සතිය පුරා නිසොල්මනේ සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිකුරාදා දහවල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිටු පහකින් සමන්විත හදිසි ලිපියක් යැව්වේය.

ශ්‍රීලනිපයේ ලිපි ශීර්ෂය යටතේ යවා තිබූ එම ලිපියේ ශ්‍රීලනිප භාණ්ඩාගාරික ලෙස ඊයේ වනවිටත් සඳහන්ව තිබුණේ මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන එස්.බි නාවින්නගේ නමය.

අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රීලනිප මහ ‍ලේකම් මෙන්ම සුසිල් ප්‍රේමජයන්ත ශ්‍රීලනිප ජාතික සංවිධායකගේ තනතුරු සහිත නම් ලිපි ශීර්ෂයේ සඳහන් වුවද ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිට යැවූ ලිපිය ගැන ඔවුන් කිසිවක් දැන සිටියේ නැත.

හිතවත් මහින්ද රාජපක්ෂ මහත්මයාණෙනි, යනුවෙන් ආමන්ත්‍රණය කර පටන්ගෙන තිබූ එම ලිපියේ නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පවතින අකමැත්ත ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් එම ලිපියේ අවසන් පිටුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ එජනිසයට ආසන 113 ලබා ගැනීමේ හැකියාව ඇත්නම් අගමැති වීමේ අවස්ථාව ශ්‍රීලනිපයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් හත්දෙනකු අතරින් අයෙකුට දිය යුතු බවයි.
ජනාධිපතිවරයා අගමැති ධුරයට සුදුසු එම ‍‍‍ජ්‍යෙෂ්ඨයන් ලෙස නම්කර තිබුනේ නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනවිරත්න, චමල් රාජපක්ෂ, ආතාවුද සෙනවිරත්න, ඒ.එච්.එම් ෆවුසි, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපාගේ නම්ය.

ආසන 113ක් ලබා නොගෙන ඊට  ආසන්නයට පැමිණියහොත් ආණ්ඩුක් පිහිටුවීමට මැදිහත්වීමේ හැකියාවද තමන්ට ඇති බව ජනාධිපතිවරයා මෙම ලිපියෙන් අවධාරණය කර ඇත.

එජනිසට වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ක්‍රියා කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටින බව සඳහන් කරමින් ජනාධිපතිවරයා මෙම ලිපිය අවසන් කර තිබිණි.

සිකුරාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති අමාත්‍ය පාඨලී චම්පික රණවක රචිත ‘ වන් ගැදරින් ඔෆ් යුනිටීස්’  කෘතිය එළිදැක්වීමේ උළෙ‍ලේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

මෙහිදී ජනාධිපතිවරයා තමන් සමඟ පාඨලීගේ ඇති මිතුදමේ දිග පළල විස්තර කළේය.
මම චම්පික හඳුනාගත්තේ ඔහුගේ විශ්ව විද්‍යාල ජීවිතය තුළයි. ඒ කා‍ලේ මම මැතිනිය වගේම අනුර බණ්ඩාරනායක මහතා හමුවීම සඳහා රොස්මිඩ් පෙදෙසට යනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විධියට චම්පිකත් නිතර එහි ආව ගියා. එතකොට තමයි මම චම්පික මිත්‍රයෙක් විධියට හඳුනගත්තෙ. ඉන්පසු අපි පාර්ලිමේන්තුවේදී හමුවුණා. මහ මග සටන්වලදී හමුවුණා. ඒ හැම තැනකදිම ඇතිවුණු මිත්‍රත්තය එහෙමම තියෙනවා යැයි ජනාධිපතිවරයා කීවේය.

මේ අතර  පසුගිය සතියේ ජනාධිපතිවරයා හමුවීමට ශ්‍රීලනිප ඇමැතිවරු මෙන්ම හිටපු මන්ත්‍රීවරු රැසක්ම කොළඹ පිහිටි නිල නිවසට පැමිණියේය. ඔවුන් මහ මැතිවරණය ගැන විවිධ අදහස් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බදාදා උදෑසනම පස්වන පටුමගේ පිහිටි නිවසෙන් පිටත්ව බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති ජාතික විද්වත් කථිකාවට එක්වූයේය.

මෙම හමුවට කරු ජයසූරිය සහ පාඨලී චම්පික රණවක ඇමැතිවරුන්ද එක්ව සිටියහ. ඔවුන් අගමැතිවරයා පිළිගත්තේය.

පංච විධ ක්‍රියාවලිය යටතේ රට සංවර්ධනය වෙනවා අගමැතිවරයා මෙහිදී ‍පොරොන්දුවක් දුන්නේය.

මෙම හමුවෙන් වික්‍රමසිංහ මහතා පිටව ආවේ තමන්ට මාත‍ලේ ජන හමුවකට යාමට ඇති බව කියමිනි. එසේ මාත‍ලේ බලා පිටත්ව යාමට පෙර අගමැතිවරයා කොල්ලුපිටියේ පිහිටි අරලියගහ මන්දිරයට පැමිණියේය.

ඒ සුපුරුදු හමුවීම් සහ දිනට නියමිත ලිපි ‍ලේඛන ආදියට අත්සන් තැබිම සඳහාය.
ඇමැතිවරු ඇතුළු එජාප ‍‍‍ජ්‍යෙෂ්ඨයෝ අගමැති එනතුරු බලා සිටියහ.

ආ.. යැයි කියමින් අගමැතිවරයා… ඇමැති පිරිස සමග කතාවට වැටුණේය.
බුද්ධි අංශ වාර්තා කියන්නෙ අපි ආසන වැඩි ගණනක් ගන්නවා කියලා. යැයි රවී කීවේය.

සමහර දිස්ත්‍රික්ක තවම වැට උඩ තියෙන්නෙ. රැල්ල අපට හැරිලා යැයි කිරිඇල්ල පැවැසීය.

මේ කතාවට වජිර අබේවර්ධන මැදිහත් වූයේය. ඔව්. රැල්ල අපට . ඒ විතරක් නමෛයි සන්ධානේ පිරිස එස්.බි ලා , මහින්ද සමරසිංහලා වටා රොක්වෙනවා. මිනිස්සු දන්නවා ඒ අයට ඇමැතිකම් ලැබෙනවා කියලා ඔහු කියා සිටියේය.

ඇමැති පිරිස මීළඟට කතා කරන්නට වූයේ රගර් ක්‍රීඩකයාගේ සිරුර ගොඩ ගැනීම ගැනය.

‘ රගර් ක්‍රීඩකයන්ගෙන් අපි දේශපාලන වාසි ගන්න තරම් බංකොළොත් නැහැ’ යැයි අගමැති වික්‍රමසිංහ මහතා කීවේය. ඔහු ඊට තවත් දෑ එකතු කළේය.

‘ තාම මම නම් ඔය ගැන කිසිම කතාවක් කරලා නැහැ. අනිත් හැමෝම හැබැයි කතා කරනවා යැයි අගමැතිවරයා කීය.

ශ්‍රීලනිප ඡන්ද මෙහෙයුමක් නැහැ. අපට තියෙන්නෙ තනි රේස් එකක් යැයි වජිර අබේවර්ධන පැවැසීය.

හැබැයි මම එකක් කියලා තියෙනවා. තනතුරු බලා‍පොරොත්තුවෙන අය ආසන දිනන්න ඕන. එහෙම නැතිව තනතුරු ඉල්ලන් එන්න එපා කියලා අනෙක් අයටත් කියන්න යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අජිත් පී පෙරේරා අනතුරුව අදහස් දැක්වූයේය. ජාතිවාදය පතුරලා දැන් ඡන්ද ගන්න බැහැ. ඔහු කීවේය.

ආ.. දැක්කද දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ ඡයාරූප දාලා සන්ධානයේ පත්තර දැන්වීම් දානවා. ගොඩක් අය ජනාධිපතිතුමාට කතා කරනවාලු යැයි රංජන් රාමනායක පැවැසීය.

අගමැතිවරයා.. මේ කතාවට සිනාසෙමින් තවත් කතාවක් කීවේය. දැන් හුඟක් අය ජනාධිපතිතුමාට විතරක් නමෛයි මටත් කතා කරනවා. එහෙම කතා කරන අයට මම කිව්වේ මෛත්‍රීපාල ඡයාරූපය ගාවින් මගේ එකත් දාලා ‍පෝස්ටර් ගහන්න කියලා යැයි වික්‍රමසිංහ මහතා පැවැසීය. අගමැතිවරයාගේ ඒ කතාවට ඇමැති පිරිස බඩ අල්ලා සිනාසුණෝය.

පසුගිය සිකුරාදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් කිහිපයකට සහභාගී වූයේය.  මුලින්ම ඔහු ගියේ මීගමුව නගර ශාලා භූමියේ පැවති සන්ධාන ජන හමුවටය.  එය සංවිධානය කර තිබුණේ සරත් කුමාර ගුණරත්න සහ නිමල් ලාන්සාය.

කලක පටන් විරසකව සිටි නිමල් සහ සරත් නැවත කුළුපගවූයේ මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට ගෙන ඒමේ සටන සමගය.  මහින්ද රාජපක්‍ෂ මීගමුවේ වේදිකාවට ගොඩ වන විට ඔහු පිළිගැනීමට සිටියේ ලාන්සා සහ සරත්ය.
ඔවුන් දෙස බැලූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා “ඔහොමනේ ඉන්න  ඕනේ. ”යැයි කීවේය.

එ් අසල සිටි මහ ඇමැති ප්‍රසන්න රණතුංග එ් කපුකමත් කළේ සර් තමයි යැයි හිටපු ජනාධිපතිවරයාට කීවේය.

මහින්ද රාජපක්ෂ මහතා විමතියෙන් මෙන් ප්‍රසන්නගේ මුහුණ බැලූවේය.
“ඇයි සර් මේ දෙන්නා එකතු වුණේ සර් හින්දානේ. ” ප්‍රසන්න කියා සිටියේය.
මීගමුවේ පැවැති රැස්වීම අවසානයේ මහින්ද රාජපක්‍ෂ මහතා පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිස්චන්ද්‍රගේ නිවසට යාමට නියමිතව සිටියේය.

එසේ තිබියදී රැස්වීම අවසන් වූ වහාම මට ජෙයරාජ්ගෙ ගෙදර යන්න  ඕන යැයි මහින්ද රාජපක්‍ෂ කීවේය.  මෙම ගමනට විශේෂ හේතුවක්ද තිබිණි.

මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල සිට මීගමුවට එනවිට  දුරකථන ඇමතුමක් ලැබිණි.  එම දුරකථනයේ එහා කෙලවරේ සිටියේ ජෙයරාජ්ගේ දියණිය වන සමෘද්ධිය.
“ඔබතුමා මගේ තාත්තාගේ හොඳම යාළුවෙක්.  මේ වෙලාවේ මගේ ඉල්ලීම හින්දා අපේ ගෙදරට එන්න ” ඇය කීවාය.

හිටපු ජනාධිපතිවරයාට සිය මිතුරාගේ දියණියගේ  එම ඉල්ලීම අහක දැමීමට නොහැකි විය. රැස්වීම අවසන් වූ වහාම මහින්ද රාජපක්ෂ ජෙයරාජ්ගේ නිවසට ගියේ එ් අනුවය.

ස`ුඵ වේලාවක් නිවසේ රැඳී සිටි මහින්ද රාජපක්‍ෂ කෙළින්ම පැමිණියේ මිනුවන්ගොඩ නගරයේ පැවති රැස්වීමටය.  එය සංවිධානය කර තිබුණේ බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගය.  සවස 4 සිටම මහින්ද දැක බලා ගැනීම සඳහා 15000 අධික පිරිසක් මිනුවන්ගොඩ නගරයට එක්රොක්ව සිටියහ.  කලාකරුවෝ 50ක් පමණද දේශපාලනඥයෝ රැසක්ද මේ රැස්වීමට පැමිණ සිටියහ.

එ් වනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම නියමිතව තිබූ වේලාවද පැය 2කින් ප්‍රමාද වී තිබිණ.  මේ නිසා ප්‍රසන්න තරමක් නොසන්සුන් වී සිටියේය.

මිනුවන්ගොඩට මහින්ද රාජපක්‍ෂ පැමිණියේ රාත්‍රී  9 ට පමණය.  එ්වනවිට රැස්වීම අමතමින් සිටියේ ප්‍රසන්නය.  හිටපු ජනාධිපතිවරයා පැමිණීමත් සමග ප්‍රසන්න සිය කතාව නැවැත්තුවේය.  හිටපු ජනාධිපතිවරයාට ප්‍රසන්න ආමන්ත්‍රණය කළද ඒ වන විට ඔහු සිටියේ සංගීතවේදී රෝහණ වීරසිංහ කියන කිසිවකට ඇහුම්කන් දෙමිණි.

සර්ට කතා කරන්න.  ප්‍රසන්න හිටපු ජනාධිපතිවරයා අසල සිටි ලාන්සාට කීවේය.  එය මහින්ද රාජපක්ෂ මහතාටද ඇසිණි.  ඔහු ප්‍රසන්න දෙස බැලූවේ එවිටය.

‘සර්.  08 වෙනිදා පැරදුනාට පස්සේ ඔය කවුරුත් ඔබතුමා ළඟ හිටියේ නැහැ.

අප්පච්චි මලෝ කට්ටිය ඔබතුමාව දාලා ගියා.  අද ඒ අය පවු සමා කර ගන්න හදනවා.  එදා ඔබතුමාට හිටියේ පළාත් සභාවලයි  ප්‍රාදේශීය සභාවලයි මන්ත්‍රීවරුයි මේ ඔබතුමාට ආදරය කරන මිනිස්සුයි විතරයි. අප්පච්චිි මලෝ කණ්ඩායම පවු සමා කර ගත්තට අපට ඔවුන් විශ්වාස නැහැ. හැබැයි ඔබතුමා අගමැති කරනතුරු අපි මේ සටන අතහරින්නේ නැහැ.  එක හිරගෙදරක නෙවෙයි හිර ගෙවල් 10ක දැම්මත් අපි ඒ සටන නතර කරන්නේ නැහැ. ”ප්‍රසන්න කීවේය.

එම කතාව අවධානයෙන් අසා සිටි මහින්ද රාජපක්‍ෂ මහතා අවසානයේ ප්‍රසන්නට සහතිකයක් දුන්නේය.

“ප්‍රසන්න තමයි මට ආපහු දේශපාලනයට එන්න පෙලඹුවේ විමල්ලා දිනේෂ්ලා එක්ක ප්‍රසන්න මහ සටනක් ගෙනිච්චා.  ඔබේ සහ ප්‍රසන්න ඇතුළු කණ්ඩායමේ ඉල්ලීම අහක දාන්න බැරි නිසයි මම දේශපාලනයට ආපසු ආවේ ” හිටපු ජනාධිපතිවරයා කීවේය.

“මා වෙනුවෙන් පෙනී හිටපු නිසා ප්‍රසන්නට චෝදනාවලට ලක් වෙන්නත් සිදු වුණා.  ඒත් ඔහු සටන අතහැරියේ නැහැ. ”හිටපු ජනාධිපතිවරයා ජනතා ඔල්වරසන් මැද කියා සිටියේය.  මේ කතාවෙන් පසු හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ දේශපාලනඥයන්ට හා කලාකරුවන්ට ප්‍රසන්න පුංචි පාර්සලය බැගින් දුන්නේය.  එහි වූයේ කජු සහ මුද්දරප්පලම් ය.

මිනුවන්ගොඩ රැස්වීම අවසන් වූ පසු මහින්ද රාජපක්ෂ මහතා ගම්පහ උත්සව ශාලාවක රැස්ව සිටි ගම්පහ දිස්ත්‍රික්කයේ නීතිඥවරුන් හමුවීමට ගියේය.  ඔවුන් සමග සුහද කතාබහක නිරත වූ මහින්ද රාජපක්‍ෂ කෙළින්ම පැමිණියේ මහ ඇමැති ප්‍රසන්නගේ උඩුගම්පළ නිවසටය.  උඩුගම්පළ නිවසේ මහින්දට රාත්‍රී ආහාරය සූදානම් කර තිබිණි.  ඒ අතර බිත්තර ආප්පද විය.

මහින්ද ආහාර ගැනීමට සූදානම් වන විට ප්‍රසන්න “ සර් බිත්තර ආප්ප නම් කන්න එපා” යැයි කියමින් සිනාසුනේය.  “ඇයි මමත් යයි කියලා බයයිද? ”මහින්ද මහ හඬින් සිනාසෙමින් ප්‍රසන්නගෙන් විමසුවේය.

ප්‍රසන්නගේ නිවසේ රාත්‍රී ආහාරය ගත් මහින්ද රාජපක්‍ෂ කලින්  පොරොන්දු වූ පරිදි කටානේ පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිස්චන්ද්‍රගේ නිවසට ගියේය.  පිටත් වීමට පෙර මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රසන්නගේ පිටට තට්ටු කරමින් රැස්වීම හොඳට තිබුණා යැයි කීවේය.

මධ්‍යම රාත්‍රිය එළඹ තිබුණද  ආනන්දගේ නිවසේ  විශාල පිරිසක් මහින්ද රාජපක්‍ෂ මහතා එනතුරු බලා සිටියහ.  ආනන්ද සහ පිරිස සමග තේ කෝප්පයක් බොමින් දේශපාලනය කතා කළ මහින්ද රාජපක්‍ෂ මහතා එතැනින් නික්ම ගියේ අලූයම් කාලයේය.

මනාප සටන එජාපය ඇතුළේ ද උණුසුම්ව ඇති අතර සමහර අපේක්ෂකයින්ගේ දුක් ගැනවිලි ද දෝෂාරෝපණයන් ද නිතරම සිරිකොතට ගලා එන්නට වූයේය. සිරිකොත සිට ඇමැති කරු ජයසූරිය හා පක්ෂ සභාපති මලික් සමරවික්‍රම අපේක්ෂකයින් මුහුණ දෙන ගැටලූ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කළහ.

පසුගිය අඟහරුවාදා ලෝකයේ සුප්‍රකට පවුලක් පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඇමැති මංගල සමරවීර මහතාගේ ඉල්ලීම පරිදි ඔවුන් පිළිගෙන ආගන්තුක සත්කාර දැක්වීමට ඇමැති කරු ජයසූරිය මහතා සිය බිරිඳ වෛද්‍ය වසන්තා ජයසූරිය මහත්මිය සමග ගුවන්තොටුපළට පැමිණියහ.

මෙම විශේෂ අමුත්තන් වූයේ බි්‍රතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා ඇතුළු පවුලයි. ගුවන් යානා දෙකකින් ලෝකයේ දෙදිසාවක සිට පැමිණි බ්ලෙයාර් පවුල බණ්ඩාරනායක ගුවන්තොටුපළේදී එකට එක්වූහ. මුලින් පැමිණි බ්ලෙයාර් මැතිනිය බුදුදහම ගැන දීර්ඝ වේලාවක් දැඩි උනන්දුවකින් කතාබහ කළ අතර දැඩි ආගමික නැඹුරුවක් සහිත ජයසූරිය යුවළ හිටපු බි්‍රතාන්‍ය අගමැතිවරයාට හා එම මැතිනියට බෞද්ධ දර්ශනය පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් කළේය. එමෙන්ම,  දේශීය  අයුර්වේදය පිළිබඳව මෙන්ම ජ්‍යොතිෂය පිළිබඳවද  බ්ලෙයාර් යුවළ බෙහෙවින් විමසිලිමත් වූහ.

පසුගිය 08 වැනිදා ලුණුගම්වෙහෙරේදී පැවති එජාප මහා රැලියට පැමිණ සිටි මහ සෙනඟ දැක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බෙහෙවින්ම සතුටට පත්ව සිටියේය. හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස සහ ජලනි ප්‍රේමදාස මහත්මීන්ද මෙම රැස්වීමට එක්ව සිටියහ.

ප්‍රධාන කථාවලින් පසුව ගැලක්සීස් සමග සජිත් ගීත කීපයක් ගයද්දීත් අගමැතිවරයා ඒ ගී රස විඳිමින් බොහෝ වේලා එහි රැඳී සිටියේය. රනිල් කීවේ බොහොම හොඳට සංවිධානය කරලා තියෙනවා. මට බොහොම සතුටුයි සජිත් කියාය. මේ අපේක්ෂකයෝ ඔයාගෙ පස්සෙම යන්නෙ නැතිව තනි තනිව වැඩ කළා නම් අපේ සංවිධානය මීටත් වඩා ශක්තිමත් වෙන්නයි තිබුණේ. කමක් නෑ, දැන් ඉතින් ඒ කට්ටියත් එකතු කරගෙන දිගටම යන්න රනිල් සමුගන්නට පෙර සජිත් වෙත සුභ පතමින් කීවේය.

පසුගිය අඟහරුවාදා පැවැති රූපවාහිනී දේශපාලන සංවාද වැඩසටහනකට පැමිණ සිටියේ අමාත්‍ය පී හැරිසන්, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, සමන්ත විද්‍යාරත්න සහ උපුල් ශාන්ත සන්නස්ගලයි.

මේ විවාදයේ පළමු වටයේ බාධා කිරීම් කළ නොහැකි බවටත්, දෙවැනි වටයේදී බාධා කළ හැකි බවටත් රීතියක් විය.

විවාදයේ පළමු වටය අවසානයේ වෙළෙඳ දැන්වීම බහුලවීම නිසා දිගුවූ විවේක කාලයේදී මහින්දානන්ද සහ පී. හැරිසන් පැටලූනෝය.

මම අර උසාවියේ තියෙන නඩුව මෙතන අදිනවා.  මම ගාව එ් ෆයිල් එක තියෙනවා යැයි හැරිසන් ආවේගයෙන් මහින්දානන්දට කියද්දී ඔහුද ආවේගයෙන් ආ..  එහෙමද ? මමත් අර අනුරාධපුරේ තියෙන නඩුව ගැන අදිනවායැයි කීවේය.

මේ කතාවට දෙදෙනා පුටු උස්සාගෙන ගැටුමකට යාමට සැරසීම නිසා වැඩසටහන් නිෂ්පාදකයෝ පවා ගැටුම සමථයකට පත්කිරීමට උත්සුක වූහ.

සමන්ත විද්‍යාරත්න මෙම ගැටුම අතරවාරයේ සන්නස්ගලට ඇඟිල්ලෙන් ඇන්නේය.
ඔයා  ඕවට අතදාන්න යන්න එපා.  තක්කඩි යැයි සමන්ත විද්‍යාරත්න කියා සිටියේය.  සන්නස්ගලද සමන්තගේ උපදෙස් කදිම යැයි සිතා නිහඬව සිටියේය. එ් අතරවාරයේ විරාමය අවසන් වූයේය.

නැවත කතාව පටන්ගත්තේ පී.  හැරිසන්ය.  මගේ මිත්‍ර මහින්දානන්ද යැයි කියමින් කතාව අරඹද්දී ඊට බාධා කරමින් මහින්දානන්ද පැවැසූවේ ඔබතුමා එක්ක මගේ මිත්‍ර කමක් නොමැති බවයි.

අනතුරුව සංවාදය වෙනත් දෙසකට හැරුණද විරාම කාලයේ හැරිසන් සහ මහින්දානන්ද පැටලූණු ෆයිල් විස්තර දෙදෙනාම හෙළි කළේ නැත.

මේ අතර පසුගියදා දේශපාලනය කතා නොකරන පුද්ගලයෙක් දේශපාලනය කතා කිරීම ගැන සියලූ දෙනාම කතා කරන්නට වූහ.  එ් නිසා දේශපාලනයට හිත ඇති නැති කොයි කවුරුත් මේ කතාවට රහ වැටී ඇහුම්කම් දුන්නේය.

හිටපු ජනාධිපති තාත්තාත්, හිටපු මන්ත්‍රී අයියාත්, දේශපාලනය ගැන කතා කළද කිසිවිටකත් දේශපාලනය ගැන කතා කිරීමෙන් වැළකී සිටි මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ හම්බන්තොට ගැමි නිවසක පැවැති පොකට් මීටිමකදී ජනතාව ඇමතුවේය.

ඔහු ජනතාව හමුවේ කළ කෙටි දේශනය ජනප්‍රිය වූයේය.  එ් ඔහු ෆෙඩරල් ක්‍රමය ගැන ගැමියන් පිරිසකට ඉගැන්වූ අයුරු නිසාය.  ඔහු කළ කෙටි සඳහන මෙසේය.

“මේ ඉන්න අයියලා මල්ලිලා අපේ අය කවුරුහරි දන්නවද ෆෙඩරල් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා.  ගොඩක් අය දන්නේ නෑනේ.  අපේ ගම්වල අය නම් සමහරු අහනවා ගෙවල්වල තියෙන හිරගෙයක් වගේ එකක්ද ෆෙඩරල් කියන්නේ කියලා.

අම්මේ, තාත්තේ ෆෙඩරල් ක්‍රමය කියන්නේ අපේ ශ්‍රී ලංකාව කියන රට වෙන් කරලා වෙනම පොලිස් කොට්ඨාස හදලා, වෙනම පාලනයක් ඇති කරලා, වෙනම නායකයෝ පත්කරලා, වෙන් වෙන් නීති යටතේ කරන පාලන ක්‍රමයක්.  රනිල් වික්‍රමසිංහ මහත්තයා 17 වැනිදායින් පස්සේ අපිට මේ ෆෙඩරල් ක්‍රමය දෙනවලූ. ” රෝහිත පැහැදිලි කළේය.

මේ අතර පසුගිය අඟහරුවාදා ඇඹිලිපිටිය නගරයේ පැවැති ව්‍යාපාරික හමුවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහභාගිවූවාය.

ඇය මේ සභාවේදී ඡන්දය දෙන්නැයි කීවේ සතෙකුටය.
කුමාරතුංග මහත්මිය මෙය පැහැදිලි කළේ ‘ ඇතැම් අවස්ථාවන්හිදී බුලත් කොළයට හෝ අත ලකුණට නොව සතෙකුට ඡන්දය දීමට අකමැත්තෙන් වුවත් සිදුවනවා යැයි කියමිනි.

ජනාධිපතිතුමා අපේ පක්ෂයේ සභාපති තුමා තමයි.දැන් එතුමාටත් කරකියා ගන්න දෙයක් නෑ. කවදාවත් නැතිව පුරවැසි බලය රට තුළ ශක්තිමත් වී තිබෙනවා.මේ පිරිස රට හදන්න ඉදිරිපත් වෙලා ඉන්නේ බොහොම අවංකව. සමන් රත්නප්‍රිය මහතා කියනවා වගේ වැරදි කරන අයට කන පැලෙන්න ගහලා පන්නන්න ඕනේ. ඒ සටනේ මමත් ඉන්නවා චන්ද්‍රිකා කියා සිටියාය.

මේ අතර ශ්‍රීලනිප අනුශාසිකා චන්ද්‍රිකා කුමාරතුංගගෙ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන ලෙස ඉල්ලා ශ්‍රීලනිප ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහ ‍ලේකම් අනුර යාපාට ලිපියක් යවා තිබේ.

තෙන්නකෝන් මහතා එම ලිපිය අරඹා ඇත්තේ කවියෙනි.
මවෙක් පියෙක් එක්වී රැක ගත්තේය
පරක් තෙරක් නැති සෙනඟක් එක්වීය
ඉවක් බවක් නැති වෛරය මත්වීය
දුවෙක් දෙමාපිය කඳුළැලි වික්කේය. එම කවියෙන් කියැවිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සහභාගී වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍ය හමුව ඊයේ 13 ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දි පැවැත්වින.

බුලත් හුරුල්ලක් ගෙන මාධ්‍ය හමුවට සහභාගී වූ ඩිලාන් පෙරේරා සඳහන් කර සිටියේ මම මැතිවරණවලට තරග කරලා පාර්ලිමේන්තු ආපු මිනිහෙක්. පහුගිය මැතිවරණවලදි මේ ජොබ් එක (මාධ්‍ය ප්‍රකාශක) කළේ ඩලස් අලහප්පෙරුම. එතුමා මේ මැතිවරණයට තරග කරන්න මාතර ගිය නිසා මම මාධ්‍ය ප්‍රකාශක වැඬේ කළා.

අද මම මේ මැතිවරණයේදි සහභාගි වන අන්තිම මාධ්‍ය හමුව. හැමෝම ඡන්දෙට ගමේ යනවා වගේ මමත් මේ ඡන්දෙට ගමේ යනවා. අපි මේ ඡන්දයෙන් ආසන 114ක් ජයගෙන බහුතර ආණ්ඩුවක් පිහිටුවනවා යැයි පැවසීය.

එසේ කියමින් ඔහු බුලත් කොළ දෙක බැගින් ගෙන සියලූම මාධ්‍ය fවිදීන් අසලට ගොස් තේ මේසයට ආරාධනා කළේය. එ් සමගම ප්‍රතිපත්ති ප්‍රකාශනය බැගින් මාධ්‍යවේදීන් අතර බෙදාහැරිනි.

මැතිවරණ දින ළංවත්ම මෙරට පිහිටි බටහිර තානාපති කාර්යාලද යුහුසුලු වූයේය. ඒ සිදුවන්නේ කුමක්දැයි සොයා බැලීමටය. ප්‍රසන්න, දයාසිරි ඇතුළු මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින දේශපාලනඥයන් කිහිපදෙනෙකුට ඔවුන් ඇමතුම් ගත්තේය. ප්‍රසන්නගෙන් එම තානාපති කාර්යාල නිලධාරීන්ට එතරම් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

මේ අතර රටට හිතැති ෆේස්බුක් ත්‍්ජැ ඉදදන ඔස්සේ සටන් වදින කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් ‘විස්සයි 20’ නමින් විශේෂ තරුණ හමුවක් පසුගිය සතියේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ පිහිටි ‘අපේ ගම පරිශ්‍රයේදී’ පැවැත්විණි. මෙම තරුණ හමුවට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ සිටියේ ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් එජනිස අපේක්‍ෂක විමල් වීරවංශ මහතාය.

“අපට අපේ ජීවිතවලින් ගෙවන්න බැරි ණයක් තියෙනවා. ඒ අපේ පරම්පරාවේ මැරුණු මිනිස්සු. පොතුපිටිය සුසාන භූමියේ තමයි උදය කීර්තිගේ ටයර් දමා පුළුස්සපු මළ සිරුර දමා ගොස් තිබුණේ. ‘අන්න, අහවල් තැන විමල්වත් මරලා පුළුස්සලා දාලා’ කියලා අපේ තාත්තා මොන වැඩ තිබුණත් නවත්තලා බයෙන් වෙවුලමින් යනවා ඒ මළ මිනිය දිහා බලන්න. අපේ පරම්පරාවේ ඒ මිනිස්සු ජීවිත පූජා කළා මේ රටේ ඒකීයභාවය රකින්න, බෙදුම්වාදය පරද්දන්න, එ් පක්‍ෂයේ මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රටේ ඒකීයභාවය පිළිබඳ එක වචනයක් ලියැවිලා නැහැ.

අපේ සටනේ ස්වභාවය, රටාව වෙනස් වෙන්න ඇති. සටන ගලාගෙන යන මාවත වෙනස් වෙන්න ඇති. නමුත් අපි එදා සිටම අත දරා ගෙන සිටි කොඩිය අත හැරියේ නැහැ. විමල් කීවේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව පසුගියදා පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී රැස්විය.  මෙහිදී විශේෂයෙන් කතාබහට ලක්වුයේ එජාපයත් එජනිසයත් ගොඩනගන මතයක් පිළිබඳවයි.

“මහින්දලා මතයක් හදනවා, ජේ. වී. පී.  එකට ඡන්දය දුන්නොත් යූ. එන්. පී.  එක බලය ගන්නවා කියලා ලාල් කාන්ත කීවේය.

“යූ. එන්. පී.  එකෙනුත්  මතයක් හදනවා අපිට දුන්නොත් මහින්ද එනවා කියලා යැයි ටිල්වින් සිල්වා කියා සිටියේය.

“වෙන්න පුළුවන් දේ තමයි 17වැනිදායි පස්සේ හවුල් අවුල් ආණ්ඩුවක් හැදෙන එක.  මහින්ද වටේ ඉන්න අය මහින්ද හළලා ආණ්ඩුවට යාවි.  ‘අකැමැත්තෙන් හරි සතෙකුට දීලා අපිට දැන් තියෙන්නේ හවුල් ආණ්ඩුවක් හදන එක’ කියලා චන්ද්‍රිකාත් කියලා තිබුණා. ” අනුර දිසානායක කීවේය.

“ඔව්, ඒ නිසා අපි රටේ මතයක් හදන්න  ඕනෙ.  මේ හැදෙන ආණ්ඩුවෙන් අනිවාර්යයෙන් ජනතාවට සෙතක් වෙන්නේ නැහැ.  හැදෙන ආණ්ඩුවෙන් වැඩක් ගන්න නම් ජවිපෙට වැඩි බලයක් තියෙන්න  ඕන.  ජනතාවට අපි ඒක  පැහැදිලි කරල දෙන්න  ඕන. ” විජිත හේරත් කීවේය.

“කලින් පාර්ලිමේන්තුවේ රනිල් විපක්‍ෂ නායක වුණාට වැඬේ කළේ අනුර සහෝදරයා.  අපේ තුන් දෙනා තමයි විපක්‍ෂය වෙනුවෙන් පෙනී හිටියේ.  රනිල් නායකකම බේරගන්න ට්‍රයි කරන අතරේ මහින්දගේ පාලනය වැට්ටුවේ ජවිපෙ.  ඒ නිසා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ විපක්‍ෂය වෙන්නේ අපි තමයි. ” ලාල් කාන්ත කීවේය.

“ඔව්, එන ආණ්ඩුව මට්ටු කරන්නත් ජවිපෙ ශක්තිමත් කරන්න  ඕනෙ කියලා ජනතාවට ඒත්තු ගන්වන්න  ඕන. ”යැයි හඳුන්නෙත්ති කීවේය.

මේ අතර පසුගියදා ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් යුරෝපා සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්‍ෂකයින් පිරිසක් හමුවිය.  එම හමුව සිදුවුණේ දෙදිනක් තුළ කොළඹ ගලධාරී හෝටලයේ සහ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේය.

යුරෝපා සංගමයේ 70ක පමණ පිරිසක් මැතිවරණ නිරීක්‍ෂණය සඳහා පැමිණ සිටියහ.  එම කණ්ඩායම පසුගිය ජනාධිපතිවරණයට පැමිණ නොසිටි අතර මහ මැතිවරණය නිරීක්‍ෂණයට පැමිණීමට අවස්ථාව ලැබී තිබිණි.

ඔහු පොදුරාජ්‍ය මණ්ඩල නිරීක්‍ෂණ කණ්ඩායම සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී හමුවුණේ පසුගිය බදාදා උදේ 9ටය.  එම නිරීක්‍ෂණ කණ්ඩායමේ ප්‍රධානියා වූයේ, මෝල්ටාවේ හිටපු ජනපතිවරයෙකි.  ඉන්දියාවේ සහ අප්‍රිකානු රටවල් කිහිපයක නියෝජිතයෝද එහි වූහ.

“ඔබතුමාලාගේ රටේ ප්‍රවණතාවක් වෙලා තියෙන පක්‍ෂ මාරු කරන එක ජනතා කැමැත්තට පිටුපෑමක් නේද?” නිරීක්‍ෂකයෙක් විමසීය.

“ඔව් ප්‍රශ්නයක් තමයි.  අපි පක්‍ෂයක් විදියට 19වන සංශෝධනයට වගන්තියක් ඇතුළු කළා, පක්‍ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුරය අහෝසි වන විදියට.  ඒත් එජනිසයත්, යූ. ඇන්. පී.  එකත් එකතුවෙලා ඒ වගන්තිය ඉවත්කරලා දැම්මා. ” විජිත හේරත් කීය.

මේ අතර ජවිපෙ හෘදසාක්‍ෂියේ සම්මුතිය කතෝලික සභාවේ කාදිනල් මැල්කම් රංජිත් පියතුමාටත් ලංකා සභාවේ කොළඹ අගරදගුරු කණකසබේ පියතුමාටත්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පිරිනැමුවේය.

එම අවස්ථාවට විජිත හේරත් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්‍ෂක ජ්‍යෙෂ්ඨ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරියත් එක්වූහ.

“මම ඔබතුමාලගේ විශේෂ සමුළුව සජීවී විකාශය නැරඹුවා.  ඔබතුමා කරපු කතාවත් ඇහුවා.  ගොඩක් වැදගත් ප්‍රතිපත්ති ගැන ඒකෙන් දැනගත්තා.  ආගමික සහජීවනය සහ ජාතික සමගිය පිළිබඳව ගොඩක් වැදගත් කරුණු ඔබතුමාලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. ” මැල්කම් රංජිත් පියතුමා සුබ පතමින් කීවේය.

“අපි අපේ ප්‍රතිපත්ති සෑම පාර්ශ්වයකටම පිළිගන්වලා තිබෙනවා.  වැඩරාජකාරි මැද්දේ අපිට මේ අවස්ථාව ලබාදීම ගැන ස්තුතිවන්ත වෙනවා.  ඔබතුමාණන්ලාගේ ආශිර්වාදය අපිට ගොඩක් වැදගත්.” අනුර දිසානායක කියා සිටියේය.

“ආගම්, ජාතිකත්වය පදනම් කරගෙන දේශපාලන පක්‍ෂ හදනවා.  ඒක මේ රටට විනාශයක්.  ඒවා ජනතාවට තේරුම් කරලා දෙන එක ඔබතුමාලගේ වගකීමක්.  ”
සාකච්ඡාව අවසන් කරමින් මැල්කම් රංජිත් පියතුමා අනුර කුමාරගෙන් ඉල්ලා සිටියේය.
“ඔබතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉතාම වැදගත් කාරණයක් ගැන මගේ හිත ගියා.
ජාතිකත්ව ආගමික හෝ වෙනත් කිසිදු වෙනස්කමක් මත පුරවැසියෙකුට නින්දාවක් වුණොත් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට ‘වෙනස්කම් වැළැක්වීමේ කොමිෂන් සභාවක්’  පත්කරනවා කියන එක ගොඩක්ම වැදගත් එකක්.  ඇත්තටම අපිත් දේශපාලන පක්‍ෂයකින් බලාපොරොත්තු වුණේ ඒ වගේ හොඳ දේවල්. ” කණකසබේ පියතුමා ජවිපෙට සුබපතමින් කීවේය

රමේෂ් වරල්ලෙගම
rameshdefence@gmail.com