වැඩ කරන කලාව වගේම වැඩ ගන්න කලාවත් මං දන්නවා – බස්නාහිර මහ ඇමැති  ඉසුර දේවප්‍රියisura
බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා ලෙස මම වැඩ කරන කලාව දන්නවා. මාව පත්කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමාත් මම වැඩක් කරනවා කියලා දන්නවා. ආණ්ඩුවේ ඇමැතිවරු වැඩ කරන කලාවත් මම දන්නවා. ඒ කලාව එක්ක ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් මම වැඩ ගන්නවා. රජය ජාතික ආණ්ඩුවක් හැදුවේ අවුරුදු දෙකකට. ඒ වුණාට පළාත් සභාවේ මට අවුරුදු 3 1/2ක කාලයක් තියෙනවා. ඒ කාලය තුළ පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ක මම වැඩ කරලා පෙන්වනවා.

නන්දන රණසිංහ/පතිරගේ සාලිය


ඇමැති වෙනකම් ඩිජිටල් ගැන මං දැනන් හිටියෙ නෑ – අමාත්‍ය හරින් ප්‍රනාන්දුharin
මට දීලා තියෙන්නේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් කියන ඇමැතිකම. මමත් දැනන් හිටියේ නෑ ඩිජිටල් කියන්නේ මොකක්ද කියලා මේ ඇමැතිකම ගන්නකම්. ඇමැතිකම ගත්තට පස්සේ තමයි හොයලා බැලුවේ ඩිජිටල් කියන්නේ මොකක්ද කියලා. දැන් තියෙන තාක්ෂණයට අනුව මගේ ෆෝන් එකෙන් අද වැල්ලවායට කීයටද වහින්නේ කියලා බලාගන්න පුළුවන්.

දේශගුණය කොහොමද කියලා බලාගන්න පුළුවන්. මේ සියල්ල මේ තාක්ෂණය හරහා ගන්න පුළුවන්. අපේ අදහස ඉදිරියේ දී සෑම ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයකම දරුවන්ට දෙමාපියන්ට අන්තර්ජාල පහසුකම් හරහා එවැනි දුරකථන, පරිගණක ලබාදෙන්න.

නයන කුමාර – මොනරාගල/ඉඳුනිල් අලුත්ගෙදර – බඩල්කුඹුර


හිතවතුන්ට රස්සා දීම වෙනුවට එජාපය රැකියා උත්පාදනය කළා – එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩbandulal
පහුගිය ආණ්ඩුව කා‍ලේ රාජ්‍ය ආයතනවලට මැති ඇමැතිවරුන්ගේ හිතවතුන්ට රැකියා අවස්ථා කිහිපයක් ලබා දුන්නා. රැකියා අවස්ථාවන් ජනිත කරන කර්මාන්තශාලා බිහි කළේ නැහැ. නමුත් යූ.එන්.පී. රජයන් මගින් තමයි රැකියා උත්පාදන අවස්ථාවන් ඇති කළේ.

අද වන විට මුළු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්වෙලා තියෙනවා. අද ජංගම දුරකථනයක් නැති කෙනෙක් නැහැ. ඉදිරි වසර පහ තුළ අපේ රටේ අ.‍පො.ස. සාපෙළ හා උසස් පෙළ සමත් දරුවන්ට රැකියා ලබාදෙන්න අදාළ සමාගම් ඔවුන් නිවසටම සොයාගෙන ඒවි.

ලලිත් කංකානම්ගේ – ගිංතොට/සමන් කුමාර – බූස්ස


මහින්ද වෙනුවට මෛත්‍රී ළඟට ගියානම් මං කැබිනට් ඇමැති – හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන්gunarathna
ජනාධිපතිතුමා මට එතුමා එක්ක එක්වෙන්න කිව්වේ ජනවාරි 10 වැනි දා. ඒත් මම එදා ගියේ නෑ. එදා මම එතුමා ළඟට ගියා නම් එතුමා මට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දෙනවා. මම එදා නොගියේ මහින්ද මහත්තයා ගැන හිතලා. නමුත් එහෙම හිතපු මාව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී පරාජය කරන්න එයාලා ජුවම හා වක්‍රව දායක වුණා.

මීට පස්සේ මහින්ද සමග දේශපාලන ගමනක් යන්න මගේ කිසිදු අදහසක් නෑ. මම ඉදිරියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග දේශපාලන ගමන යන්න තීන්දු කරනවා. මම ඉදිරියටත් දේශපාලනය කරනවා. දේශපාලනයෙන් සමුගන්න බලා‍පොරොත්තුවක් නෑ.

ඕෂධ කමලනාථ – බද්දේගම


මහින්ද පැරැද්දූ මට එයාගේ ගෝලයන් පැරැද්දීම සුළු දෙයක් – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාsarath fonseka
රටේ ජනතාව බලා‍පොරොත්තු වූ යහ පාලනය තවමත් උදාවෙලා නෑ. රජය ජනතාව බලා‍පොරොත්තු වූ දිසාවෙන් යා යුතු නම් මහින්ද සමග සිටි අය පරාජය කළ යුතුයි. එහෙම නැතිව මේ ගමන යන්න බෑ. අපි එදා යහපාලනයට උදව් කළේ ඒ ගමන යයි කියලා හිතලා. නමුත් තවම ඒ ගමන යනපාටක් පේන්න නෑ.

මහින්ද මහතා පරාජය කළේ  මමයි. මහින්ද වටා සිටි බොහෝ දෙනා දැන් මෙම රජය වටා ඉන්නවා. ඔවුන් ද පරාජය කළ යුතුයි. මහින්ද පරාජය කළ මට මොවුන් ද පරාජය කිරීම ලොකු දෙයක් නොවේ.

ජවුෆර් කාන් – මඩකලපුව


ආවේග මතම දේශපාලනය කළොත් රටම විපතේ – රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහsujeewa
ජනතාව බියගන්වලා, ජාතිවාදය ආගම්වාදය අවුස්සලා ආවේග අවුස්සලා කරන දේශපාලනය ආකර්ෂණීයයි. නමුත් ආවේග මත දේශපාලනය කරන්න ගියොත් රටවල් විනාශ වෙනවා. විදේශ බලවේග අතුගාලා දාන්න ඕනෑ කීවම ආකර්ෂණීයයි. පසුගිය කාලයේ විදුලි පුටු පෙන්වලා ජනතාව බියගැන්නුවා. නමුත් අපි අද ඒ දේවල් කරන්න සූදානම් නැහැ.

අපි දේශපාලනයට ඇවිත් තියෙන්නේ මුදල් හම්බකරන්න නොවෙයි. පගා බලා‍පොරොත්තුවෙන් නොවෙයි. අපේ බලා‍පොරොත්තුව තියෙන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්නයි. ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නයි.

සමන් කුමාර – බූස්ස/ලලිත් කංකානම්ගේ – ගිංතොට