර්ථිකය අද මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසයි අද අපිට මෙවැනි බදු පනත් ගෙන එන්න සිදු වෙලා තියෙන්නේ.

නව තාක්ෂණය යොදාගෙන විශාල වැටුප් ලබාදිය හැකි ආයෝජන අවස්ථා හා රැකියා ඇති කිරීමට අපේ රජය විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. එසේ නැතිව බුද්ධි ගලනය වළක්වන්න බැහැ.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා (එජනිස) : අද වාහනයක් ගන්න බලාගෙන හිටපු මිනිස්සු අසරණ වෙලා. අද මිනිස්සු දහස් ගණනින් රැකියා ‍පෝලිමේ ඇමැතිවරු ළඟ. නමුත් ඇමැතිවරුන්ට රහසිගත චක්‍ර‍ලේඛ යවලා තිබෙන බවට ආරංචියක් තිබෙනවා බඳවා ගැනීම් කිසිවක් කරන්න එපා කියලා. මේ ආණ්ඩුව තෙල් සංස්ථාවේ කොටසක් විකුණන්න සැලසුම් කළා. ජනතා විමුක්ති පෙරමුණ මේ ආණ්ඩුව හදන්න කඩේ ගිහිල්ලා දැන් ලැජ්ජා නැතිව මේ පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා ආණ්ඩුව කැසිනෝ නීතිගත කරන්න යනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණට අමතක වුණා ගමේ කඩපි‍ලේ තියෙන රේස් බුකිවලින් ජනතාව බේරාගන්න ඕන කියලා. ඔවුන් යන්නේ කැසිනෝ කියන ජනප්‍රිය මාතෘකාවට. ගමේ තියෙන සූදු ‍පොළවල්වලටත් බදු ඉහළ දමන්න කියලා අපි යෝජනා කරනවා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම ගමගේ මහතා (එජාප) : මේ රටේ අඩු ආදායම්ලාභී ජනතාවට සහන සලසන්න නම් ඔවුන්ට බදු බර නොදී වෙනත් ක්‍රමවලට යා යුතුයි. ඒ සඳහා ඔට්ටු, කැසිනෝ, රේස් බුකි ඇතුළු සුඛෝපභෝගී බදු වැඩි කළ යුතුයි. තැබෑරුම් බද්ද අඩු කළාට බොන එක නවත්වන්න බැහැ. යහපාලනය තුළ කිසිම රාජ්‍ය ආයතනයකට පරිපාලන ආයතනයකට බලපෑම් සිදු කරන්නෙ නැහැ. ඒ නිසා තමයි වක්‍ර බදු පනවලා ඒ දේවල් පාලනය කරන්න හදන්නේ. පනත් කෙටුම්පත් සංශෝධනය සහිතව සම්මත විය. පාර්ලිමේන්තුව අද (21දා) පස්වරු 1.00ට රැස්වේ.

රුචිර දිලාන් මධුසංඛ/ සුරේකා නිල්මිණි ඉලංගකෝන්