අභිනවයෙන් පත්වන 8 වැනි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා මෙවර මහ මැතිවරණයෙන්  පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් ලබා සිටින කෝඩුකාර මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 50 ඉක්මවා තිබේ. මේ, එම කෝඩුකාර මන්ත්‍රීවරුන්ගේ වතගොත පිළිබඳ ලියැවෙන කෙටි සටහනකි.  

හර්ෂණ සුපුන් රාජකරුණා – (එජාප) ගම්පහ දිස්ත්‍රික්කයharshana-rajakaruna
ගම්පහ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර මනාප 122 455ක් ලබාගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ හර්ෂණ 2009 සිට 2014 දක්වා දෙවරක් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

1980-02-27 දින හර්ෂණ රාජකරුණා උපත ලබන්නේ  එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ හා ප්‍රකට දේශපාලනඥයකු වන ‘fදාම්පෙ වීරයා’ ලෙස විරුදාවලී ලත් සරත්චන්ද්‍ර රාජකරුණා මහතාගේ දරුවන් සිව්දෙනා අතර එකම පුතු ලෙසටය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ හර්ෂණ රාජකරුණා ඉන් අනතුරුව එංගලන්තයේ නොටින්ග්හැම් විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ පශ්චාත් උපාධිය ලබාගෙන මෙරටට පැමිණ ජොන් කීල්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ආයෝජන උපදේශකවරයකු ලෙස සිය වෘත්තීය ගමන ආරම්භ කළේය. කුඩා වියේ සිට පියා ඇසුරේ ලත් දේශපාලන ආභාසය තුළින් ලත් පන්නරය තුළින් සිය දේශපාලන ජීවිතය ආරම්භ කරන හර්ෂණ 2009 වසරේදී පූර්ණකාලීනව දේශපාලනයට පිවිසෙන්නේ 2009 වසරේ එක්සත් ජාතික පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරග කරමිනි.

එහිදී  ගම්පහ  දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් දෙවැනියා බවට පත්වන හර්ෂණ 2014 වසරේ යළි බස්නාහිර පළාත් සභාවට තරග කොට ජයග්‍රහණය කරන්නේ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් ප්‍රථමයා වෙමිනි. මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන විට ඔහු   බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කළේය.


වෛද්‍ය නලින්ද ජයතිස්ස – (ජවිපෙ) කළුතර දිස්ත්‍රික්කයnalinda-jayatissa
කළුතර දිස්ත්‍රික්කයට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කර මනාප 24853ක් ලබාගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නලින්ද 2009 සිට 2014 දක්වා දෙවරක් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

1977.04.21 දින අගලවත්තේදී උපත ලැබූ නලින්ද ජයතිස්ස අධ්‍යාපනය ලබා ඇත්තේ මතුගම සී. ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලයෙනි. 1998 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වන නලින්ද 2004 වසරේ වෛද්‍ය උපාධිය ලබාගෙන තිබේ. සිය විශ්ව විද්‍යාල ජීවිතය තුළදී වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කරමින් දේශපාලනයට සම්බන්ධ වන නලින්ද  ඉන් අනතුරුව  මව්බිම සුරැකීමේ සංවිධානය ඇතුළු දේශපාලන සංවිධාන කිහිපයක තනතුරු දරමින් දේශපාලන ජීවිතයට පන්නරය ලබාගනී.

2009 වසරේදී ඔහු පූර්ණකාලීනව දේශපාලනයට පිවිසෙන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් බස්නාහිර පළාත් සභාවට තරග කරමිනි. ඔහු යළි 2014 වසරේ දී ද  බස්නාහිර පළාත් සභාවට තරග කර ජයග්‍රහණය කොට එම පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී මෙවර මහ මැතිවරණයට තරග කළේය. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභා සභික සහ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙවර මහ මැතිවරණයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ එකම ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයාය.


නිරෝෂන් ප්‍රේමරත්න –  (එජනිස) මාතර දිස්ති්‍රික්කයniroshan-premarathna
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කයට  තරග කර මනාප 99762 ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට වරම් ලැබූ නිරෝෂන්  ප්‍රේමරත්න  වෘත්තියෙන් මාධ්‍යවේදියෙකි.
දකුණු පළාතේ මාතර දිස්ත්‍ර්‍රික්කයේ ගොම්බද්දල නම් ග්‍රාමයේ දරුවන් නව දෙනෙකුගෙන් යුතු පවුලක 8 වැනියා ලෙස උපත ලබා ඇති නිරෝෂන් ප්‍රේමරත්න අධ්‍යාපනය ආරම්භ කර ඇත්තේ මාවරල මහා විද්‍යාලයෙනි. ඉන් අනතුරුව දෙයියන්දර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා  සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් පසු නාරන්දෙණිය ජාතික පාසලට ඇතුළත් වී තිබේ.

සරසවි වරම් නොලැබුණහොත් උසස් පෙළ විභාගය සමත් වී පොලිස් සේවයට බැඳීම එකල නිරෝෂන් ගේ අපේක්ෂාව විය. නාරන්දෙණිය ජාතික පාසලේදී දක්ෂ ක්‍රීඩකයකු හා ජනප්‍රිය සිසුවකු බවට පත්වූ නිරෝෂන් උසස්පෙළ සමත්ව රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකාරණ හා මූල්‍ය පීඨයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබීය. ඉන් අනතුරුව 2001 වසරේදී ඔහු ස්වාධීන රූපවාහිනී නාලිකාවට නිවේදකයෙකු ලෙස සම්බන්ධ වන්නේ සිය ජීවිතයේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමිනි. එම නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදකයකු සහ ‘වැට් ඇන්ඞ් මියුසික්’ වැඩසටහන තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් නිරෝෂන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව ඉන් ජයගන්නේ ඉදිරිපත් වූ පළමු මහ මැතිවරණයෙන්ම පාර්ලිමේන්තුවට පිවිසි මාධ්‍යවේදියකු ලෙස සුවිශේෂී සටහනක් තබමිනි.


චාමර සම්පත් දසනායක –  (එජනිස) බදුල්ල දිස්ත්‍රික්කයchamara-sampath
බදුල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්  තරග කර මනාප 64418 ක් ලබාගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ චාමර සම්පත් දසනායක මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන විට ඌව පළාත් සභාවේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින්  සිටියේය.

1971.08.31 වැනි  දින බදුල්ල දෙමෝදරදී උපත ලැබූ චාමර සම්පත් දසනායක මහතා අධ්‍යාපනය ලබා ඇත්තේ දෙමෝදර මහා විද්‍යාලයෙනි. 1994 වසරේදී සිය දේශපාලන ජීවිතය අරඹමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඇල්ල ප්‍රාදේශීය සභාවට තරග කර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වේ. එතැන් සිට පූර්ණකාලීනව ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන එ් මහතා, 2001 වසරේදී එම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙසටත් 2006 වසරේදී ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවටත් පත්වේ.

2009 වසරේදී ඌව පළාත් සභාවට තරග කර වැඩිම මනාපයෙන් තේරී පත්වන චාමර සම්පත් දසනායක මහතා 2014 වසරේ ඌව පළාත් සභා මැතිවරණයෙන් ජයගන්නේ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් දෙවැනියා බවට පත්වෙමිනි.


වෛද්‍ය තුසිතා විජේමාන්න –  (එජාප) කෑගල්ල දිස්ත්‍රික්කයthusitha-wijemanna
කෑගල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර මනාප 50893ක් ලබාගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන විට සබගරමු පළාත් සභාවේ විපක්ෂ නායකවරිය ලෙස කටයුතු කරමින් සිටියාය.

1964.05.25 වැනි  දින රුවන්වැල්ල අමිතිරිගලදී උපත ලැබූ තුසිතා විජේමාන්න ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇත්තේ කෑගල්ල ශාන්ත ජෝශප් කන්‍යාරාමයෙනි. රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලබන ඇය රුහුණු වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබේ. 1993 වසරේදී රාගම ශික්ෂණ රෝහලේ සීමාවාසික පුහුණුවෙන් අනතුරුව  යටියන්තොට රෝහලේ වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කළ වෛද්‍ය තුසිතා විජේමාන්න කලක් අධිකරණ වෛද්‍ය නිලධාරිනියක ලෙස ද කටයුතු කර තිබේ. රාජ්‍ය සේවයේ දස වසරක සේවා කාලයක් නිමා කරමින් 2004 වසරේදී ඇය එක්සත් ජාතික පක්ෂයෙන් සබරගමු පළාත් සභාවට තරග කරමින් ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වන්නීය.

වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය එම පළාත් සභා මැතිවරණයෙන් ජයගත් එජාප අපේක්ෂකයන් අතර  3 වැනි ස්ථානය දිනාගනිමින් පළමු වරට සබරගමු පළාත් සභාවේ මන්ත්‍රී වරම් දිනාගත්තාය. 2008 වසරේදී දෙවැනි වරටත් එක්සත් ජාතික පක්ෂයෙන් සබරගමු පළාත් සභාවට තරග කරන වෛද්‍ය තුසිතා විජේමාන්න එයින් එක්සත් ජාතික පක්ෂයේ  වැඩිම මනාප ලබාගත් දෙවැන්නා බවට පත්වෙමින්  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත්වන්නීය. 2012  වසරේ නැවතත් පළාත් සභා මැතිවරණයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාප ලබාගත් පළමුවැන්නා බවට පත්වෙමින් සබරගමු පළාත් සභාවේ විපක්ෂ නායක ධුරයට පත්වන්නීය. රුවන්වැල්ල හිටපු ගම්සභාපතිවරයකු වූ ඩී. ඕ.වී විජේමාන්න මහතාගේ දියණියක වන වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය දෙදරු මවක් වන අතර සැමියා විදුලි ඉංජිනේරුවරයෙකි.


හෙක්ටර් අප්පුහාමි – (එජාප) පුත්තලම දිස්ත්‍රික්කයhector
වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර මනාප 55475  ක් ලබාගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ හෙක්ටර් අප්පුහාමි මහතා  මෙවර මහ මැතිවරණයට  ඉදිරිපත් වන විට වයඹ පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේය.

පාරම්පරිකව එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වී කටයුතු කළ පවුලකින් පැවත එන  හෙක්ටර් අප්පුහාමි මහතා  උපත ලබා ඇත්තේ 1961 වසරේ බෝලවත්ත ප්‍රදේශයේදීය. වෙන්නප්පුව ජෝශප්වාස් මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපන ලබා ඇති හෙක්ටර් අප්පුහාමි මහතා ග්‍රාමයේ තරුණ සමිතියේ ක්‍රියාකාරී සමාජිකයෙකු ලෙස සිය සමාජ මෙහෙවර ආරම්භ කර තිබේ.  පූර්ණකාලීනව දේශපාලනයේ නොයෙදුණද පියා සහ සහෝදරයින් නිරත වන දේශපාලන කටයුතුවලට සහයෝගය දක්වමින් හා එ් ඇසුරෙන් සිය දේශපාලන වටාපිටාව ගොඩනඟාගත් හෙක්ටර් 1994 දී වෙන්නප්පුව පක්ෂ ශාඛා සාමාජිකයකු ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේය.

1997 සිට 2002 දක්වා වෙන්නප්පුව එජාප බල මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ඔහු කටයුතු කළේය. 2001 වසරේදී වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වූ ඔහු 2006 වසරේදී එහි විපක්ෂ නායකවරයා ලෙසත් කටයුතු කර තිබේ. 2013 පුත්තලම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගනිමින් පළාත් සභාවට තේරී පත්විය. 2009 වසරේ සිට එ් මහතා නාන්තන්ඩිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක  ලෙස  කටයුතු කරයි. හෙක්ටර් අප්පුහාමි මහතා දෙදරු පියෙකි.


දුෂ්මන්ත මිත්‍රපාල – (එජනිස) කෑගල්ල දිස්ත්‍රික්කයdushmantha-mitrpala
සබරගමු  පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්  තරග කර මනාප 64836 ක් ලබාගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ දුෂ්මන්ත සාරතී මිත්‍රපාල මහතා  හිටපු නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර් මිත්‍රපාල මහතාගේ වැඩිමහල් පුත්‍රයාය.

1984.10.07 වැනි දින උපත ලද  හෙතෙම කඳුරුමුල්ල මහා විද්‍යාලය, රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ ලූම්බිණි විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය යන විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබීය. ලන්ඩන් එල්.එල්.බී උපාධිය හදාරා නීති විද්‍යාලයට ඇතුළත් වූ  දුෂ්මන්ත මිත්‍රපාල මහතා නීතිඥවරයකු වශයෙන් කටයුතු කරයි.

2008 වසරේදී පළමු වරට සබරගමු පළාත් සභාවට තේරී  පත්වූ දුෂ්මන්ත සාරතී 2012 පළාත් සභා මැතිවරණයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වැඩිම මනාප ලබාගත් දෙවැනියා බවට පත්වෙමින් එම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති බවට පත්විය. පාර්ලිමේන්තු වරම් ලැබූ දුෂ්මන්ත සාරතී මහතා ලබන සතියේ විවාහ දිවියට ඇතුළත් වීමට නියමිතය.


තාරක බාලසූරිය –  (එජනිස) කෑගල්ල දිස්ත්‍රික්කයtharaka-balasuriya
කෑගල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර මනාප 73404 ක් ලබාගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ තාරක බාලසූරිය එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පරපුරකින් පැවත එන අයෙකි.  ඔහුගේ පියා පසුගිය රජයේ සංස්කෘතික අමාත්‍යවරයා වූ ආචාර්ය ජගත් බාලසූරිය මහතාය.

මව හිටපු දකුණු පළාත් ආණ්ඩුකාරවරිය වූ කුමාරි බාලසූරිය මහත්මියයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත සරත්චන්ද්‍ර රාජකරුණා මහතා තාරක බාලසූරියගේ මවගේ වැඩිමහල් සොහොයුරා වන අතර මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින හර්ෂණ රාජකරුණා තාරකගේ ඥාති සොහොයුරෙකි.

1974-04-16 වැනි දින උපත ලද තාරක බාලසූරිය කොළඹ පෞද්ගලික විද්‍යාලයකින්  අධ්‍යාපන ලබා ඇති අතර මහා බි්‍රතාන්‍යයේ  වේල්ස් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබාගෙන තිබේ. එමෙන්ම ඔහු ආර්ථික විද්‍යාව ගණිතය පිළිබඳ ද්විත්ව උපාධිධාරියෙකි. බැංකු ක්ෂේත්‍රයේ සහ රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වන අතරතුර 2012 වසරේ පැවති සබරගමු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව ප්‍රථම වරට එම පළාත් සභාවට තේරී පත්වූ තාරක බාලසූරිය මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. මලින්තා බාලසූරිය තාරක බාලසූරියගේ බිරිඳයි.

වතගොත හෙව්වේ : සුුරේකා නිල්මිණි ඉලංගකෝන් / නාලක සංජීව දහනායක