අභිනවයෙන් පත්වන 8 වැනි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා මෙවර මහ මැතිවරණයෙන්  පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් ලබා සිටින කෝඩුකාර මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 50 ඉක්මවා තිබේ. මේ, එම කෝඩුකාර මන්ත්‍රීවරුන්ගේ වතගොත පිළිබඳ ලියැවෙන කෙටි සටහනකි.  

කවින්ද්‍රන් කෝඩිස්වරන් –  (ඉලංකෙයි තමිල් අරසකච්චු පක්ෂය) අම්පාර දිස්ත්‍රික්කයkawindran
නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයෙන් ඉලංකෙයි තමිල් අරසකච්චු පක්ෂය නියෝජනය කරමින් මනාප 17779 ක් ලබාගනිමින් වැඩිම මනාපයෙන් මහ මැතිවරණය ජයග්‍රහණය කළ කවින්ද්‍රන් කෝඩිස්වරන් මහතා මෙවර පාර්ලිමේන්තුවට නවක මුහුණකි.

1971.05.28 වැනි දින අම්පාරේ තිරුක්කෝවිල් ප්‍රදේශයේදී උපන් කවින්ද්‍රන් කෝඩිස්වරන් මහතා ඉදිරිපත් වූ පළමු මැතිවරණයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දිනාගැනීමට වාසනාවන්ත විය. එ් මහතාගේ සීයා මෙන්ම පියා ද ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත විය. කෝඩිස්වරන් මහතාගේ පියාගේ පියා ආර්.එම් නායගම් මහතා එම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන අතර පියා වන කෝඩිස්වරන් මහතා ග්‍රාම නිලධාරීවරයෙකි. තිරුක්කෝවිල් එම්.එම්.ඩී.එස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන කවින්ද්‍රන් කෝඩිස්වරන් මහතා කල්මුණේ සහීන්ද්‍රා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා තිබේ. ඉන් අනතුරුව නැගෙනහිර විශ්ව විද්‍යාලයට ඇතුළත් වන හෙතෙම 2000 වසරේදී එම විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණ උපාධිය හිමිකර ගෙන තිබේ.  මේ වන විට පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන කවින්ද්‍රන් කෝඩිස්වරන් මහතා විවාහකයෙකි.

තුෂාර ඉඳුනිල් අමරසේන – (එජාප) කුරුණෑගල දිස්ත්‍රික්කයthushara
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර මනාප 64359 ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට පිවිසෙන තුෂාර ඉඳුනිල් මහතා මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්  පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජයග්‍රාහකයන් අතර සිටින එකම නවක මන්ත්‍රීවරයාය.

1967.07.20 වැනි දින උපන් තුෂාර ඉඳුනිල් වල්ගම්මුල්ල මහා විද්‍යාලය,කුලියාපිටිය සාරණාත් විද්‍යාලය, සොරගුණේ මහා විද්‍යාලය, දඹදෙනිය මධ්‍ය මහා විද්‍යාලය සහ නාරම්මල මහා විද්‍යාලය ආදී පාසල් කිහිපයකින්ම අධ්‍යාපනය ලබා තිබේ. තුෂාර ඉඳුනිල් මහතා කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල සමාජ විද්‍යාව, අපරාධ හා මානව විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරියෙකි. එ් මහතා දේශපාලනයට පිවිසෙන්නේ 1997 වසරේදී කටුගම්පල එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ සභාපති ධුරයට පත්වෙමිනි. ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන එ් මහතා 2002 වසරේදී පන්නල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධුරයට පත්වේ.

2009 වසරේදී ප්‍රථම වරට වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන තුෂාර ඉඳුනිල් මහතා ඉන් ජයගෙන පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස පත්වන අතර 2014 පළාත් සභා මැතිවරණයෙන් දෙවැනි වරටත් පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස පත්වේ. 2014 වසරේ එ් මහතා එක්සත් ජාතික පක්ෂයේ පඬුවස්නුවර ප්‍රධාන සංවිධායක ධුරයට පත්විය. මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වී ජයග්‍රහණය කළ තුෂාර ඉඳුනිල් මහතාගේ බිරිඳ ඉඩම් රෙජිස්ටාර්වරියක වන අතර ඔවුන් දෙපළට දරුවන් තිදෙනෙකි.

ශාන්ත අබේසේකර –  (එජාප) පුත්තලම දිස්ත්‍රික්කයshantha
වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර මනාප 36380 ක් ලබාගත් ශාන්ත අබේසේකර මහතා මෙවර පාර්ලිමේන්තුවට එක්වන තවත් නවක මන්ත්‍රීවරයෙකි.

ශාන්ත අබේසේකර මහතා අධ්‍යාපනය ලබා ඇත්තේ හලාවත ආනන්ද මහා විද්‍යාලයෙන් සහ ශාන්ත මරියා පිරිමි විද්‍යාලයෙනි. අධ්‍යාපන කටයුතු අවසන් කරනවාත් සමගම ව්‍යාපාර කටයුතු සඳහා යොමුවූ ඔහු වසර කිහිපයක් විදේශ රැකියාවක ද නියැළී තිබේ. පසුව මෙරටට පැමිණි ඔහු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 1977 වසරේදීය.

යොවුන් දේශපාලනඥයකු ලෙස දේශපාලන ජීවිතය අරඹන්නේ  දේශපාලන පසුබිමක් සහිත පවුලකින් නොව සාමාන්‍ය ජනතාව අතරිනි. ඉදිරිපත් වූ පළමු මැතිවරණයෙන්ම හලාවත නගර සභාවේ මන්ත්‍රීවරයකු ලෙස පත්වන ශාන්ත අබේසේකර මහතා 1998 දී වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව ඉන් ජයග්‍රහණය කර තිබේ.  එතැන් සිට තවත් දෙවරක් වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස පත්වන ශාන්ත අබේසේකර මහතා මීට පෙර පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කර වැඩිම මනාප ලබාගත් තුන්වැනි අපේක්ෂකයා බවට පත්වුවද ඔහුට එවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි විය. මෙවර මහ මැතිවරණය තුළින් ඔහු ජය ලබන්නේ එවැනි පසුබිමක් තුළිනි. සජීවා කල්‍යානි අබේසේකර මහත්මිය සමග විවාහ වී සිටින ශාන්ත අබේසේකර මහතා තිදරු පියෙකි.

එම්.තිලකරාජා –  (එජනිස) නුවරඑළිය දිස්ත්‍රික්කයthilakajara
මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් පෙරමුණෙන් තරග කර මනාප 61897ක් ලබාගනිමින් මයිල්වාගනම් තිලකරාජා මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ පළමු වතාවටය.

1973.09.29 වැනි දින උපන් තිලකරාජා මහතා වටගොඩ දෙමළ විද්‍යාලය, වටගොඩ සිංහල විද්‍යාලය, කිලිනොච්චිය ශාන්ත තෙරේසා කන්‍යාරාමය, පූඬලූඔය දෙමළ මහා විද්‍යාලය යන පාසල්වලින් මූලික සහ ද්විතියික අධ්‍යාපනය ලබා තිබේ. හැටන් හි හයිලන්ඞ් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ තිලකරාජා මහතා 1996-2000 කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයෙන් අධ්‍යාපනය ලබා ව්‍යාපාර සහ වාණිජ (ගෞරව) උපාධිය හිමිකරගත්තේය.  ඊට අමතරව හෙතෙම කළමනාකරණය හා ගිණුම්කරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක් ද වේ. කොළඹ විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාවක් ද හිමි තිලකරාජා මහතා විවෘත විශ්ව විද්‍යාලයෙන් එල්.එල්.බී උපාධිය ද හිමිකරගෙන තිබේ.

දේශපාලනයට පිවිසීමට පෙර එ් මහතා කළමනාකරණ හා මූල්‍ය සම්බන්ධ ආයතන කිහිපයක මෙන්ම ප්‍රකාශන ආයතනයක ද අධ්‍යක්ෂ, පාලන කළමනාකාර, උපදේශක ආදී විධායක තනතුරු කිහිපයක් ම දරා තිබේ. දිවයිනටම සාම විනිසුරුවරයකු ලෙස ද කටයුතු කරන තිලකරාජා මහතා මේ වන විට පෞද්ගලික මූල්‍ය උපදේශන ආයතනයක ප්‍රධානී මෙන්ම කළමනාකාර උපදේශක ලෙස කටයුතු කරයි.

ජාතික සේවක පෙරමුණේ ප්‍රධාන ලේකම් ලෙස මෙන්ම ජාතික කම්කරු සමිතියේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ එම්.තිලකරාජා මහතා කඳුරට ලේඛක සංගමයේ සහ සිංහල-දෙමළ ලේඛක සංගමයේ කමිටු සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි. ලේඛකයකු, තීරු ලිපි රචකයකු මෙන්ම කතුවරයකු ද වන තිලකරාජා මහතා ප්‍රකාශන ආයතනයක පාලන කර්තෘ ලෙස ද කටයුතු කරයි. විවාහකයකු වන එ් මහතා තිදරු පියෙකි.

වේලූ කුමාර් –  (එජාප) මහනුවර දිස්ත්‍රික්කයwelu
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරු තිදෙනා අතර සිටින වේලූ කුමාර් මහතා ලබාගත් මනාප සංඛ්‍යාව  62506කි.

1973.01.16 මහනුවර තලාතුඔය ප්‍රදේශයේදී උපන් වේලූ කුමාර් මහතා තලාතුඔය දෙමළ මහා විද්‍යාලය, අශෝක විද්‍යාලය සහ ශාන්ත සිල්වෙස්තර් විද්‍යාලය යන පාසල්වලින් අධ්‍යාපනය ලබා තිබේ. එ් මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකි.

අධ්‍යාපනයෙන් පසු කලක් පුද්ගලික ව්‍යාපාරික ආයතනයක් පවත්වාගෙන ගිය වේලූ කුමාර් මහතා දේශපාලනයට අවතීර්ණ වන්නේ මනෝ ගනේෂන් මහතා නායකත්වය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙනි. 2013 වසරේදී පළමුවරට මධ්‍යම පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන වේලූ කුමාර්  මහතා එයින් ජයග්‍රහණය කර පළාත් සභාවට පිවිසෙන එ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස සිටියදීය. විවාහකයකු වන වේලූ කුමාර් මහතා දෙදරු පියෙකි.

ආනන්ද අළුත්ගමගේ –  (එජාප) මහනුවර දිස්ත්‍රික්කයananda
මෙවර මහ මැතිවරණයේදී මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කර මනාප 56625ක් ලබාගනිමින් ආනන්ද අළුත්ගමගේ මහතා පළමු වරට  පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.

1964.04.24 දින ගිරාවුල්ල මීතලාව ප්‍රදේශයේදී උපන් ආනන්ද අළුත්ගමගේ මහතා අධ්‍යාපනය ලබා ඇත්තේ ගිරාවුල්ල මහා විද්‍යාලයෙනි. එ් මහතා දේශපාලන දිවිය අරඹන්නේ 1997 වසරේදී නාවලපිටිය ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය සභාවට තරග කර ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එහි සභාපති බවට පත්වෙමිනි.  වසර 5ක් ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හොබවන ආනන්ද අළුත්ගමගේ මහතා 2002 වසරේ සිට දෙවතාවක් මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය.

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන විට එ් මහතා මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටියේය. ආනන්ද අළුත්ගමගේ මහතා දේශපාලන පසුබිමක් සහිත පවුලක සාමාජිකයෙකි. ඔහුගේ පියාගේ පියා වන අළුත්ගමගේ අභයරත්න මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු ගම් සභා නියෝජිතයෙකි. එමෙන්ම ආනන්ද අළුත්ගමගේ මහතාගේ පියාගේ සහෝදරයා අළුත්ගමගේ ටියුඩර් කීර්තිරත්න මහතා 1950 දශකයේ එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිතියේ ආරම්භක ලේකම්වරයකු සහ හිටපු සභාපතිවරයෙකි.

පසුගිය රජයේ ක්‍රීඩා අමාත්‍ය ධුරය හෙබවූ මහින්දානන්ද අළුත්ගමගේ මහතා ආනන්ද අළුත්ගමගේ මහතාගේ ඥාති සොහොයුරෙකි. 2014 වසරේදී ආනන්ද අළුත්ගමගේ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වන අතර එ් මහතා නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙස  ද කටයුතු කළේය. විවාහකයකු වන ආනන්ද අළුත්ගමගේ මහතා තිදරු පියෙකි.

වතගොත හෙව්වේ :සුුරේකා නිල්මිණි ඉලංගකෝන්  / එෆ් අස්ලම්