ජේවීපිය ඇමෙරිකාවේ හොඳ කියන්නේ මැරිලා ඉපදිලා වගේ  – එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශwimal weerawansa
මහින්දගේ වැරදි තිබුණු නිසාලු ඇමෙරිකාව මෙහෙම කළේ කියලා ජේවීපී එකේ කට්ටිය කියනවා. ජවිපෙට දැන් ඇමෙරිකාව හොඳයි. ජවිපේ අලුත් ආත්මයක් උපත ලබලා වගේ කතා කරන්නේ. වාමාංශිකයන් වශයෙන් මොවුන් අධිරාජ්‍යවාදයට ‍පොඩි සුදු හුනු පාරක් ගානවා. එදා යුද්ධයෙන් එල්.ටී.ටී.ඊ. එක ජයග්‍රහණය කළා නම් ජිනීවාවල මොන ගින්නක්වත් නැහැ. එජාපය හා ජවිපේ දුර්මත පතුරුවමින් රට දෙපලු කිරීමේ හා පාවාදීමේ මෙහෙයුම සාධාරණීය කරන්න හදනවා. මේ රජය කාලයෙන් කාලයට බොරු කියනවා. බොරු සියයක් එක දිගට කියන විට ඇත්ත වෙනවනේ.

අපිටත් හිතෙනවා මේ කියන්නේ ඇත්තද කියලා. රත්තරන් අශ්වයන් ගැන කීවා. විදෙස් රටක ඩොලර් මිලියන ගණනක් බැංකු ගිණුම් තියෙනවාලු. කාලයෙන් කාලයට මේ අය බොරු මවනවා. ඒ තරම් සජීවී විදිහට බොරු කියනවා. මේ සියල්ල කරන්නේ මේ රට පාවාදීමේ මෙහෙයුම් සාධාරණීය කිරීමටයි.

සුනෙත් ගාල්ලගේ -ගාල්ල / ලලිත් කංකානම්ගේ – ගිංතොට / සමන් කුමාර – බූස්ස


අල්ලස් කොමිසම වැඩට බැස්සා දූෂිතයන්ට දැන් ගැලවීමක් නෑ  -රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරpalitha
අපි රස්සාවක් කරන්නේ කාටවත් අත නොපා ජීවත් වෙන්නයි.
හැබැයි සමහරුන් තමන්ගේ රැකියාවේ, තමන්ගේ පවු‍ලේ අයගේ ගෞරවය කෙලෙසා ගනිමින් පගා ගහනවා.

අල්ලස් කොමිසම ක්‍රියාත්මක නෑ කියලා අපේම අය කෑගැහුවා. අධ්‍යක්ෂ ජනරාල්තුමිය නැවත පත් කරලා දවස් තුනයි ගියේ ඇල්ලුවා ලංකාවේ ලොකුම අල්ලස.

තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රමාණය හම්බ කරලා අනවශ්‍ය වියදම් අඩු කළා නම් මේ වගේ පගා ගහලා ජීවිතේ විඳවන්න වෙන්නේ නෑ.

කොහොම නමුත් ඉදිරියේදී සියලුම දූෂිතයන් කොටු කරගෙන උපරිම දඬුවම් ලබාදෙනවා.

දැන් අල්ලස් කොමිසම වැඩට බැහැලා ඉන්නේ.

නාලක සංජීව දහනායක


දරුවන් අජාසත්තලා හෝ බෝසත්ලා කරන්න පුළුවන් ගුරුවරුන්ටයි – එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී  විජේපාල හෙට්ටිආරච්චිwijepala-hettiarachchi
පාලම්, බෝක්කු, අධිවේගී මාර්ග හදන තරම් ‍ලේසි නෑ මිනිසුන්ගේ හිත් හැදීම. ඒක තමයි බැරෑරුම් කාර්යය.

අප කළ යුත්තේ ජනතාවගේ හිත් හැදීමයි.  ජනතාවගේ හිත් හැදෙනවා නම් රටත් හැදෙනවා.  ඒ බැරෑරුම් කාර්යය කරන්න අපේ ගුරුවර ගුරුවරියන්ට පුළුවන්. ළමා මල් කැකුළු විකසිත කිරීමේ හැකියාව තියෙන්නෙත් ගුරුවර ගුරුවරියන්ට. දිසාපාමොක් යුගයේ සිට මෑත අතීතය තෙක් බලද්දී ඕනෑම අයෙක් අජාසත්ත කෙනෙක් කරන්න පුළුවන් ගුරුවර ගුරුවරියන්ට.  ඒ වගේම කෙනෙක් බෝධිසත්ව ගුණෝපේත වැන්නවුන් නිර්මාණය කරන්න පුළුවන් ගුරුවර ගුරුවරියන්ට. අප ජාතක කතා ගැන දන්නවා. ඒ වගේම ගුත්තිල-මූසිල වීණා වැයීම ගැනත් දන්නවා. අර තරම් සෙනෙහසින් මූසිලට තත්සර වයන්නට කරුණාවෙන් කටයුතු කරපු ගුත්තිලට වෙච්ච දේ අපි දන්නවා.

ඕෂධ කමලනාථ – බද්දේගම


පාර්ලිමේන්තුව බලන්න දරුවෝ එවනවා නම් අගමැති රටේ ඉන්නවද බලන්න – එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලUdaya Gammanpila
අපේ රටේ පාර්ලිමේන්තුව නරඹන්න පාසල් දරුවෝ එනවා. මම ගුරුවරුන්ගෙන් වගේම දෙමාපියන්ගෙන් එක් දෙයක් ඉල්ලන්න කැමැතියි.

ඒ ඉල්ලීම තමයි පාර්ලිමේන්තුව නරඹන්න දරුවෝ එක්කරගෙන එද්දි අපේ අගමැතිතුමා රටේ ඉන්නවාද කියලා බලලා ඒ ගමන් යොදාගන්න.

එතුමා ජපන් ගිහින් හිටපු දවස් දෙකට නම් පාර්ලිමේන්තුව සාමකාමීව පැවතුණා. කවුරුවත් අසභ්‍ය වචන කිව්වේ නැහැ.  කාටවත් අපහාස කළේ නැහැ.

අනෙක් හැම දවසකම අගමැතිතුමාගේ අපහාස විඳිමින් තමයි විපක්ෂයට පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න සිදුවෙලා තියෙන්නේ.

මේ දේවල් දරුවෝ නරක පූර්වාදර්ශ ලෙස ගන්න ඉඩ තියෙන නිසයි දරුවන්ව පාර්ලිමේන්තුව නරඹන්න එක්ක එද්දි දෙපාරක් හිතන්න කියලා මං කියන්නේ.

දීපා වසන්ති එදිරිසිංහ


ඇමැති මූණු මාරුවෙලත් නෑ ධීවර ගැටලු විසඳිලත් නෑ – ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිnihal
කැ‍ලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරුවෙන්නේ නැතිව වගේ ධීවර අමාත්‍යවරු මාරු වුණාට ධීවරයන්ගේ ගැටලු විසඳෙන්නේ නෑ. දැන් ධීවර අමාත්‍යවරුන් පහළොවක් විතර ඉඳලා තියෙනවා. නමුත් ධීවරයන්ගේ ගැටලු දවසින් දවස වැඩිවෙනවා මිස අඩුවෙන්නේ නෑ. දැන් ආපහු පත්වෙලා තියෙන්නේ 2015 ජනවාරි 8න් පස්සේ හිටපු ධීවර ඇමැතිවරයාමයි. ධීවර රාජ්‍ය ඇමැතිවරයා වුෙණත් දින සීයේ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයාමයි. ඒ දින 100 තුළ ධීවරයාට කිසිම දෙයක් කෙරුණේ නෑ.

ඒ නිසා අපි කියනවා ඉදිරියේදිවත් ධීවරයන් වෙනුවෙන් ඵලදායී ලෙස කටයුතු කරන්න කියලා. ධීවරයින් කියන්නේ හැමදාම රවට්ටන්න පුළුවන් පිරිසක් ‍නෙවෙයි. අද වනවිට ධීවර කර්මාන්තය විනාශ මුඛයට ඇදලා දමලයි තියෙන්නේ.

සමන් කුමාර-බූස්ස / ලලිත් කංකානම්ගේ-ගිංතොට


අලුත් මන්ත්‍රීවරු වැඩට බැස්සම වංශලාට තරු පෙනේවි – එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිhector
මෙවර පාර්ලිමේන්තුවට එජාපයෙන් වැඩ පෙන්වන්න පුළුවන් අලුත් මන්ත්‍රීවරු කණ්ඩායමක් ඇවිත් ඉන්නවා. එයාලා තාම වැඩ පටන් ගත්තේ නෑ. පරණ මන්ත්‍රීවරුන් එක්ක එකතුවෙලා එයාලා වැඩ කරන්න ගත්තාම ඔය විපක්ෂයේ කියා හිඳගෙන කෑගහන වංශලාට තරු පෙනේවි. තව ටික දවසකින් අපි වැඩ පෙන්වනවා. එතකොට බලාගන්න පුළුවන් පුත්තලමේ අයගේ වැඩ.

මැක්සිමස් මුතුනමගොන්න – නාත්තන්ඩිය