නව ආණ්ඩුව මගින් අපනයනයට සුදුසු දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හඳුන්වා දීමට බලා‍පොරොත්තු වන බව හා ආර්ථික ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමට නව ආණ්ඩුවට හැකියාව තිබෙන බව පාර්මේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා එලෙස පැවසුවේ (24)  කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති 28 වැනි ආසියානු වෙළෙඳ ප්‍රවර්ධන සමුළුවේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සැසියේදීය.

එම සැසිය සඳහා එම සමුළුව නියෝජනය කරන රටවල් 24, රටවල් 19ක් නියෝජනය කරමින් සමාජයීය ආයතන හා සංවිධාන 40ක නියෝජිතයින් එම අවස්ථාවට සහභාගි වූ අතර තෙදිනක් පුරා එම සැසිය පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සැපයුම් දාමයන්ට අනුගත කිරීම මෙවර සැසියේ තේමාව වේ.

ශ්‍රී ලංකාව හා හොංකොං දිවයින, කොරියාව හා තායිලන්තය අතර ද්වීපාර්ශ්වීය වෙළෙඳාමට අදාළ අවබෝධතා ගිවිසුම් තුනක් අත්සන් කිරීමද එදින සිදුකරනු ලැබිණි.
සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය මෙරට ව්‍යාප්ත කිරීමට නව රජය සැලසුම් කර ඇති බවද මෙරට ඉදිකිරීම් සිල්ලර වෙළෙඳාම ඇතුළු අනෙකුත් වෙළෙඳාම් සමානුපාතික ව්‍යාප්තියක් ඇතිවන පරිදි කටයුතු කිරීමට බලා‍පොරාත්තු වන බවද ආචාර්ය හර්ෂද සිල්වා මහතා එහිදී ප්‍රකාශ කළේය.

මෙරට තිබෙන නිෂ්පාදන හා සේවා සමාගම්වල ඉහළ සංවර්ධනයක් ඇතිවන පරිදි ප්‍රතිපත්ති හා ආර්ථික ප්‍රතිසංස්කරණය ඇති කරන බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසූ අතර නව රජයට එවැනි දේ සිදුකිරීමට හැකියාවක් තිබෙන බවද ප්‍රකාශ කළේය.
නව ආණ්ඩුව යටතේ ඉදිරි වසර 5 ඇතුළත මෙරට ආර්ථිකය ඉහළ මට්ටමකට පැමිණෙන බව දැඩිව විශ්වාස කරන බවද ඒ මහතා පැවසීය.

ලෝකයේ දැවැන්ත සමාගම් වන ෆේස්බුක්, ඇපල් වැනි සමාගම්වල ලාභ අඩුවී ගෙන යන මට්ටමක් ලෝක ආර්ථික දර්ශක අනුව පෙන්නුම් කරන බවද මේ වන විට චීන ආර්ථිකයේ පසුබෑමක් පෙන්නුම් කරන බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

අපනයන කටයුතු කෙරෙහි ලෝකයේ සියලු රටවල් අවධානය යොමු කර තිබෙන බවද අනෙකුත් රටවල් සමග තරග කළ හැකි අපනයන ආර්ථිකයක් මෙරට ස්ථාපිත කළ යුතු වන  බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දක්වමින් හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පැවසුවේ නව රජය යටතේ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට හැකියාව ලැබි ඇති බව හා මෙරට සමාජ ආර්ථික වෙළෙඳ‍පොළ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවය.

නව ආණ්ඩුවේ අරමුණ නව අපනයන ඇතිකිරීම හා මෙරට  රැකියාවන් ස්ථාපිත කිරීම වන බවද රිෂාද් බදියුදීන් මහතා පැවසූ අතර ඉන්දියාව, චීනය, ඇමෙරිකාව, ඇතුළු රටවල් සමග නව ව්‍යාපාර ගිවිසුම් ඇති කිරීමට නව රජය සැලසුම් කර ඇති බවද ප්‍රකාශ කළේය.

මෙරට ආර්ථික සංවර්ධන කලාප 45ක් ඇති කිරීමට නව රජය සැලසුම් කර ඇති බවද කාර්මික, අධ්‍යාපන, මත්ස්‍ය ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍ර ගණනාවක් එම ආර්ථික සංවර්ධන කලාපවලට අයත් වන බවද රිෂාද් බදියුදීන් මහතා වැඩිදුරටත් පැවසීය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී බන්දුල එගොඩගේ ජපාන ආර්ථික වෙළෙඳ මෙහෙයුම් (JETRO) සභාපති ප්‍රධාන විධායක නිලධාරී හිරොයුකි ඉෂිගි (Hiroyuki Ishige) යන මහත්වරුද එම සමුළුවේදී අදහස් දැක්වීය.

ඉරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා ජපාන තානාපති කිනිම් සුගුනුමා, විවිධ රටවල මහකොමසාරිස්වරුන්, තානාපතිවරුන් ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානීන් හා නිලධාරීහු රැසක් එම අවස්ථාවට සහභාගි වූහ.

අමිල අබේරත්න