එක් පවුලක් වෙනුවට රටේ සෑම පවුලක්ම රැකගැනීම සඳහා ජනතාව ඡන්දය භාවිත කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (13) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අපි අලුත් රටක් ගොඩනැගීමට එක්සත් ජාතික පෙරමුණ හැදුවා. ඒ අනුව අපේ බලා‍පොරොත්තුව ජනවාරි 8 විප්ලවයත්, යහපාලනයත් තහවුරුකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග මේ රට ඉදිරියට ගෙන යාමයි.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රට වටේ ගොස් පැමිණ සිටි අපට එක් කාරණයක් පැහැදිලි වුණා. අද රටේ ජනතාව මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කරනවා. ඔහුට බහුතර බලයක් ලබාගන්නත් බැහැ. එහෙම සිතනවා නම් ඒක ඔහුගේ සිහිනයක් මිස වෙන කාගේවත් සිහිනයක් නොවෙයි.

ජනතාව එක්වී ලංකාවේ පවත්වන ලද සාමකාමීම මැතිවරණය පවත්වන්නේ අපගේ යහපාලන ආණ්ඩුව යටතේ බව කිව යුතුයි. 1989 පාර්ලිමේන්තු මහමැතිවරණයේ පටන් ‍පෝස්ටර්, කටවුට් ප්‍රදර්ශනයට ඉඩ ලබා දුන්නා. මැතිවරණ කොමසාරිස්වරයාත් එදා තිබූ තත්ත්වයන් අනුව ඊට ඉඩලබා දුන්නා. ඒක පුරුද්දක් බවට පත්වුණා. එය විශාල වියදමක් සිදුකෙරන කටයුත්තක් බවට පත්වුණා. එහෙත් අද ‍පෝස්ටර්, කටවුට් නොමැතිව ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සඳහා නීතිය අකුරටම ක්‍රියාත්මක කොට තිබෙනවා. ඒ නිසා යහපාලන ප්‍රතිපත්ති මෙවර ඡන්දයෙනුත් පෙනෙන බව අපට දැනටමත් පැවසිය හැකිය.

අපි මේ රටේ ජනතාවට නිදහස ලබාදුන්නා. මාධ්‍ය නිදහස තහවුරු කළා. දූෂණය නතර කිරීමට පියවර ගත්තා. ඒත් සමගම විධායක ජනාධිපති බලතල සීමා කළා. ස්වාධීන කොමිෂන් ඇති කිරීමට මූලික පියවර ගත්තා. මෙවර ඡන්දයට යොමු වුණේ එම තීරණ ගැනීමෙන් පසුවයි. එහි යහපත් ප්‍රතිඵල දැනටමත් දැකගත හැකියි.

” අපි හදන අලුත් රට පිරිසිදු පාලනයක් ගෙන යන රටක්. ශීලාචාර ආණ්ඩුවක් තිබෙන රටක්. නීතිය කාටත් එක සමාන රටක්. සම්මුතියෙන් වැඩකරන රටක්. එකමුතුවෙන් ඉදිරියට යන රටක්. අපි හදන අලුත් රට කාටත් රැකියා ආදායම් මාර්ගය තිබෙන රටක් බවද කිව යුතුයි.

මෙය ජනතාවගේ ඡන්දයක්. ඒ නිසා කවුද තමන්ට වුවමනා කියලා ජනතාව තීරණය කළ යුතුයි. අපි ඉදිරිපත් වී සිටින්නේ මාස 60 කින් අලුත් රටක් ගොඩනැගීමටයි. අපි හදන අලුත් රට පිරිසිදු පාලනයක් ගෙන යන රටක්. ශීලාචාර ආණ්ඩුවක් තිබෙන රටක්. නීතිය කාටත් එක සමාන රටක්. සම්මුතියෙන් වැඩකරන රටක්. එකමුතුවෙන් ඉදිරියට යන රටක්. අපි හදන අලුත් රට කාටත් රැකියා ආදායම් මාර්ගය තිබෙන රටක් බවද කිව යුතුයි.

කාගෙත් අතමිට සරු රටක්. කාටත් දියුණුවෙමින් එහි මුදුන්පෙත්තට යන්න පුළුවන් රටක්. අපි හදන අලුත්රට මහ ‍පොළොව, ගහකොළ, ගංගා, ඇළ, දොළ ආරක්ෂා කරන රටක්. නිදහසේ හිතන්න ඉඩ තිබෙන නිදහසේ ලියන්න ඉඩ තිබෙන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ තිබෙන රටක්. ලොකු ‍පොඩි කාටත් අයිතියක් තිබෙන රටක් අපි ගොඩනගනවා.

ඒ වගේම ලොකු ‍පොඩි කාගේත් ආගමට දහමට නිදහස තිබෙන රටක්. කාන්තාවන්ට, ළමයින්ට රැකවරණය තිබෙන රටක්. තරුණ තරුණියන්ට හෙටක් ගැන හිතන්න පුළුවන් රටක්. අප හදන අලුත් රට එක පවුලක් වෙනුවට හැම පවුලක්ම එක වගේ බලාගන්නා රටක්. ඒ නිසා අපි මේ අලුත් රට මාස 60 කින් බිහිකරනවා. ඒ වැඩකටයුත්තට අවසර දෙන ලෙස ඉල්ලා සිටින බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා
අපි ලබන අගෝස්තු 17 වැනි දා සිට 2020 දක්වා වූ ස්ථාවර පාලනයකට පියවර තබනවා. මේ පාර්ලිමේන්තුව පෙර පරිදි විසුරුවා හරින්න බැහැ. ජනාධිපතිතුමාටත්, පාර්ලිමේන්තුවටත් තමන්ගේ අභිමතය පරිදි විසුරුවන්න බැහැ. ඒ නිසා 2020 දක්වා ස්ථාවරත්වයක් පාර්ලිමේන්තුවටත්, ජනාධිපතිතුමාටත් තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කළ බලවේග සියල්ල එක්සත් ජාතික පෙරමුණ ලෙස එකට සිටිනවා. ඒ නිසා ජනාධිපතිතුමාගේ ඡායාරූපය සොරා ගත්තත් එතුමාගේ හදවතත්, ඒ ජනවරමත් තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ බව කිව යුතුයි.

අනාගතය වෙනුවෙන් කිසිවක් නිර්මාණය කරන්නට නොහැකි එක්සත් ජනතා නිදහස් සන්ධානය අද ජනතාව බියවද්දමින් සිටිනවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබෙන බවත්, කොටි සංවිධානය යළි නැගී සිටින බවටත් පළමු බියවැද්දීම සිදු කරනවා. කොටි සංවිධානය ගැන අපේ කිසිදු දෙබිඩි ප්‍රතිපත්තියක් නැහැ. අපි ඒක ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනවා.

ආණ්ඩුවේ උපකාර ලැබූ පාතාල කල්ලි, පැහැරගැනීම් කල්ලි, සුදු වෑන් කල්ලි විසින් ජනතාව තුළ විශාල බියක්, සැකයක් ඇතිකර තිබුණා. දේශපාලන අනුග්‍රහයෙන් කප්පම් කල්ලි පැතිරී තිබුණා. ජනවාරි 8න් පසුව අතුරුදන්වීම්, ඝාතන, පැහැරගැනීම් හා සුදු වෑන් සංස්කෘතිය ගැන වාර්තා වී නැහැ. කවුද වගකිවයුතු කියලා එතැනින්ම පැහැදිලි වෙනවා. දකුණේ බිය සැක නැති සමාජයක් දැන් බිහිවෙලා තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ඇමැති ධුරය දරන ලද අඳුරු යුගයට යාමට යළිත් මේ රටේ ඉඩක් නැහැ. ජනතාව යළිත් දේශපාලන කල්ලිවලට, පාතාල කල්ලිවලට, නිල් බළකායේ ත්‍රස්තවාදයට නතුවෙන්න අවශ්‍ය නැහැ.

මතෛක් අබිරහස් ලෙස තිබුණු තාජුඩීන්, එක්නැලිගොඩ ඝාතන දැන් හෙළිදරව් වී තිබෙනවා. ඒ පිටුපස සිටි ඝාතන කල්ලි කවුද කියලා ජනතාව උසාවි මාර්ගයෙන් දැනගන්නවා. එවිට මල් වට්ටි අරගෙන, පන්සල් ගානේ ගිය සැදැහැවත් බෞද්ධයාගේ දරුවන් වඩාගත් සෙනෙහෙවන්ත පියාගේ පාලනයේ දෙබිඩි චරිතය හඳුනා ගන්න ජනතාවට ලැබෙනවා. ඒ උසාවි තීන්දු එනතුරු අගෝස්තු 17 වැනි දා හෘද සාක්ෂියේ තීන්දුව ලබාදෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එක්සත් ජාතික පෙරමුණ රටේ ඒකීයභාවය රකින බව ප්‍රකාශ කොට තිබෙනවා. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒක ප්‍රකාශ කළා. ඒකීය භාවය වෙනස් කරන්න නම් 2/3 බලයකින් මෙන්ම ජනමත විචාරණයකින් ද එය සම්මත විය යුතුයි. ඒ නිසා ඒකීයභාවය නැති කරන බවට සන්ධානය කරන බියවැද්දීම අමූලික බොරුවක් බව කිව යුතුයි.

වත්මන් ආණ්ඩුවේ යහපාලනය නොවන්නට අපේ රට ජාත්‍යන්තර කොටුවීමකට ලක් වෙනවා. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන බවට සන්ධානය කරන ඝෝෂාවත් විහිළු සහගතයි. මේ රටේ රාජ්‍ය ආයතන සියල්ල පාඩු ලබන තත්ත්වයට බංකොලොත් කළේ රාජපක්ෂ පාලනයයි. ලාභ ලැබූ ලංගම, වරාය, ගුවන් සේවාව පාඩු ලබන තත්ත්වයට පත් කළා.

ගුවන් සේවාවේ වාර්ෂික පාඩුව සෞඛ්‍යයට හා අධ්‍යාපනයට වියදම් කරන මුදලට සමානයි. තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ලංකා බැංකුව හා මහජන බැංකුව සමග ණය උගුලක සිර කළා. අපි ඒ සියල්ල ගොඩගැනීම සඳහා වාණිජ සැලසුම් සහිතව ක්‍රියා කරනවා. ඒ වගේම මේවා විනාශ කළ අයට පළායන්නට දෙන්නේ නැහැ. නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

මේ රටට ඉන්ධන ආනයනයට කොන්ත්‍රාත් 5ක් තිබූ අතර ඉන් 3ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දී තිබුණා. අපි ඒවා ඉවත් කොට ටෙන්ඩර් කළ පසු එක් ටෙන්ඩරයකින් මිලියන 500 බැගින් ලාභ ලැබුණා. ගල් අඟුරු 2009 සිට ටෙන්ඩර්වලින් තොරව ආනයනය කළා. ටොන් 1 ක් ඩොලර් 143 ටත් ගෙනාවා. අපි එම ටෙන්ඩරය ඩොලර් 68 ගණනේ ලබා දුන්නා.

ටෙන්ඩර් පටිපාටියෙන් තොරව භාණ්ඩ ගෙන්වීම නිසා මේ රටේ ජනතාවට ඊට කප්පම් ගෙවීමට සිදු වුණා.

ඩොලර් බිලියන 66 කට ඇස්තමේන්තු කළ කඩවත – කෙරවලපිටිය මාර්ගය ඩොලර් මිලියන 43 කට අපි කරනවා. මාතර – කතරගම මාර්ගය ඩොලර් බිලියන 274කට ඇස්තමේන්තු කොට තිබූ අතර එය 134 කට අඩු කළා.

අපි මේ රට ආහාර, ඖෂධ හා ඉන්ධනවලින් ස්වයං‍පෝෂිත කරනවා. ඔක්තෝබර් මාසයේදී ටෙන්ඩර් කැඳවා මන්නාරමේ තෙල් කැණීම් අරඹනවා. එවැනි විශ්වාසයක් සහිතව ලබන 17 වැනිදා ඡන්දය එක් පවුලක් රජ කරනවාද නැත්නම් පවුල් ලක්ෂ 55 ක් රජ කරනවාද කියන ජනමත විචාරණය ජනතාව විසින් සිදු කළ යුතුයි.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා
එක්සත් ජාතික පෙරමුණ පහසු ජයග්‍රහණක් කරා ගමන් කරනවා. මහින්ද සුළඟක් හමනවා කිව්වත් ඒ සුළඟ අද නැහැ. අද මහින්ද රාජපක්ෂගේ ඡායරූප නැහැ. ඔහු විකුණන්න බැහැ. දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා විකුණන්න හදනවා. මහින්ද යුගය වෙනවට මෛත්‍රී යුගයකට යනවා කියලා දැන්වීම් දමනවා.

එතනෝල්කරුවන්ට, පගාකරුවන්ට, කුඩුකාරයන්ට, මෛත්‍රී යුගය ඉදිරියට ගෙනයන්න බැහැ. ජනවාරි 8 වැනිදා ජයග්‍රහණය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඔහුගේ කතාවේ පැහැදිලි කළා.

තජුර්ඩීන් ඝාතනයට ජනාධිපති ආරක්ෂක සේවයේ තිදෙනකු අත්අඩංගුවට ගත්තා. තාජුර්ඩීන් ඝාතනයට ඔවුන්ට තිබෙණ වුවමනාව කුමක්ද? එක්නැලිගොඩ ඝාතනයට හමුදා භටයකු සහ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රවි කරුණානායකට වෙඩි තැබිම පාතාලයට භාර කරන්න උත්සාහ කළා. ඒකට සම්බන්ධ වාහනය මහින්ද රාජපක්ෂගේ දෙහිවල සිටින චඃගෝලයකුගේ නිවසේ තිබි සොයා ගත්තා.

රාඩා ආයතනය ඔස්සේ මිලියන 150ක් රජයේ වාහන 72ක් ලබාදී තිබෙනවා. 2007 වනතුරු කොටින්ට මුදල් දී තිබෙනවා. ඒවා ඔප්පු වුණෙත් මහින්ද රාජපක්ෂට අගමැතිකම නොව පුරවැසිකමත් නැති වෙනවා. ඒවාගෙන් බේරීමට මහින්ද රාජපක්ෂ නැවත බලය අල්ලන්න හදනවා.

අද සන්ධානයේ දේශපාලනය බංකොළොත් වෙලා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දන්සල් සීට්ටුවක් වගෙයි. අවුරුදු 10ක් තිස්සේ බැරි වුණ දේවල් යළි දෙන්න හදනවා.

වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග මහතා
මේ රටේ පිරිසිදු ජනාධිපතිවරයකු පත් කරන්න ජනවාරි 8 පුළුවන් වුණා. මේ 17 වැනිදා පිරිසිදු කණ්ඩායමක් සමග පාර්ලිමේන්තුවක් හදනවා. මේ දේශපාලන සංස්කෘතියම වෙනස් කළ යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතා දූෂණ අපරාධකරුවන් ඉවත් කරන්නේ නැහැ.
අපි ලබන ජයග්‍රහණය ජනවාරි 8 වැනිදා ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමටයි. 2/3 බලයක් ලබාගෙන රටට වැඩක් නොකොට තමන්ගේ කාලය දිගු කිරීමට පමණක් රාජපක්ෂ මහතා ක්‍රියා කළා.

මේ රටේ යුද්ධයක් ඇති වෙන්නට රට බෙදන්නට ඉඩ දෙන්නේ නැහැ. ජාතිවාදය අවුස්සන දේශපාලනය අපි නැවත්විය යුතුයි. ඒ සඳහා අපි සියලු දෙනාම අත්වැල් බැඳ ගන්නවා.

එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ප්‍ර – උතුරට ෆෙඩරල් විසඳුමක් ලබාදීමට සූදානමක් තිබේද?
පි – 2005 ජනාධිපතිවරණය අවස්ථාවේ මාව ජනාධිපති කරනවා කියලත් අත්සන් කළේ නැතුව දැන් මොනවද අත්සන් කරන්නේ. අපි ලබා දෙන්නේ ෆෙඩරල් විසඳුමක් නොවෙයි. ඒත් අපි බලය දෙනවා. ගම දක්වා බලය බෙදනවා. ඒ බලය බෙදන්නේ දේශපාලනඥයින්ට නොවේ. ගමේ ‍පොදු සංවිධානවලට සහ ආගමික නායකයින්ටයි. ‍පොකුරු ගම්මාන 2500ක් හදනවා. ග්‍රාම රාජ්‍යයට සමාන කමිටුවක් පත් කර ඒ සඳහා බලය බෙදනවා.

ප්‍ර – එජාප රජය රාජ්‍ය සේවය කප්පාදු කරනවාද?
පි – රාජ්‍ය සේවය කප්පාදු කරනවා නම් රුපියල් 10000කින් පඩි වැඩි කරන්නේ නැහැ.

ප්‍ර – මී ළඟට බිහි කරන්නේ ජාතික ආණ්ඩුවක්?
පි – පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ඇති කරනවා. ඇමැතිකම් නොගත්තත් මේ අවුරුදු 5 තුළ කාරක සභා ක්‍රමය ක්‍රියාත්මක කළොත් ඇමැතිකමට වඩා කාරක සභා සභාපතිකම බලවත් විය හැකියි. ඇමෙරිකාව, ජර්මනිය වගේ රටවල ඒක සිදු වෙලා තිබෙනවා. මේ පාර්ලිමේන්තු ක්‍රමය යටතේ දක්ෂ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට විශේෂ තැනක් හිමි වෙනවා.

ප්‍ර – ඔබ ‍ජ්‍යොතිෂය විශ්වාස කරනවාද?
පි – මම ‍ජ්‍යොතිෂය දෙස බලා ඡන්දය පවත්වන වෙලාව තීරණය කරන්නේ නැහැ. ඒක කරන්නේ මැතිවරණ කොමසාරිස් විසිනුයි. එතුමා කියන දෙයක් පිළිගන්නවා.

අපට ‍ජ්‍යොතිෂයට වහල් වෙන්න බැහැ. බුදු හාමුදුරුවො වහල් වුණේ නැත්නම් මම කොහොමද වහල් වෙන්නේ? ඒක හරියට කරනව නම් පිටරට වගේ සල්ලි හම්බ කරන්න පුළුවන් හොද මාර්ගයක්, චෙන්නායිවල ඩොලර් 200ක් අය කරනවා.

ප්‍ර – විදේශවල සිටින අයට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙනවාද?
පි – මේ රටේ ව්‍යවස්ථාව අනුව මේ රටේ ඉන්න අයට ඡන්ද අයිතිය තිබෙනවා. ශ්‍රී ලංකාවට එන්නේ නැත්නම් ඡන්දය දෙන්න බැහැ. ව්‍යවස්ථාව වෙනස් කළේ නැත්නම් ඡන්දය දෙන්න බැහැ.

ප්‍ර – ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කරනවාද?
පි – ඒක දැන් කරන්න බැහැ. එතකොට කතා කරමු. ඡන්දය දෙන්න ඕන නම් තමන්ගේ රටට එන්න ඕන.

ප්‍ර – සන්ධානයේ ඝාතන ගැන කතා කරන ඔබට බටලන්ද ගැනත් චෝදනාවක් සන්ධානය විසින් නගනවා නේද?
පි – 88-89න් පසු ඡන්ද ගණනාවක් පවත්වා අවසානයි. අවුරුදු 20ක් බලයේ සිටි අයට ඒ ගැන හොයන්න තිබුණා. ඒත් ජනතාව අහනවා මාධ්‍යයෙන් පරණ ප්‍රශ්න අහන්නේ ඇයි කියලා.

ඒ අය සන්ධානයේ ඒවා අහන්න බය ඇයි කියලා අහනවා. බටලන්ද ‍නෙවෙයි, විජේදාස ලියනාරච්චි මරන්න ඔත්තු දුන්නේ කවුද? ඒක සොයා ගන්න රන්ජන් විජේරත්නට ලැයිස්තු දුන්නේ කවුද? මම රන්ජන් විජේරත්නට ලැයිස්තු දුන්නේ නැහැ. රන්ජන් විජේරත්න ඒ ගැන පාර්ලිමේන්තුවේදී කිව්වා. යම්කිසි මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී රන්ජන් විජේරත්න ඝාතනය කරනවා නේද කියලා විමසුවාම ඔබතුමා නේද ලැයිස්තු දුන්නේ කියලා උත්තර දුන්නා. ඒවා හැන්සාඩ් වාර්තාවල තියෙනවා. ඔය විදියට ගියොත් විජයබා කොල්ලය කළේ අපි කියලත් චෝදනා කරාවි.

මේ අවස්ථාවට රාජ්‍ය පරිපාලන පළාත් සභා, පළාත්පාලන, ප්‍රජාතන්ත්‍රීය පාලනය හා බුද්ධ ශාසන අමාත්‍ය දේශබන්දු කරු ජයසූරිය, නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, එජාප සභාපති මලික් සමරවික්‍රම යන මහත්වරුද සහභාගි වූහ.

දෙනගම ධම්මික රණවීර

මාධ්‍ය හමුව සඳහා එක්ව සිටි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් | ඡායාරූප - දමිත් වික්‍රමසිංහ
මාධ්‍ය හමුව සඳහා එක්ව සිටි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් | ඡායාරූප – දමිත් වික්‍රමසිංහ