උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් දීමේ සටන අතහැර නෑ – විපක්ෂ නායක ආර්. සම්බන්ධන්sambandan
65 වසරක් පුරා විසඳුම් නොලැබුණු උතුරු නැගෙනහිර වාර්ගික අර්බුදයට තිරසාර දේශපාලන විසඳුමක් ගෙනඒමේ උත්සාහය අතහැර නොමැතියි.

ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ පිළිබඳ දේශීය යාන්ත්‍රණය විශ්වාස කළ නොහැකියි.

ශ්‍රී ලංකාවේ හොඳ අධ්‍යාපනයක් ලැබූ උගත් බුද්ධිමතුන් හා ශීලාචාර මිනිසුන් සිටින රටක් අර්බුද නිරාකරණය කිරීමට හැකි නම් එය සතුටින් සිදු කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ පත්වූ නව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විශාල වෙනසක් ඇති කර තිබෙනවා. ඇමෙරිකාව, ඉන්දියාව, යුරෝපා රටවල්වල සහායද ශ්‍රී ලංකාවට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක, ආයෝජන ප්‍රවර්ධන හා සංවර්ධන කටයුතුවලට ජාත්‍යන්තරයේ රටවල් සහාය පළ කිරීමට කැමැත්තෙන් සිටිනවා.


සිංහ හම ‍පොරවාගත්ත නරි ටිකක් මේ පාර්ලිමේන්තුවෙත් උඩු බුරනවා – අමාත්‍ය
පී. හැරිසන්harisan
අද අපේ රටේ විපක්ෂ නායකයා දෙමළ ජාතිකයෙක්. අගවිනිසුරුවරයා දෙමළ ජාතිකයෙක්. දැන් කාටවත් ජිනීවා ගිහින් කියන්න බැහැ ශ්‍රී ලංකාවේ ජාතිවාදයක් තියෙනවා කියලා.

ඉන්දියාවටත් කියන්න බැහැ අද ලංකාවේ ජාතිවාදයක් තියෙනවා කියලා. ජාත්‍යන්තරයම පිළිගෙන තියෙනවා ශ්‍රී ලංකාවේ ජාතිවාදයක් නැහැ කියලා.

එහෙම තියෙද්දී සිංහ හම ‍පොරවාගත් ලංකාවේ නරි ටිකක් උඩු බුරනවා. කොටියට පණ දෙමු ආයෙත් නැගිටිමු කියලා. ඇමෙරිකාව කියනවා ලංකාවේ ප්‍රශ්නවලට අපි අත දාන්නේ නැහැ කියලා. දේශීයව පරීක්ෂණයක් තියලා තීන්දු ගන්නලු. නමුත් අපේ නරියෝ කියනවා දේශීයව පරීක්ෂණ එපා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ කියලා.

සහන් බස්නායක-අනුරාධපුරය


මම කවදත් දෙන දේ හරියට කළා – නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සාnimal
මම අදහස් කරගෙන සිටි ලෙස උපරිම ජනතා සේවයක් කළ හැකි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යකමක් ලැබිම ගැන සතුටු වෙනවා.

මෙම අමාත්‍යාංශය තුළින් මිනිසාගේ උපතේ සිට මරණය දක්වා සිදුවන ජනතා අවශ්‍යතාවන් සඳහා සේවය සැලසීමට හැකියාව තිබෙනවා.

අද ජනතාව සමග වැඩි සමීප සම්බන්ධතාවක් පවත්වන සමීප රාජ්‍ය නිලධාරීන් වන්නේ ග්‍රාමසේවක මහත්වරු හා ප්‍රාදේශීය ‍ලේකම්වරුන්. එම අයගේ සේවය ජනතා අවශ්‍යතාවන් හඳුනාගෙන ලබාදීම තමයි මගේ අරමුණ.

අපි කවදත් හරියට වැඩ කරපු මහජන නියෝජිතයෝ. වගකීම අකුරටම ඉෂ්ට කළ නිසයි මේ තරම් දුර ගමනක් එන්න පුළුවන් වුණේ.

මෙවර පාර්ලිමේන්තුවට පත්වූ නවක මන්ත්‍රීවරුන් අතරින් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබුණ ළාබාල මන්ත්‍රීවරයා මමයි. මීගමුව නගරාධිපතිවරයා වශයෙන් මට විශාල සේවයක් කිරීමට හැකිවුණා.

එස්. ප්‍රනාන්දු-මීගමුව


සන්ධාන ආණ්ඩුවකට දිවුරපු අය හිරිකිත නැතුව ඇමැතිකම් අරන් – හිටපු නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරිpadmasiri
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය පටන් ගත්තාට පස්සේ මැතිවරණයකින් පසු අවස්ථාවාදයත් බල ලෝභයත් ඉතා දැඩිව ප්‍රසිද්ධියේ ජනතාවට දැනගන්න ලැබුණු එකම හා පළමු දේශපාලන රටාව වුණේ මෙවරයි. මැතිවරණයට කලින් සන්ධානයෙන් තරග කරපු අය තමන්ගේ දකුණු අත පපුවේ තියලා ප්‍රතිඥා දෙනවා අනුරාධපුරේ රැස්වීමේදී ශ්‍රී මහා බෝධිය දිහා බලමින් අපි පිහිටුවන්නේ මහින්දගේ නායකත්වයෙන් සන්ධාන ආණ්ඩුවක් කියලා.

එහෙම ප්‍රතිඥා දුන්න පිරිස් අද කිසිම හිරිකිතයක් නැතිව එක්සත් ජාතික පක්ෂයේ කොටස්කාරයෝ වෙලා විවිධ තනතුරු දරනවා. ඒක තමන්ට ඡන්දය දුන්න බුද්ධිමත් ජනතාව රැවටීමක් වගේම ඔවුන්ගේ ඡන්දයට කරපු පිළිකුල් දෙයක්.

අමිල බණ්ඩාර-බුලත්කොහුපිටිය


රජ්ජුරුවන්ගේ කා‍ලේ ඉවරයි දැන් මේක ජනරජයක් – අමාත්‍ය මනෝ ගනේෂන්mano
මම ජාතික සංවාද ඇමැතිකම භාරගත්තා. මේක අලුත් ඇමැතිකමක්. ඒක නිසා මේ ගැන සමාජයේ කතාබහක් ඇතිවෙලා තිබෙනවා. මම මේ ගැන අගමැතිතුමත් එක්ක කතා කළා. එතුමගේ මතයයි මගේ මතයයි එකයි.

සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර සැබෑ සංහිඳියාවක් ඇතිකරන්න මම මහන්සි ගන්නවා. දැන් මේ රටේ රජකෙනෙක් නෑ. තිබෙන්නේ ජනරජයක්. රටේ ජීවත්වන ජාතීන් අතර, භාෂා අතර, ආගම් අතර, විවිධ ජන කොටස් අතර සැබෑ සංහිඳියාවක් අවශ්‍යයි. අද රටේ සම්මුතිවාදී රජයක් ඇතිවී තිබෙනවා. එම නිසා රටේ ස්ථාවරත්වයක් ඇතිවී තිබෙනවා.

නාලක සංජීව දහනායක


චෝදනාවලට උත්තර දෙන්න මම බය නෑ – අමාත්‍ය ෆයිසර් මුස්තාෆාmusthafa
ජනතාවත් එක්ක ළෙන්ගතුව කටයුතු කළ පළාත් පාලන ආයතන දේශපාලන අධිකාරිය ඉවත් වූ පසු තමන්ගෙන් ඈත්වෙලා කියලා සමහරු චෝදනා නගනවා. නිලධාරිවාදය ඇතිවෙලා කියලා තවත් පිරිසකගේ චෝදනාවක් තියෙයි. ඕන කෙනකුට චෝදනා නගන්න අයිතියක් තියෙනවා.

මේ චෝදනා නිවැරදි කරන්න අපි සූදානම්. ඕනෑම පළාත් පාලන ආයතනයක් කාර්යක්ෂමව කටයුතු කරනවා නම් මුදල් හොයන්න බැරිකමක් නෑ. ඒ නිසා තමන්ගේ වියදම පියවා ගන්න අවශ්‍ය ආදායම් ලබාගන්න පූර්ණ උත්සාහයක් ඔවුන් සතු විය යුතුයි. සෑමවිටම රජයෙන්ම යැපෙන්න බලා‍පොරොත්තු නොවී රටක් විදිහට ඉදිරියට යද්දී කාර්යක්ෂම සමාගම් වගේ කටයුතු කළ යුතුයි. සමහර ආයතනවලට තමන්ට එක්විය යුතු බදු මුදල්වත් නිසි විදිහට එකතු කරලා නැහැ. පළාත් පාලන ආයතනවලට අවශ්‍ය දැනුම අඩු ගැටලුව විසඳන්න අවශ්‍ය දැනුම ලබාදෙන්න අපි කටයුතු කරනවා.

අමිල බණ්ඩාර-බුලත්කොහුපිටිය


මහින්දගේ අයත් ඇමැතිකම් ගත්ත එක තමා ලොකුම විහිළුව – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර්aswar
ජාතික ආණ්ඩුවක් මගින් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙනවා. එහි ආණ්ඩු පක්ෂයෙත් විරුද්ධ පක්ෂයෙත් සහභාගිත්වය හා අදහස් දක්නට ලැබෙනවා. ජාතික ආණ්ඩුවක් මගින් රටක පෙරළියක් කළ හැකි බවට ලෝක ඉතිහාසයේද උදාහරණ දක්නට ලැබෙනවා.

ජාතික ආණ්ඩුවේ ආරම්භය හොඳයි. එහෙත් එය සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියා කියන්න බෑ.

මහින්ද මහතාට සහයෝගය දැක්වූ බොහෝ පිරිසක් ජාතික ආණ්ඩුවේ ඇමැති තනතුරු භාරගෙන තිබෙනවා. ඒක හොඳ ද නරකද කියන්න බැරි වුණත් ඒක විහිළුවක් බව නම් පේනවා.

අමිල අබේරත්න


අජාසත්තලා, දෙව්දත්තලා, අංගුලිමාලලා එක මණ්ඩපයකට ඇවිත් – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩbandulal
අපේ වේදිකා ගිනි තියපු යහපාලන ආණ්ඩුව පරාජය කරන්න වැඩ කරපු අයත්, යහපාලන ආණ්ඩුවේ කොටස්කාරයන් බවට පත්කරමින් රටට සේවය කිරීම සඳහා ඒ අයටත් අවස්ථාව ලබාදී තිබෙනවා.

මේක තමයි යහපාලනය කියන්නේ. අජාසත්තලා, දෙව්දත්ලා, අංගුලිමාලලා එක සභා මණ්ඩපයකට ගෙනැවිත් ඒ අයටත් වැඩ කරන්න අවස්ථාව දීලා තියෙනවා.

බුදුහාමුදුරුවෝ අංගුලිමාලත් සුමගට ගත්තා. ඒ වගේ පසුගිය කාලයේ නොමග ගිහින් වැඩ කරපු අය යහපාලන රජය මගින් සුමගට අරගෙන ඒ අයට රටට සේවය කරන්න අවස්ථාව උදා කරලා දී තිබෙනවා. මේ අය පසුගිය කාලයේ යහපාලන රජය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පරාජය කරන්න වැඩ කරපු අය.

දැන් බලන්න සම්බන්ධන් මහත්තයා විපක්ෂ නායක ධුරයට පත්කරලා තියෙනවා. දැන් ඔහු මුළු රටේම විපක්ෂ නායකවරයා. ඔහුට උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විතරක් කතා කරන්න බැහැ. කිලිනොච්චි, මුලතිව්, යාපනය වැනි ප්‍රදේශවල ප්‍රශ්න විතරක් කතා කරන්න බැහැ. රටේ සියලු ජනතාවගේ ප්‍රශ්න, ගැටලු කතා කරන්න ඔහුට අවස්ථාව තියෙනවා. රටේ ඒකීයභාවය විනාශ කිරීමට එජාපය කිසිදු ලෙසකින්වත් ඉඩදෙන්නේ නෑ.

ලලිත් කංකානම්ගේ-ගිංතොට/සමන් කුමාර-බූස්ස/සුනෙත් ගාල්ලගේ-ගාල්ල