‘කෝච්චිය බෙලිඅත්තට එනකල් ගෙනැත් කතරගමට ගෙනියන්න හදනකොට මෙන්න රනිල් මහත්තයාගේ අලුත් යෝජනාව. වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා කිරීම සඳහා මත්තල ගුවන්තොටු‍පොළේ ගබඩා පහසුකම් ලබාගැනීම සඳහා එවපු ලියුම මේ.

මත්තල ගුවන්තොටු‍පොළ වහමුද? වරාය වහමුද? මේවාට ඉඩ දෙන්නද? සජිත් මහත්තයා කොළඹ ඉඳන් ඇවිත් මෙහේ බින්න බැස්සට මත්තලට හෝ හම්බන්තොට වරායට අත තියන්න දෙන්නේ නැතැයි’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

මිද්දෙණිය නගරයේදී පසුගියදා (11) පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. තිස්සමහාරාමය සහ මොරවක නගරවලදී ද හිටපු ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනහමු පැවැත්විණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.
‘තවත් නිවේදනයක් මේ තමයි සජිත් මහත්තයා කියන්නේ. මම බොරු කියනවා කියලා හිතනවා නම් මේ තියෙන්නේ ලියුම්. ජල කළමනාකරණ පනතක්. මේකෙන් වතුර ටිකටත් තමුන්නාන්සේලාගෙන් සල්ලි ගන්නවා. ගෙදර පිටිපස්සේ ළිඳක් කැපුවත් ඒ වත්තේ වතුර ටිකටත් සල්ලි ගන්නවා. රෝහල් අධිකාරියක් කරන්න යනවා. එතකොට බෙහෙත් ගන්න වෙන්නේ සල්ලි දීලා.

“මේ රටේ ජනතාවගේ සෞඛ්‍යය රැකගන්න නොමි‍ලේ වෛද්‍ය පහසුකම් හා බෙහෙත් ටික ලබාදීපු රෝහල් සියල්ලම අධිකාරියක් කරන්න හදනවා. එවිට වෛද්‍යවරුන්ට, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයටම රජයෙන් වැටුප් ගෙවන්නේ නැහැ. “

දැන් තමුන්නාන්සේලාට මම කියනවා බඩු මිල ජීවන වියදම අනිවාර්යයෙන්ම අපි පහළ දානවා. තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදෙනවා. අධ්‍යාපනය හදාරන කොල්ලෝ කෙල්ලෝ දුවේ පුතේ ඉගෙන ගනින් කියලා රු. 50,000ක් දෙනවා. ඒ විතරක් ‍නෙවෙයි, රාජ්‍ය සේවයට වැටුප් වැඩි කිරීම, රජයේ ඉඩම්වල අවුරුදු 10ට වඩා පදිංචිවෙලා ඉන්නවා නම් ඒවා තමුන්නාන්සේලාට සින්නක්කර ඔප්පුවලින් ලියලා දෙනවා.

සහෝදර සහෝදරියනි, දැන් මෙයාලා අහනවා මහින්ද රාජපක්ෂගේ අතේ ඇලඩින්ගේ පුදුම පහන තියෙනවාද කියලා. පුදුම පහන තවම තියෙනවා. නිවිලා නැහැ. සහෝදරයා මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලනවා වැඩිය කතා කරන්න බලා‍පොරොත්තු වෙන්නේ නැහැ. 10 වෙනකොට වේදිකාව දෙන්න ඕන ‍පොලිසියට. සහෝදර සහෝදරවරුනි, මේ රටේ ආර්ථිකය කඩා දැම්මා, මහ බැංකුව මංකොල්ල කෑවා.

මහා මාර්ගයෙන් නුවර අධිවේගී මාර්ගයෙන් කොල්ල කාලා. මම ගොඩනගපු ආර්ථිකය කාලා දාලා විකුණලා දාන්නයි මේ ලෑස්තිය. ඒකට ඉඩ තියන්න එපා. ඔබේ දරුවන්ට මේ රට, මේ වගේ 27,000ක් දිවි පුදලා තමන්ගේ අයගේ, සමහරුන්ගේ ඇස්, කන්, අතපය කැඩිලා, පූජා කරලා රණවිරුවෝ බේරාගත්ත මේ රට ඒකීය රට දැන් කෑලිවලට කඩන්න දැන් ඉඩ දෙන්න බැහැ. මේ ගිරුවායේ දුක් විඳින ජනතාව වෙනුවෙන් මේ අද අපිට කියනවා සමහර මහත්වරු අහනවාලු මම ඇයි ගියේ කියලා.

බයේ ගියේ කියලා. මම කොහේ ගියත් මැදමුලනේ තමයි නවතින්නේ. තමුන්නාන්සේලා දන්නවා ඒක. කුරුණෑගල ජනතාව මට ආරාධනා කළා විතරක් ‍නෙවෙයි, කුරුණෑගල ජනතාව මේ රුහුණට කළා වගේ කුරුණෑගලටත් අපි කටයුතු කරනවා කියන එක මම මතක් කරනවා.’

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තිස්සමහාරාමය නගරයේ පැවැති ජනහමුවේදී මෙසේ කියා සිටියේය. මෙම ජනහමුව හම්බන්තොට දිස්ත්‍රික් එජනිස කණ්ඩායම් නායක හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් සංවිධානය කරන ලදී.

‘දැන් සජිත් ප්‍රේමදාස කිය කියා යනවලු මම කුරුණෑගලට ගියේ එයාට බයේ කියලා. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටු‍පොළ වී ගබඩාවක් කරන්න රනිල් මහත්තයා කැබිනට් අනුමැතිය අරන් තියෙනවා. එදා මම මේ රටේ ආරම්භ කළ දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම රනිල්ගේ ආණ්ඩුවට කරගෙන යන්න බැහැ. මාතර සිට කතරගමට දුම්රිය ගේනවට රනිල් මහත්තයා විරුද්ධ වුණා. දැන් ඒක අතරමග නතර වෙලා.

රනිල්-සජිත් අතර පවතින නොසන්සිඳෙන වෛරය නිසා හම්බන්තොට සංවර්ධනය කරන්න රනිල් මහත්තයා ඉඩදෙන්නේ නැහැ.

මේ රටේ ජනතාවගේ සෞඛ්‍යය රැකගන්න නොමි‍ලේ වෛද්‍ය පහසුකම් හා බෙහෙත් ටික ලබාදීපු රෝහල් සියල්ලම අධිකාරියක් කරන්න හදනවා. එවිට වෛද්‍යවරුන්ට, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයටම රජයෙන් වැටුප් ගෙවන්නේ නැහැ. එවිට ඔවුන්ගේ වැටුප් ලබාගැනීමට නම් රෝගීන්ගෙන් අය කරගන්න වෙනවා. එදාට මේ රටේ අති බහුතරයක් වන සාමාන්‍ය ජනතාවට රෝහ‍ලේ බෙහෙත් ටික ගන්න බැරිවෙනවා. උණ, සෙම්ප්‍රතිශ්‍යාවටත් බෙහෙත්වලට අධික මුදලක් ගෙවන්න වෙනවා. එදාට මේ රටේ ජනතාවට ලෙඩට බෙහෙතක් ගන්න බැරුව මිය යන්නයි සිද්ධ වෙන්නේ. ඒක තමයි යහපාලනයේ ප්‍රතිපත්තිය.

එදා අපි වී කිලෝව රුපියල් 40ට ගන්නකොට පෞද්ගලික අංශය රුපියල් 50ට ගත්තා. අද වී කිලෝව රුපියල් 18ට 20ටවත් විකුණාගන්න බැහැ. අද වෙළෙඳ‍පොළේ වී මිල කඩා වැටිලා. අපි මේ ගොවියාගේ වී රුපියල් 50ට ගන්නවා. ඉවසලා ඉන්න 18 වැනිදා වෙනකම්. හේන් ගොවියෝ අද අන්ත අසරණයි. ඔවුන්ගේ නිෂ්පාදනයන්ට මිලක් නැහැ. සුදුසු වෙළෙඳ‍පොළක් ඇති කරලා නැහැ. විදේශීය කොම්පැනිකාරයන්ගේ බිජ මේ රටට ගෙනැල්ලා දේශීය ගොවියගේ බඩට ගහලා. අපි මේක වෙනස් කරනවා.
හම්බන්තොට වරාය මේ රටටම ආර්ථික ලාභ ගලාගෙන එන ස්ථානයක්.

කොළඹ වරායේ තිබුණු තදබදය දැන් නැහැ. ආනයනික සියලු රථවාහන පැටවූ නැව් දැන් එන්නේ හම්බන්තොට වරායට. දැනට වරායේ අංගණයේ ගොඩබාපු රථවාහන දහස් ගණනක් දකින්න පුළුවන්. මේක හම්බන්තොටට විතරක් ‍නෙවෙයි සමස්ත රටටම ‍පොදු සම්පතක්. ඒ වුණාට බොරුවට පුරසාරම් ගහලා මේ යමපාලන ආණ්ඩුවට මෙය පවත්වාගෙන යන්න තරම්, ජාත්‍යන්තර නැව් සමාගම් සමග සබඳතා පවත්වමින් රටට ආදායමක්, තරුණ තරුණියන්ට රැකීරක්ෂා ලබාදෙන්න තරම් මේ අයට දැනුමක්, බුද්ධියක් නැහැ. විශේෂයෙන්ම කාලයක සිට පවතින රනිල්-සජිත් නායකත්ව ‍පොරයේ හේතුව දෙදෙනා අතර පවතින වෛරය නිසා මේ දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට කිසිසේත්ම රනිල් මහත්තයා ඉඩදෙන්නේ නැහැ.

දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කරමින් අපේ රටේ ජනතාව ඉදිරියට ගෙනයෑම සඳහා වූ රටට පණදෙමු. අලුතෙන් පටන් ගමු කියා අනාගතයට සහතිකයක් දෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපි ඔබට ඉදිරිපත් කළා. එහිදී ගුරුවරයා, රජයේ සේවකයා කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ඔවුන්ට තීරු බදු රහිත වාහන ගැනීමට පර්මිට් දෙනවා. ඔවුන් ඒ මගින් වඩාත් දිරිගන්වා ජනතාවට වඩා හොඳ සේවයක් ලබාදීමට කටයුතු කරනවා.

මේවා කරන්නේ අපි අපේ දරුවන් වෙනුවෙනුයි. අපි ගමේ සෑම පාසලකට මහින්දෝදය විද්‍යාගාර දුන්නා. මේක මහින්දෝදය කියන කෑල්ල රනිල් මහත්තයාට වහකදුරු වෙලා. ඒ කොටස ඉවත් කරන්න තමයි ඔවුන් කටයුතු කරන්නේ. මේවා දැක්කාම ජනතාවට මාව මතක් වෙනවලු. එතකොට ගමේ කොන්ක්‍රීට් පාරවල්, කාපට් පාරවල්, විදුලිය, ජලය හා අධිවේගී මාර්ග මේවා දකිනකොට ජනතාවට මහින්ද ඇර වෙන කෙනෙක් මතක් වෙන්නේ නැහැ. අපි ආරම්භ කරපු සංවර්ධන යෝජනා ක්‍රම සියල්ලම දැන් ඇණහිටලා. මාතර-කතරගම දුම්රිය පාරත් නතර වෙලා.

හම්බන්තොට-කතරගම අධිවේගී මාර්ගයත් නතර කරලා. නමුත් අපි තමුන්නාන්සේලාට එඩිතරව කියනවා අපි බලයට ඇවිත් සුමානයක් ඇතුළත මේ නවතා තිබෙන සියලු සංවර්ධන කටයුතු ආරම්භ කරනවා. අපිත් එක්ක ජනතාව ඉන්නකම් අපි බය නැහැ. අපි ඔබ කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. ඒක නිසා අපට මේ ඉදිරි ගමන යන්න කිසිම බාධාවක් නැහැ. දැන් රතු පැටියා අලියාගේ තුරුල්‍ලේමයි. මේකෙන් ඉතා පැහැදිලියි එක්සත් ජාතික පක්ෂයේ පරාජය.’

හිටපු ජනාධිපතිවරයා මොරවකදී මෙසේ පැවසුවේය.
‘මෙවර මහ මැතිවරණයට අපි ඉදිරිපත් කර තිබෙන්නේ දක්ෂ කණ්ඩායමක්. අනිවාර්යයෙන්ම ආසන 117ක් අපි ජයගන්නවා. ජාතික ආණ්ඩුවක් හදන්න සිහින මවන රනිල්ට ඒ වැඩේ කවදාවත් කරන්න ලැබෙන්නේ නැහැ.

අපි තේ ගොවියාට සහන මිලට ‍පොහොර මිටිය දෙන විට යූඑන්පීකාරයෝ නොයෙක් දේ කිව්වා. අපට අපහාස කළා. ඒ ‍පොහොර ටික අදත් ලබාදෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ තේ, ‍පොහොර ගැන කිසිම සඳහනක් නැහැ. දරුවන් කියන්නේ අපේ රටේ අනාගතය. පසුගිය දවස්වල වව්නියාවේ පාසල් දැරියක් ජීවිතය නැතිකර ගත්තා. මෙන්න අද පවතින තත්ත්වය. අපේ ආණ්ඩුවක් යටතේ උසස් අධ්‍යාපනය ලබන වයස අවුරුදු 17ත් 25ත් අතර තරුණ තරුණියන්ට රුපියල් 50,000 බැගින් ලබාදීමට කටයුතු කරනවා.

අලුතින් ව්‍යාපාර ආරම්භ කරන අයට රුපියල් ලක්ෂ දහය බැගින් අඩු ‍පොලියට ණය ලබාදෙනවා. මේ ණය මුදල ආපසු ගෙවන්න සිදුවෙන්නේ ආරම්භ කළ ව්‍යාපාරය දියුණු තත්ත්වයට පත්වුණාට පසුවයි. අද ජීවත්වෙන්න නිවසක් නැතිව ළතැවෙන අය ඉන්නවා. ඒ අයට අපි රුපියල් ලක්ෂ දහය බැගින් ලබාදෙනවා.

එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් මට හොරා, හොරා කියලා අපහාස කරනවා. මඩ ගහනවා. අපි අධිවේගී මාර්ග හදන විට වැඩියි, වැඩියි, යටිමටි ගැසුවා කිව්වා. අපට කිලෝමීටර් එකක් හදන්න වැය වුණේ මිලියන 2 1/2යි. මෙයාලා එක කිලෝමීටරයට මිලියන 7 1/2ක් වැයකර තිබෙනවා. ඉතින් කවුද හොරා කියලා මේකෙන්ම තේරෙනවානේ. මහ බැංකු සිද්ධිය කවුරුත් දන්නවා. අපට හොරා හොරා කියලා චෝදනා කරමින් ඔවුන්ගේ හොරකම් වහගන්න හදනවා.

මොවුන් හදන්න යන ජාතික ආණ්ඩුව යටතේ ජනාධිපති කාර්යසාධක බළකාය ස්ථාපිත කළාම මේ රටේ මිනිසුන්ට නාන්න වෙන්නෙත් ආණ්ඩුවේ වතුර. වතුර ටිකත් පෞද්ගලීකරණය කරන්නයි හදන්නේ. කුඹුරේ වී වගාවට ගන්න වතුර ටිකට, බිමට ගන්නා වතුර ටිකට බිල ගෙවන්න ඕන.

අපේ රටේ වී නිෂ්පාදනය පිටරට යවන්න පුළුවන් තත්ත්වයට පත්කළා. ඒත් අද කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ වැටිලා. අපි සතොස හැදුවා. ඒකත් ඉවරයි. අපේ රජයක් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරනවා.’

හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා.
‘පන්නා දැමුවාය කියා කියපු මහින්ද රාජපක්ෂ මහතා වටා එක්වන ජන රැල්ල අද රටපුරාම විහිදිලා. මහින්ද මහත්තයා කැන්ද කොළෙන් ආවත් අපි දෙනවා කියලා සමහරු කිව්වා. ඒ තරම් ළෙන්ගතුකමක්, බැඳීමක් ජනතාව තුළ තිබෙනවා. රනිල් අගමැති වුණේ ඡන්දෙකින් දිනලා ‍නෙවෙයි පරණ පිනකට.සමහරු හිතනවා රනිල්ට මේ සැරෙත් දිනන්න පුළුවන් කියලා. මේ කපේදි දිනන්න බැහැ. රනිල් සුදුසු අගමැතිකමට නොවෙයි විපක්ෂ නායකකමට.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැති වෙන්න දෙන්නේ නැහැ කියලා. බුලත් කොළයෙන් නාමයෝජනා දුන්නා නම් ඒකෙන් තරග කළා නම්, ජයග්‍රහණය කළා නම් කොහොමද අගමැතිකම නොදෙන්නේ? හොඳයි අපි ඒක පාර්ලිමේන්තුවේදි බලා ගනිමු.

අද පාතාලය ගහ ගන්නවා. මරා ගන්නවා. මෙන්න රනිල්ලාගේ යහපාලනය. බටලන්දේ වධකාගාරය යූඑන්පීයට, ජේවීපියට දැන් අමතකයි. මේගොල්ලෝ දැන් අපේ අය හිරේ යවන්න ෆයිල් හදනවා. අපේ ළඟත් ෆයිල් තිබෙන බව ඒ අයට මා මතක් කරන්න ඕන.’

හිටපු රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති විජය දහනායක මහතා.
‘අද මොරවකට ඓතිහාසික දවසක්. මහින්ද රාජපක්ෂ මොරවකට එනවිට සාගල රත්නායක බයවෙලා. දෙණියාය සංවර්ධනය කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මොරවක-කොළඹ අධිවේගී මාර්ගය ඉදිකළේ එතුමා. පැය හයක හතක ගමන දැන් පැය දෙකෙන් යන්න පුළුවන්. ඒකේ යන ගමන් බණිනවා. 1971දී 1989දී දෙණියාය ගිනිගත්තා. දේපළ විනාශ කළා. ඒවා යථා තත්ත්වයට පත්කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. පාතා‍ලේ මොකා ආවත් අපේ ගමන නතර කරන්න බැහැ. වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාවක් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට එනවා.’

හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා.
‘රූපවාහිනියෙන් පැයකට හැට සැරයක් විතර දැන්වීම් ප්‍රචාරය කරනවා. කටවුට්, ‍පෝස්ටර් එකපිට එක අලවලා. මේවාට අති විශාල මුදල් කන්දරාවක් වැය කරන්න යූඑන්පියටත්, ජේවීපියටත් මුදල් ලැබුණේ කොහෙන්ද? කාගෙන්ද? යූඑන්පීකාරයෝ හිතුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩිලා කියලා. පස්සේ මේ මහජන ගඟ දැක්කාම ඒගොල්ලෝ බයවුණා.

ඒගොල්ලෝ හදනවා කියන ජාතික ආණ්ඩුවට අපේ සහායක් නැහැ. උතුරු නැගෙනහිර එකතු කරන්නයි හදන්නේ. උතුරේ හමුදා කඳවුරු ඉවත් කළා. බෙදුම්වාදයට අපි ඉඩදෙන්නේ නැහැ. පසුගිය මාස හයට කරපු හරිය හොඳටම ඇති. තවත් අවුරුදු පහක් දුන්නොත් කොහොම කරාවිද? රනිල්ගේ අගමැති සිහිනය සිහිනයක්ම වෙනවා.’

හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා.
‘අපේ රටේ ‍පොදු ජනතාව වෙනුවෙන් අපට කරන්න තිබෙන ලොකුම වගකීම තමයි එක්සත් ජාතික පක්ෂය පන්නා දැමීම. ජාතික ආණ්ඩුවක් හදන්නේ ජාතික අර්බුදයක් ඇතිවූ විටයි. අද තිබෙන්නේ දේශපාලන අර්බුදයක්. බටහිරට ගැති විවිධ බලවේගවල එකතුවෙන් හදන්න යන ඊනියා ජාතික ආණ්ඩුව අපි බිඳ හෙළනවා.

මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ කියලා යූඑන්පිය කියනවා. ඒත් ඒකට මේ මහජන රැල්ල කවදාවත් ඉඩදෙන්නේ නැහැ. දැන් බටහිර බලවේග හිස ඔසවමින් සිටිනවා. මේ තත්ත්වයන් මත රටේ අනාගතය සුබදායක නැහැ. රාජපක්ෂ ආණ්ඩුව මුදාගත් රට නැවත විනාශ වෙන්න ඉඩදෙන්න බැහැ. අපි ආදරය කරන්නේ ප්‍රතිලාභවලට නොවෙයි. ප්‍රතිපත්තිවලටයි. තව දින කීපයකින් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සන්ධාන ආණ්ඩුවක් බිහිවෙනවා. ඒක කාටවත් වළක්වන්න බැහැ.’

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා.
‘අද ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන එල්ල වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිගේ පාලනය යටතේ උතුරේ හමුදා කඳවුරු 52ක් ඉවත් කළා. නන්දිකඩාල් කලපුව වටේ ඊළාම් කොඩිය එසෙව්වා. ඒක මුළු රටම දන්නවා. එල්.ටී.ටී.ඊ. ය නැවත හිස ඔසවලා කියලා ඇමෙරිකාව අනතුරු හඟවා තිබෙනවා. මේ විදිහට රට පණ අදින නිසයි අපේ මැතිවරණ ප්‍රකාශනයේ ‘රටට පණ දෙමු’ යැයි සඳහන් කර තිබෙන්නේ.
රනිල් ඇතිකරන්න යන ජාතික ආණ්ඩුවේ ටී.එන්.ඒ. සංවිධානයත් ඉන්නවා. ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශයෙන් ෆෙඩරල් ඉල්ලා තිබෙනවා.

ඒකේ ඔවුන්ගේ කරුණු පහක් තිබෙනවා. මේක බරපතළ ප්‍රශ්නයක්. මහින්ද ඕන කියලා අපි කියන්නේ කොන්ද පණ තියෙන නායකයෙක් නිසයි. බටහිරට දණ නොගසන අභීත පුද්ගලයෙක් නිසයි. එක්සත් ජාතික පක්ෂයේ විනාශකාරී ජාතික ආණ්ඩුව වෙනුවට අපි දේශප්‍රේමී සන්ධාන ආණ්ඩුවක් හදන්න ඕන.’

පද්මසිරි ගාර්දියවසම්-තංගල්ල/රංජිත් හේවගේ-වීරවිල/පියදාස ජයවර්ධන-මොරවක

pirisa