යල් පැනපු හම්පඩ ගතානුගතික දේශපාලන ව්‍යාපාර ලෝකය අලුතින් දකින්නේ නෑ. මේ රටේ තරුණ පරම්පරාව වෙනුවෙන් ඔවුන්ට අලුත් රටක් හදන්න බෑ. එවැනි දේශපාලන ව්‍යාපාරවලට අලුත් ගමනක් ගෙනියන්න බෑ.

දැන් අපේ රට අලුත් ගමනකට ගෙනියන්න නම් අලුත් දේශපාලන ව්‍යාපාරයකට බලය ලබාදීමට කටයුතු කළ යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. මොනරාගල නගරයේ පසුගිය 7 වැනිදා පැවැති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය කියන්නේ සිරිකොත. ඒ එක්සත් ජාතික පක්ෂයේ බෝඩ් එක අරගෙන ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ගාව හයි කරමු. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය බෝඩ් එක එක්සත් ජතික පක්ෂයේ හයි කරමු. ශ්‍රී ල.නි.ප.යේ ඇතුළේ ඉන්නේ කවුද? කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටියා නම් ධර්මදාස බණ්ඩා, ගාමිණී ලොකුගේ, බඩුටික එතනනේ. බෝඩ් එක හරියන්නේ නැද්ද එතනට. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෝර්ඩ් එක එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයේ හයි කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයෙන් එළියට එන්නේ කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බි. නාවින්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රිකුණාමල නායක එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළොන්න ආසන සංවිධායකවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල සංවිධායකවරයා, හරිද? ඉතින් මේ පක්ෂ දෙක දෙකක්ද? මේ දෙක පෙනුමෙන්වත්, බෝඩ් එකෙන්වත් දෙකක් නමෛයි. ඒ නිසා අපි තමුන්නාන්සේලාට කියන්නේ අපි මේ රට හදන්න ඕන. මේ රට හදන්න අපි අලුත් ගමනකට අවතීර්ණ වෙන්න ඕන කාලය ඇවිල්ලා.

“මේ රට හදන්න අපි අලුත් ගමනකට අවතීර්ණ වෙන්න ඕන කාලය ඇවිල්ලා. දෙඤ්ඤාන් දෙඤ්ඤාන් දෙඤ්ඤාන් ඒවා නමෛයි මේ. අපි හැදුව හෘද සාක්ෂියේ සම්මුතිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තමයි මේ රට හදන්න ඕන.”

ඉතින් ජනතා විමුක්ති පෙරමුණේ අපි හැදුවා මේ රට හදන්න හෘදසාක්ෂියේ සම්මුතිය කියලා වැඩපිළිවෙළක්. මේ තියෙන්නේ හතේ හතක් නම් නමෛයි. අපි මේකේ නීති පිළිබඳ පරිච්ජේදය ලියුවේ නීතිඥවරු, ඒ පිළිබඳ අත්දැකීම් තියෙන අය එකතු කරගෙන, මේකේ අධ්‍යාපනය පිළිබඳ පරිච්ජේදය ලිව්වේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, ගුරුවරු, ගුරු වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරලා. මේකේ කෘෂිකර්මය පිළිබඳ පරිච්ජේදය ලිව්වේ කෘෂි විශේෂඥයින්. ගොවි සමිති එක්ක සාකච්ඡා කරලා.

මේකේ කලා සාහිත්‍යය පිළිබඳ පරිච්ජේදය ලිව්වේ අප රටේ කලාකරුවන් හා සාහිත්‍යධරයන් එක්ක සාකච්ඡා කරලා. නිකන් මේ දෙඤ්ඤාන් දෙඤ්ඤාන් දෙඤ්ඤාන් ඒවා නමෛයි මේවා. මේක වැඩපිළිවෙළක්. මෙන්න මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා තමයි මේ රට හදන්න ඕන. අපි දරුවන්ට අධ්‍යාපනය දෙන්න ඕන. හැබැයි අධ්‍යාපනය දෙන්න බෑ ආර්ථිකය හදන්නේ නැතුව.

අපේ ඉස්පිරිතාලයට බෙහෙත් ඕන. අපේ ඉස්පිරිතාලෙට බෙහෙත් දෙන්න බෑ. ආර්ථිකය හදන්නේ නැතිව. අපට ඉන්න නිවහනක් ඕන. අපිට ගෙයක් දෙන්න බෑ ආර්ථිකය හදන්නේ නැතිව, අපේ දරුවන්ට ආදායමක් සහිත රැකියාවක් ඕනේ, රැකියාවක් දෙන්න බෑ ආර්ථිකය හදන්නේ නැතිව, එහෙමනම් මේ ඔක්කොටම කලින් අපි මොකද කරන්න ඕන. ආර්ථිකය හදන්න ඕන. ආර්ථිකය මොකක්ද වෙලා තියෙන්නේ. ලෝකය දැන් එකතු වෙලා තිබෙන්නේ. තවදුරටත් ලෝකය හදමු. ලෝකය බෙදමු, එව්වා කරන්න බෑ ලෝකයට දැන් එකට එකතුවෙලා තියෙන්නේ. තාක්ෂණයෙන් එකට එකතුවෙලා.

වෙළෙඳ‍පොළෙන් එකට එකතු වෙලා. චීනයේ නූල්, චීනයේ කපු, කොරියාවේ නූල් බවට පත්කරලා ලංකාවේ ඇඳුම් මහලා කොච්චරක් මේ මිනිස්සු අඳිනවාද? එතකොට මොකද වෙලා තියෙන්නේ කපු එක තැනක. නූල් තව තැනක, මහන්නේ තව තැනක, අදින්නේ තව තැනක, ඒකෙන් කියන්නේ මොකක්ද? ලෝකය දැන් එකතු වෙලා තිබෙන්නේ. ඒ නිසා ලෝකයෙන් අයින් වෙලා කිසිම රටකට ඉස්සරහට යන්න බෑ.

ඒ නිසා අපි අපේ රටේ ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරලා තිබෙන්නේ ලෝක ආර්ථිකයෙන් අපේ පංගුවක් අපට අයිති කරගන්න, 1978දී ලෝක ආර්ථිකයෙන් අපේ පංගුව දෙසීයෙන් එකයි. අද ආර්ථිකයෙන් අපේ පංගුව දෙදාහෙන් දෙකයි. මේ පාලකයෝ ලැජ්ජ වෙන්න ඕන අපේ රට ගෙනාපු තැනට. අපේ ආර්ථිකය වැට්ටුවා. ඒ නිසා අපි යම් භාණ්ඩ ටිකක් නිෂ්පාදනය කරන්න ඕන ලෝක වෙළෙඳ‍පොළ අත්කරගන්න.

ජනාධිපතිවරණය තිබ්බේ මොකටද, ජනාධිපති තෝරන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයද, මහින්ද මහත්තයද කියලානේ. අගමැති තෝරන්න නොවෙයිනේ. ඡන්දේ ඉවරවෙනකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිවෙලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිවෙලා. රවී කරුණානායක ඇමැතිවෙලා. පුෂ්පේ නියෝජ්‍ය ඇමැති වෙලා. මහින්ද මහත්තයා පරාද වෙනකොට සොයිසා ඇමැති වෙලා. අපි රනිල් මහත්තයාට ආණ්ඩුවක් හදන්න බලයක් දුන්නේ නෑ.

මද්දුම බණ්ඩාරට ඇමැතිකමක් ගන්න ඡන්දයක් දුන්නද නෑ. ජනවාරි අට ඡන්දේ තිබ්බේ ජනාධිපති තෝරන්න. ඉවරවෙනකොට මද්දුම බණ්ඩාර ඇමැති. හරි අමුතු ඡන්දයක්නේ. හැබැයි රනිල් මහත්තයාගේ ඒ අගමැතිකම වලංගුත් නෑ.
මද්දුමබණ්ඩාරගේ ඇමැතිකමත් වලංගු නෑ.ජනතාව ලබානොදුන් වරමකින් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් හැදුවා. ආණ්ඩුවක් හදලා ලංකාවේ විශාලතම වංචාව මහා බැංකු බැඳුම්කර වංචාව කළා. පාඩුව කීයද? කෝටි හාරදහස් දෙසීයයි.

අපේ ගම්වල අය මීට කලින් ඡන්දේ දුන්නේ කොහොමද? අපේ අත්තා අලියා. මුත්තා අලියා, අපේ තාත්තා අලියා, ඒක නිසා අපිත් දෙනවා කියලා දුන්නා. හරිද නැත්නම් අපේ මුත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ , අපේ අත්තත් ඒකේ, අපේ තාත්තත් ඒකේ. ඒක නිසා අපිත් දෙනවා කියලා දුන්නා. හරිද එහෙම ‍නෙවෙයිද. ඒක නිසා අපේ ගම්වල පුරුද්දක් තියෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට ඡන්දේ දෙන්න අපේ රටට මේ නස්පැත්තිය සිද්ධ වුණේ ඔන්න ඔය නිසයි.

ඡන්දේ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට දෙන්න ඕන දෙයක් ‍නෙවෙයි. එහෙනම් ඒ බලය 17 වෙනිදට දෙන්නේ කාටද, දෙන්න ඉන්නේ තුන්දෙනයි එක්කෙනෙක් මහින්ද මහත්තයගේ පෙරමුණ. අනෙක රනිල් මහත්තයාගේ පෙරමුණ, ඊළඟ එක ජනතා විමුක්ති පෙරමුණ. රටේ බලය කාටද දෙන්නේ ඒක ජනතාවට බාරයි. යැයි අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ජී. ඉන්දික – වැල්ලවාය/ නයන කුමාර මොනරාගල

pirisa