ජාත්‍යන්තර චෝදනාවලට දැන් පිළිතුරු දෙන්න පුළුවන් – සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලlakshman
ජාත්‍යන්තරයෙන් එල්ල වන චෝදනා ඇතුළුව රටට වැදගත් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දිය යුතු නිසයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වේ.
මේ හරහා උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් දීමටත් රටේ ආර්ථිකය නගාසිටුවීමටත් අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම ඇතුළු කාරණා කිහිපයක් පිළිබඳවත් අපේ මූලික අවධානය යොමු කරලා තියෙනවා.

පක්ෂ දෙක එක්ව ගනු ලබන තීන්දු තීරණවල ප්‍රතිඵල ඉදිරියේදී මහජනතාවට අත්වේවි. එමෙන්ම ඒ පිළිබඳ විවිධ අය සිදුකරන ප්‍රකාශවලට පිළිතුරුත් ඉදිරියේදී ලැබේවි.


ජාතික ගැටලුවලදී විරසක පක්ෂවලට ජාතික ආණ්ඩු හදන්න බැහැ – හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකරdew gunasekera
ජාතික ආණ්ඩුවක් හදන්නේ කාරණා දෙකක් පෙරදැරිවයි. එකක් ජාතික අර්බුදයක් ඇති වෙලාවක. අනික ඒ සඳහා සියලු පක්ෂ ඒකරාශී කරගැනීමෙන්. මෙතැන ඒ දෙකම නැහැ.

ජාතික ආණ්ඩුවක් බව පවසමින් මෙවරත් ආණ්ඩුවක් අටවාගෙන. ශ්‍රීලනිප හා එජාපය වසර 60 ගණනක් මාරුවෙන් මාරුවට මේ රට කළා. ඒත් ඔවුන්ට කවදාවත් ‍පොදු එකඟතාවකට එන්න බැරිවුණා.

ජාතික ගැටලුවලදීත් ඔවුන්ට ‍පොදු එකඟතාවකට එන්න බැරිවුණා. ඉතින් මෙහෙම පක්ෂ දෙකක් එකතුවෙලා ඉදිරියේදී කොහොමද රට කරවන්නේ?

නිමල කොඩිතුවක්කු


මේ ආණ්ඩුවේ ඇමැතිකමක් ගන්න මගේ අදහසක් නෑ – හිටපු අමාත්‍ය ටී.බි. ඒකනායකtb-ekanayake
ජාතික ආණ්ඩුවක් කියන්නේ විශේෂ අවස්ථාවක පිහිටුවන ආණ්ඩුවක්. එමගින් සිදුවන්නේ රටට, ජනතාවට යහපතක් මිස අයහපතක් ‍නෙවෙයි. දෙපැත්ත වෙන්වී කටයුතු කිරීමෙන් රටක් හදන්න බෑ.

අගමැතිතුමාගේ වැඩපිළිවෙළ ගැන මට හරියට ප්‍රකාශ කරන්න බෑ. එයට හේතුව එතුමා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෙනෙක් සහ මම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කෙනෙක් වන නිසා. මේ ආණ්ඩුවෙන් ඇමැතිකමක් ගන්න මගේ අදහසක් නෑ.

අමිල අබේරත්න


බොරු මවාපෑම්, පාක්ෂික සංග්‍රහ අපි ළඟ නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩbandulal
මේ මැතිවරණය ආරම්භ වෙද්දිත් අපට තිබුණේ සුළුතර ආණ්ඩුවක්. අපිත් එක්ක තරග වැදුණු මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ජාතිවාදය අවුළුවමින් මහජනතාව නොමග යවමින් දකුණේ ඡන්දය එකතු කළා. ඔවුන් ජනතාව නොමග යැව්වේ මහ මැතිවරණයෙන් එජාපය දිනුවොත් මේ රට දෙකඩ වන බව පවසමින්. ඔවුන් නිරත වූ ලාභ දේශපාලනයට ජනතාව මෙවර නිසි පිළිතුරු දුන්නා.

අපි පසුගිය ජනවාරි 8 වැනිදා ආණ්ඩුව අරගෙන ජනප්‍රිය වෙන්න ගියේ නැහැ. පාක්ෂිකයන්ට සලකලා බොරු මවාපෑම් කළේ නැහැ. අපි රට වෙනුවෙන් සිතා යමක් කිරීමටයි කටයුතු කළේ. අපි සාමූහික වැඩපිළිවෙළකට ඒකරාශී වෙනවා.

නිමල කොඩිතුවක්කු


ඔළුගෙඩි මාරු කරන දේශපාලනය ඉවර කළා – ශ්‍රීලනිප මහ ‍ලේකම් දුමින්ද දිසානායකduminda-dissanayake
මේ හැදෙන ආණ්ඩුව ඉතාම සුවිශේෂී ආණ්ඩුවක්. වෙනදා සිද්ධ වුණේ ආණ්ඩුවක් හදන්න අඩුව පිරිමහන්න ඔළුගෙඩි කිහිපයක් එකතු කරන එකයි. ඇඳන් හිටපු කමිසේ පාට වෙනස් කරලා අන්දලා ඔළු ගෙඩියක් තමයි සම්පූර්ණ කළේ. එමගින් හැමදාම සිද්ධ වුණේ දේශපාලන පක්ෂ ස්ථාවර වීමත් අවශ්‍ය ඔළුගෙඩි කොහෙන් හරි ගෙනැවිත් ආණ්ඩු පෙරළපු එකත් විතරයි.

නමුත් ජනවාරි 8 ජයග්‍රහණයත් සමග මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ වුණා. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අග්‍රාමාත්‍යවරයා විපක්ෂයෙන් එකතුවෙලා එක ආණ්ඩුවක් හැදුවා. මේක ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව තමයි අපට තිබෙන්නේ.


දෙපැත්තෙම ඇමැතිවරුන්ගේ බර වැටුණේ ජනතාවට – හිටපු අමාත්‍ය තිස්ස අත්තනායකThissa-Aththanayaka
දැන් එජාප හා ශ්‍රීලනිප දෙපැත්තේම අයට ඕන විදිහට වැඩේ සිද්ධ වෙලයි තියෙන්නේ. ඔවුන්ගේ ආරක්ෂාවත් තහවුරු වෙලා. තනතුරුත් ලැබිලා. කැබිනට් ඇමැතිවරුන් එක්ක ඇමැති මණ්ඩලය 100ත් පන්නාවි.

මොන කැබිනට් එකක්වත් නැතිව රට දවස් 10ක් 12ක් විතර තිබ්බා. දැන් අන්තිමේදී වෙන්නේ මේ ඇමැතිවරුන් 100ගේ බරත් ජනතාවගේ කර මතට පැටවෙන එකයි.
පහුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට මේ අය බැන්නට දැන් ඒකෙයි මේකෙයි අතර ලොකු වෙනසක් නැහැ.

නිමල කොඩිතුවක්කු


මේක ජාතික ආණ්ඩුවක් නෙවේ, එක ජාතියක ආණ්ඩුවක් – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නsamantha
මේක ජාතික ආණ්ඩුවක් ‍නෙවෙයි. එක ජාතියක ආණ්ඩුවක්. එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 20ක් තිස්සේ ආණ්ඩුවක් කරන්න බැරිවුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂගෙන් කට්ටිය ගලවා ගන්න ඇමැතිකම් දෙනවා.

සම්මුතිය තියෙන්නේ ජනතාවත් එක්ක ‍නෙවෙයි බලය රැකගන්න එයාලා අතරෙමයි.
දැන් හොරා හොරා කිව්වට රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ දූෂිත පිරිස්වලට දඬුවම් දෙන හැටි අපි බලාගෙන ඉන්නවා. ඔවුන් එක්කම එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවාගෙන ජනතාවගේ බලා‍පොරොත්තු කඩකරලා.

නිමල කොඩිතුවක්කු


රට විකුණන සැලසුම්වලට රැවටෙන්න එපා- හිටපු අමාත්‍ය තිස්ස විතාරණthissa
එක්සත් ජාතික පක්ෂය, රට ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදයට විකුණන වැඩපිළිවෙළක් අප ඉදිරියේ ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල කොටසකුත් සම්බන්ධ කරගෙන කටයුතු කරගෙන යනවා. මේ අවස්ථාවේදී ප්‍රගතිශීලී කොටස් එක්ව මෙයට විරුද්ධව ක්‍රියා කරන්න ඕනෑ.

ඒ ගොල්ලන් මේ අධිකාරිය පිහිටුවල සේවාවලට, සෞඛ්‍ය, අධ්‍යාපය හා අනෙකුත් සේවාවන්ට අය කරන්න මේ අතරෙම ඇති කරන්නයි බලා‍පොරොත්තු වෙන්නේ. ඒ වගේම අපේ රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය නැති කරන අධිරාජ්‍යවාදීන්ගේ උවමනා ඉටු කරන පියවරකට බහින්නත් ඉඩ තියෙනවා. මේ තත්ත්වය සලකලා සමසමාජ පක්ෂයේ අනන්‍යතාව රැකගෙන අපි උපරිම ලෙස ජනතාව එක්ක කටයුතු කරන ගමන් පුළුල් ප්‍රගිතිශීලී වැඩපිළිවෙළකුත් ඉදිරියට ගෙනින්න බලා‍පොරොත්තු වෙනවා. අනිකුත් පක්ෂ එක්ක අපේ ප්‍රතිපත්ති පිළිඅරගෙන එක්වෙන්න පුළුවන් වුණ තරමට හොඳයි.

ධම්මික සඳරුවන්/ඩී. ආර්. කොට්ටහච්චි – කිතුල්ගල