මහ මැතිවරණයට තව ඉතිරිව ඇත්තේ දින කිහිපයකි. මැතිවරණ උණුසුම අතරේ  රවි කරුණානායක අමාත්‍යවරයා සමග කතාබහක නියැළීමට ‘රිවිර’ට අවස්ථාව උදා විය. පහතින් පෙළ ගැසෙන්නේ අප ඔහු සමග කළ ඒ කෙටි කතාබහයි.

ප්‍ර – බ්ලූමැන්ඩල් සිද්ධිය පසුපස පාතාල ලෝකය ක්‍රියාත්මක වෙන බවත්, ඒ පිටුපස සිටින දේශපාලන හස්තය ඔබ කියලත්, විවිධ කතා පැතිරුණා. මොකක්ද මේ සිද්ධිය?
පි – දැන් මේ සිද්ධිය අනාවණය වෙලා අවසන්. නමුත් තවම පරීක්ෂණ පැවැත්වෙනවා. දැනට හෙළිදරව් වී ඇති කරුණුවලින් ඔබතුමන්ලාට පැහැදිලි ඇති රවී කරුණානායක මේ කිසිම කාරණාවකට සම්බන්ධ නෑ කියලා. දැනට අත්අඩංගුවට පත් වූ යම් යම් පුද්ගලයින් කරුණු ලබන ප්‍රකාශනවලින් මේ ගැන ඉදිරියේදී තවත් තොරතුරු එළියට ඒවි. අපේ ජයග්‍රහණය ඉවසා ගන්න බැරිව වියරු වැටී සිටින මහින්ද රාජපක්ෂ රෙජිමය මේ උත්සාහ කරන්නේ අපේ පිටට පාතාල ලෝකය තල්ලු කරලා අපේ කීර්තිනාමය විනාශ කරලා ඒ තුළින් හරි ගිලිහී ගිය බලය නැවත ලබාගන්න.

නමුත් ඔවුන්ගේ ඒ උත්සාහය අසාර්ථක වුණා. ඒ ඝාතන සිද්ධියට පාවිච්චි කරපු වාහන කාගෙද ඒවා කාගේ වුවමනාවකට පාවිච්චි කළාද කියන දේවල් ධනසිරි අමරතුංගගේ නමයි, සුසිල්ගේ නමයි එළියට එනකොට පැහැදිලියි. දැන් මේ අය හොල්මන් වෙලා ඉන්නේ. කරපු දේවල් අතේ පත්තු වෙච්ච එක ගැන.

ප්‍ර – ඇයි ඔබම ඉලක්ක කරගෙන මෙවැනි වැඩපිළිවෙළක් දියත් වෙනවා කියලා හිතන්නේ?
පි – ඒක බොහොම පැහැදිලියි රාජපක්ෂ ආණ්ඩුව තදින් විවේචනය කරන දේශපාලන චරිත විනාශ කිරීමේ වැඩපිළිවෙළක් තියෙනවා. මම එදා ඉඳලාම මහින්ද රාජපක්ෂ කරපු වංචා, දූෂණ රටට හෙළි කළා. රාජපක්ෂගේ ඒකාධිපති ගමන වළක්වන්න කළ හැකි හැම දෙයක්ම කළා. ඒ නිසා ඒ මා කෙරෙහි ඒ වෛරය ඔවුන් තුළ තියෙනවා. විශේෂයෙන් කොළඹ මිනිස්සු මාත් එක්ක බොහොම හිතවත්. තරුණ කණ්ඩායම් බොහෝ පිරිසක් මාත් එක්ක සිටිනවා. මේක තමයි මේ ගොල්ලෝ පාවිච්චි කළේ.

ප්‍ර – ඒ කියන්නේ රවි කරුණානායක ඇමැතිවරයා පාතාලයත් එක්ක සම්බන්ධයක් නෑ කියලාද?
පි – මගේ දේශපාලන ජීවිතය වසර 23ක්. ඔය වගේ සම්බන්ධතා තියා ගත්තා නම් මේ වගේ දුර ගමනක් එන්න බෑ. එහෙම නම් මගදී නතර වෙනවා. අනිත් අතට මගේ එහෙම පාතාලයත් එක්ක සම්බන්ධකමක් තිබුණා නම් මේවා එළියට එන්නේ දැන් ‍නෙවෙයිනේ. අපි විශ්වාස කරන්නේ පිරිසිදු දේශපාලනයක්. මේ රට යහපත් දේශයක් කරන්න ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන අපි රාජපක්ෂලාගේ තියරිය අනුගමනය කරන්නේ මොකටද? පාතාලය වගේ කණ්ඩායම් දේශපාලනඥයෝ ළඟ සිටිය යුතු නෑ.

ප්‍ර – ඔබ අද පාතාල සිද්ධි සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂට චෝදනා කරනවා. හැබැයි පාතාල කල්ලි ගොඩනැගීම ආරම්භ වෙන්නේ එක්සත් ජාතික පක්ෂ කා‍ලේ කියලයි අපි අහලා තියෙන්නේ.
පි – අතීත කතන්දර දැන් වැඩක් නෑ. අපි ජනවාරි 08 වැනිදා මේ රටේ සැබෑ වෙනසක් ඇති කළේ අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ පැළ කරන්න. එදා තිබුණු එක්සත් ජාතික පක්ෂය ‍නෙවෙයි අද තියෙන්නේ. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා යටතේ නව දැක්මක් සහිතව පිරිසිදු දේශපාලන ගමනක් අපි යන්නේ. අද පක්ෂයක් හැටියට අපි සියලු දෙනාම එකමුතුව, සමගියෙන් රට ගොඩනැගීම අරමුණු කොට ගත් ගමනක් යනවා.

“අතීත කතන්දර දැන් වැඩක් නෑ. අපි ජනවාරි 08 වැනිදා මේ රටේ සැබෑ වෙනසක් ඇති කළේ අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ පැළ කරන්න. එදා තිබුණු එක්සත් ජාතික පක්ෂය ‍නෙවෙයි අද තියෙන්නේ.”

ප්‍රශ්නය තියෙන්නේ අපි අතීතය අමතක කරලා වැඩකරන්න උත්සාහ කළත් ඒ අතීත අවතාර විවිධ ස්වරූපවලින් ක්‍රියාත්මක වෙලා අපේ දේශපාලන ගමන අඩාළ කරන්න උත්සාහ කරන එකයි. එතනදී අපිට ඒ දේවල් අනාවරණය කරන්න සිද්ධ වෙනවා.

එහෙම නොවන්න අඳුරු අතීත අත්දැකීම් වේදිකාවල්වල පට්ට ගහන්න අපිට වුවමනාවක් නෑ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. අධිකරණමය ක්‍රියාමාර්ගවලට එළැඹිය හැකි සිද්ධි සම්බන්ධයෙන් මෙය වලංගු නෑ. කවුරුන් හෝ වරදක් කරලා තියෙනවා නම් ඊට ඒ පුද්ගලයා දඬුවම් විඳිය යුතුයි.

ප්‍ර – කොහොමද ඡන්ද ව්‍යාපාරය ?
පි – ඉතාම සාර්ථකයි. මේ වන විට අපි ජනතාව දැනුම්වත් කරමින් ගෙයක් ගානේ යමින් පුළුල් ඡන්ද ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. වෙනදා දකින්නට නොලැබුණු අන්දමේ විශාල උද්යෝගයක් මෙවර දකින්න ලැබෙනවා. ඒකාධිපති පාලනය පරාජය කළාට පස්සේ දැන් මේ රටේ මිනිස්සු නිදහසේ ජීවත් වෙනවා.  එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ මේ රටේ මිනිස්සුන්ට තුන්වේල කාලා නිදහසේ ඉන්න පුළුවන් බව ඔවුන් දන්නවා. ඒ වගේම මේ රට නිවැරදි ලෙසින් සංවර්ධනය කරන්න පුළුවන් පැහැදිලි ආර්ථික දර්ශනයක් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට විතරයි. මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ඒ ගැන දන්නවා. අපි මෙවර බොහොම පැහැදිලි මාස හැටක වැඩසටහනක් රටට ඉදිරිපත් කළා.

ප්‍ර – එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ව්‍යාපාරයත් ශක්තිමත් ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ඔබ හිතනවාද ‍ලේසියෙන් ඔය ඉලක්කය සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා.
පි – මහින්ද රාජපක්ෂ කියන්නේ විශ්‍රාමික දේශපාලනඥයෙක්. ගිය ජනවාරි අට වැනිදා මේ රටේ ජනතාව ඔහු ගෙදර ඇරියා. ඊට පස්සේ නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ ආරම්භ වුණා. ඒ සංස්කෘතිය ඇතුළේ නැවතත් මහින්ද රාජපක්ෂට ඉඩක් නෑ. අද මහින්ද රාජපක්ෂ කර ගහගෙන යන්නේ එලොවත් නැති මෙලොවත් නැති දේශපාලන චරිත කීපයක්. මහින්ද රාජපක්ෂ වගේ දේශපාලන චරිතයක් නැත්නම් ඔවුන්ගේ දේශපාලන ජීවිත අනාත වෙනවා. මොකද තනියම දේශපාලන ගමනක් යන්න හයියක් ඔවුන්ට නෑ.

ප්‍ර – එක්සත් ජාතික පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින කණ්ඩායම අතර මනාප සඳහා සීතල යුද්ධයක් ක්‍රියාත්මක වෙන බව අහන්න ලැබෙනවා. ඔබත් ඒ ගොඩේ ඉන්නවාද?
පි – මෙවර කොළඹ දිස්ත්‍රික්කය සඳහා අපෙන් ඉදිරිපත් වන ලැයිස්තුව ඉතා ප්‍රබල එකක්. ඒකේ තර්කයක් නෑ. මෙවර අපි කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 13ක් අනිවාර්යෙන්ම ලබා ගන්නවා. ඒ නිසා ඔය කියන ආකාරයේ මනාප ‍පොරයක් අපි අතරේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙවර විශාල මනාප ප්‍රමාණයක් ලබා ගන්නවා. අනික පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂය භේදභින්න වෙලා තියෙන අවස්ථාවේ පක්ෂයත්, නායකත්වයත්, රැක ගනිමින් විශාල කාර්යභාරයක් අපි ඉටු කළා. ඒක එක්සත් ජාතික පාක්ෂිකයෝ දන්නවා. ලබන 17 වැනිදා ඔවුන් තමන්ගේ යුතුකම නිවැරදිව ඉටු කරයි කියලා මම කල්පනා කරනවා.

ප්‍ර – ගිය ජනාධිපතිවරණයේදී මිනිස්සු දිනෙව්වේ ‍පොදු අපේක්ෂකයා මිසක් එක්සත් ජාතික පක්ෂය ‍නෙවෙයි. ආසන 115කින් එහා ගන්න අවශ්‍ය මනාප ලබාගන්න ඔබලා විශ්වාස කරන තරම් එක්සත් ජාතික පක්ෂයට මේ රටේ ජනතාව තුළ  මනාපයක් තියෙනවාද?
පි – මීට පෙර කිසිම රජයක් නොකළ සහන හා දීමනා ලබාදුන්නා. අනිත් පැත්තෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා රට ඒකාධිපති තත්ත්වයෙන් මුදවා ගත්තා. අධිකරණ පද්ධතිය ස්වාධීන කළා. නිදහස් මැතිවරණ ක්‍රමයකට මුල පිරුවා. කෙටි කාලයක් තුළ අපි ලබාදුන්නු දේ බොහොමයි.

ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ කෙටි කාලයක් තුළ අපි මෙවැනි දේවල් කළා නම් වසර පහක බලය ලබා දුන්නොත් අපිට කළ හැකි දේ බොහොමයි. ඒ නිසා එක්සත් ජාතික පෙරමුණ කෙරෙහි විශ්වාසය තබා ඔබගේ වටිනා ඡන්දය ලබන 17 වැනිදාට අලියා ඉදිරියේ කතිරය ගහලා සනාථ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.