සමාජ විද්‍යාත්මක හරයෙන් ගත්විට දැන් පිවිසෙමින් සිටින්නේ නිදහසට වැට බඳින සමයකටය. ලාංකීය ඉතිහාසය පුරාම මෙවැනි සමයන් පසුකර ඇත. එහෙත් වෙනස ඇත්තේ මේ දුගඳ හමන සමාජ රටාව අතික්‍රමණය කිරීමට පසුබට වන මිනිසුන්ගේ වර්ධනයක් වර්තමානයේ බිහිවීම පමණි. නමුත් යුගය ඉල්ලා සිටින වෙනස එය නොවේ. එදා අසූව දශකය මැද භාගයේද එයට එරෙහිව මහා හඬක් නැගුණේය. එම සියලූ උත්සාහයන් තුළ ජනමතය අවුළුවාලීමට සමත් වූයේ ඒකාබද්ධ විපක්ෂය සහ මව්බිම සුරැකීමේ ව්‍යාපාරයයි.

ඉකුත් ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයද අගෝස්තු 17 මහ මැතිවරණයෙන්ද පසු  ආණ්ඩුව සිය පාක්ෂිකයින් පිනවීමට භාවිත කළ තේමා පාඨය වූයේ “දැන් ශ්‍රීලනිප පළුවකුත් අපේ අතේ බැවින්ද, සම්බන්ධන්ට විපක්ෂ නායකකම සහ ජවිපෙට විපක්ෂයේ ජාතික සංවිධායකකම දීමෙන්  සියලූ දෙනාම කීකරු වී ඇති බැවින්ද, විපක්ෂයක් නොමැති බවය. ඇත්තේ ූසම්මුති ආණ්ඩුවක් බවය. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ කශේරුකාවද කඩා දැමීමට මාන බලන බැවින් ජනතාව අතරද ආණ්ඩුවේ තේමා පාඨය කා වැදී තිබිණි. එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. එය හරියටම අළු මතින් නැගි සිටින ෆීනික්ස් නම් කුරුල්ලාගේ නැගී සිටීමේ කතාව ලෙසින්ම ඒකාබද්ධ විපක්ෂයක් ලෙස සංවිධානය වී නව යුගයකට මග හෙළි පෙහෙළි කිරීමට ඉදිරියට පැමිණ තිබේ.

ලබන 19 වැනි සඳුදා පස්වරු 3 ට විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙන රණවිරුවන් සුරකින ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලිය එහි පෙර ගමන් කරුවකු බවට පත්ව ඇත. දැන් විපක්ෂ දෙකකි. එකක් දියවන්නාවේ සිටින ආණ්ඩුවට හිතැති අධිරාජ්‍යවාදී වුවමනාවන්ට සමාන්තරව ගමන් කරන ඩුප්ලිකේට් විපක්ෂය වේ. අනෙක ජිනීවා යෝජනා හරහා රට පවාදීමට එරෙහි රට මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරතවන ආණ්ඩු විරෝධි අරගලයේ නිරතවන අධිරාජ්‍යවාදී බලපෑම්වලට එරෙහි සැබෑ විපක්ෂයයි.

එමෙන්ම මෙම ඒකාබද්ධ විපක්ෂ සන්ධානයට පරිබාහිරව මව්බිම සුරකීමේ ජාතික ව්‍යාපාරයද බිහිවී ඇත. නිද්‍රාශීලිත්වයට සහ අක්‍රීය කොට තිබූ ජාතිකවාදී කොටස් අවදි කිරීමේ ගාමක බලවේගය ලෙස එය ක්‍රියාකරනු ඇත. ඒකාබද්ධ විපක්ෂ සන්ධානයේ ඇතැම් නායකයින්ට බාහිරව මව්බිම සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ නියමුවකු වන්නේ ජාතික එකමුතුවේද නායකයකු වන යුතුකම සංවාද කවයේ ගෙවිඳු කුමාරතුංගය. එම කවය මගින් ඉකුත් බ්‍රහස්පතින්දා මහජන පුස්තකාලයේ පැවැත්වූ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයට විශාල ජන සහභාගිත්වයක් දක්නට ලැබිණි. එහෙත් ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී විපක්ෂයේ ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ මෙහෙයවීමෙන් පැවති  රැස්වීමට සහභාගී වූයේ පුරවැසියන් දුසිම් 3 කි.

ලාංකීය ජාතිකවාදී ව්‍යාපාරය අසූව දශකයේදී අනුගමනය කරන ලද උපක්‍රමික ප්‍රවේශයන් හඳුනාගෙන ඉතිහාසය කියවීම වැදගත් වන අතර ජාතික බලවේගයන් හමුවේ තම දේශපාලන පැවැත්ම අනතුරට ලක්වන බවට කිසිවකු නොසිතිය යුතුය.

ජනවාරි 8 වැනිදා ජනපතිවරණයේ ජයග්‍රහණයෙන් පසු කිසිදු ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් නොමැතිව ජාතික විධායක සභාව හරහා දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ සහායද ලබාගෙන එජාපය රට පාලනය කළේය. පසුව මහ මැතිවරණයේදී ප්‍රධාන විරුද්ධ පක්ෂයවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට විවිධ බලපෑම් කරමින් මන්ත්‍රීවරුන් යටපත්කර විධායක බලය හරහා ඔවුන්ව පාලනය කරමින් ලක්ෂ 47 ක ජනමතය උඩු යටිකුරු කරන ලදී. හැමදා නියං එකදා වැහි වලාවේ කීවා සේ ඒකාබද්ධ විපක්ෂය නිසා ආණ්ඩුවට දැන් සිදුවී ඇත්තේ අබග්ගයක්ය.

වර්තමාන දේශපාලන තත්ත්වය කිසිවකු සරලව සිතිය යුතු නොවේ. ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව 80 දශකය අවසාන භාගයේ විශාල කැපකිරීමක් කිරීමට සිදුවිය. ජිනීවා සම්මුතිය හරහා රටේ ඉතිහාසය බරපතළ සරදමකට ගොදුරු වෙමින් පවතී. ජිනීවා යෝජනා පිළිගැනීම තුළින් අනාරක්ෂිත හෙට දිනක් නිර්මාණය වීමේ අනතුරක් පවතී. එම වැඩපිළිවෙළ යළි ආපසු හැරවීම ඒකාබද්ධ විපක්ෂය හමුවේ ඇති යුගයේ කාර්යභාරය වේ.

ජනාධිපති කොමිසම නීති විරෝධි යැයි කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මූලික විරෝධයක් මතු කළේය. ඔහු  කොමිසමට කැඳවූයේ ස්වාධීන රූපවාහිනියේ දැන්වීම්වලට මුදල් නොගෙවීම සම්බන්ධයෙනි. එය බටහිර හාම්පුතුන් තෘප්තිමත් කිරීමේ වැඩපිළිවෙළේ තවත් කොටසක්ද විය හැකිය. අවසානයේ මෙම ක්‍රියාන්විතයේදී වන්දි ගෙවීමට සිදුවන්නේ මව්බිමටය. රුසියානු නායක පුටින් ප්‍රකාශකර පරිදි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිදුකරන මැදිහත්වීම් අවසානයේදී එම රටවලට ඉතිරිවනු ඇත්තේ දේශපාලන අස්ථාවරත්වය, සංවර්ධනය කඩාකප්පල්වීම් සහ පශ්චාත් පසුතැවීම් පමණි.

ලොව බොහෝ දේශපාලනඥයන් දේශපාලනිකව ඝාතනය කරන්නටත් ඔවුන්ගේ ආත්මය කෙලෙසා දමන්නටත් මූලික වූයේ ඔවුනට වඩාත් සමීපවූ මිතුරන්ය. එය එසේ වූයේ සැබෑ මිතුරන් හඳුනා ගැනීමට එම දේශපාලනඥයන්ට නොහැකි නිසා නොව සියලූ මිතුරන් සැක කරන්නට ඔවුනට නොහැකිවූ නිසාය.

දැන් ඇත්තේ පොරයකි. ඒ 2016 වසර සඳහා වූ නොබෙල් සම්මානය ලබා ගැනීමට දැයි සැකයෙකි. මෙවර නොබෙල් සාම සම්මානය හිමිවූයේ 2011 ඇරඹුණු අරාබි වසන්ත උද්ඝෝෂණය හරහා අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් සඳහා පෙනී සිටි ටියුනිසියාවේ ජාතික සංවාදශීලි පෙරමුණටය. ඒ බෙන් අලිගේ පාලනය පෙරළා දැමීම වෙනුවෙනි. ඉදිරියේදී සාධාරණ සමාජයක් වෙනුවෙන් රොටි පිච්චූ අයට ද නොබෙල් සම්මානය ලැබුණහොත් එය පුදුමයට කරුණක් නොවේ. දී කිරට බළල්ලූත් සාක්කිලූ.
බීමට පිරිසිදු වතුර ඉල්ලූ හම්බන්තොට බඳගිරියේ ජනතාවට ප්‍රහාරයක් එල්ල විය. 14 ක් තවමත් අත්අඩංගුවේය. එහි ප්‍රජා ජල ව්‍යපෘතියද දූෂණයකි.

රුහුණුපුර ජල යෝජනා ක්‍රමය සකස්කර තිබුණද තවමත් විවෘත කර නොමැත. බන්ධනාගාර 14 ක නඩු නොපැවරූ දේශපාලන සිරකුරුවන් 217 දෙනකු නිදහස් කරන මෙන් උද්ඝෝෂණයකි. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තිබෙනවා දැයි කීවද ඒවා කතා පමණි. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැත්වීමට යෝජිතව තිබූ රැස්වීමක් දේශපාලන රැස්වීමක් යැයි කියමින් ඉකුත් සතියේ ප්‍රතික්ෂේප කෙරිණි.

කැලණි සරසවිය අරඹා ඇති වයිෆයි පහසුකම්වලට මාසිකව දැන් වැයකරන මුදල රුපියල් ලක්ෂ 27කි. වාර්ෂිකව ලක්ෂ 324 කි. මෙම මුදලින් සරසවි නේවාසිකාගාර හිමිනොවූ සිසු සිසුවියන් 1,000 කට මාසිකව රුපියල් 2,700 බැගින් වසරක් මුළුල්ලේ ලබාදිය හැකිය. එසේ නොමැතිනම් පරිගණක 1,000 ක් මිලදී ගෙන පුහුණුව ලබාදිය හැකිය. කළ යුතු බොහෝ වැඩ තිබියදී සරසවි බලධාරින් වයිෆයි සැපයීමට ප්‍රමුඛත්වයදීම අතීසාරෙට අමුඬේ ගසනවා වාගේ වැඩකි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 2014 ඔක්තෝබර් සිට අධ්‍යක්ෂක ජනරාල්වරයා ටී.ඩී.කේ. ජයන්තය. ඔහු වසර 30ක් පුරා දක්ෂ නිවේදකයෙකි. අධ්‍යක්ෂ ජනරාල් ජයන්තට එරෙහිව අසත්‍ය චෝදනා ගොඩනගා බලතලවල තටු කපා දමා තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එය දැනගෙන ඔහුට හිමි බලතල යළි ලබාදීමට මුල්වූවද ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක තවමත් එයට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. ඉකුත් ආණ්ඩුව කාලයේ එහි සභාපති හඞ්සන් සමරසිංහගේ මාධ්‍ය භාවිතය පිළිබඳව බරපතළ ගැටලූ තිබුණද එජාප සාමාජිකයන්ගෙන් පළි නොගත්තේය.

ඒරානන්ද හෙට්ටිආරච්චි අතිරේක අධ්‍යක්ෂක ජනරාල්වරයා වශයෙන්ද, ලලිත් හෙට්ටිගේ මුදල් අධ්‍යක්ෂකවරයා වශයෙන්ද කටයුතු කිරීම එයට නිදසුන් කිහිපයක් පමණි. ඌරන් කැකුණ තළනකොට හබන් කුකුළන්ටද ජය මඟුල්ය.

වර්තමානයේ විශාල සංස්කෘතික ආක්‍රමණයක්ද සිදුවෙමින් පවතී. චින්තනය විනාශ කර දේශපාලන ආර්ථිකය සනාථ කිරීම සඳහා එය අතවශ්‍ය සාධකයකි. එම උඩුගම්බලා යාමට එරෙහිව පිරිසක්ද බිහිවීම වාසනාවකි. ඔවුනට එය වෙනස් කළ හැක. අවැසි ප්‍රධාන කරුණ බුද්ධිමත් සමාජයක් ගොඩනැගීමය. හරවත් සාහිත්‍යයක් කරා යා හැක්කේ ඒ තුළිනි. පුරවැසියාගේ බලය මාර්කට් කරන එන්.ජී. ඕ. සංවිධානවලට හෝ බුද්ධිමය ශ්‍රමය උලාකන උගතුන්ට තවදුරටත් මුළාවිය යුතු නොවේ.

ලාංකීය ජනයා එදා සිට අද දක්වා පාලකයින් පත්කර ඇත්තේ ප්‍රසාදය නොව අප්‍රසාදය පදනම් කරගෙනය. බොහෝ විට සිදුවූයේ පාලනයට එරෙහිවීම පමණි. ජනවාරි 8 සහ අගෝස්තු 17 ජයග්‍රහණයෙන් පසු එජාප ආණ්ඩුව සිදුකරනුයේ ඔවුන් බලාපොරොත්තු වූ දේය. වැරදි බස්රථයකට නගින ලද මගියකුගේ අතරමංවීම හැර වෙන යමක් සිදුවී නැත. යහපාලන බස්රථයට ගොඩවී අතරමං වූ මගීන්ගේ විරෝධය සමනය කිරීම සඳහා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සිය බුකිය හරහා රෙජිම් චේන්ජ් කළ ටොයියන්ට  අමුතු කිචියක් සහ උත්තේජනයක් සපයනු ලබයි.  දැන් අනාවැකි දැනගන්නට නම් ජ්‍යොතිෂ චක්‍රවර්තී ඉන්දික තොටවත්ත හමුවිය යුතුය. දේශපාලන විද්‍යාව ඉගෙන ගැනීමට නම් මහාචාර්ය සරත් විජේසූරියගේ දේශනවලට සවන්දිය යුතුය. රූකඩ කලාව අධ්‍යයනයට නම් රූපවාහිනියෙන් සමන් රත්නප්‍රිය හැදෑරිය යුතුය. අනේ කාලේ වනේ වාසේය.

වගවීම, සත්‍ය සෙවීම ආපදාවන්ට ලක්වූවන්ට සහන ලබාදීම, ජාතික සංහිඳියාව ඇති කිරීම, නැවත මානව අයිතින් උල්ලංඝනය වීමක් සිදුනොවීමක් කටයුතු කිරීම යන අරමුණ ගැබ්වී ඇති ජිනීවා යෝජනා ආකර්ෂණීය වචන පෙළකට ගොනු කර තිබුණද එය විෂ සහිත කේක් ගෙඩියකි. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, භෞමික අඛණ්ඩතාවයට සහ ස්වාධීනත්වයට විශාල තර්ජනයකි. ගොම් බෙටි ගඳයි කියා යමෙක් කියනවිට ”ඒකනෙ අපි කලින්ම කිව්වේ” කියලා කිසිවෙකුට ඇඟ බේරා ගැනීමට නොහැකිය.

ධර්මන් වික්‍රමරත්න
ejournalists@gmail.com&