එක්සත් ජනතා නිදහස් සන්ධානයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට හැකි බැවින් කාගේවත් ඔඩොක්කුවකට වැටෙන්නට වුවමනා නැතැයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අද ටී.එන්.ඒ. සමග එක්වී ජාතික ආණ්ඩු පිහිටු වන්නට එජාපය කතා කරන්නේ මෙම මැතිවරණයේ පරාජය කලින්ම දැක ඇති නිසා බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පසුගියදා මිනුවන්ගොඩදී ඇලිස් පාර්ක් පිටියේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කෙරෙන ප්‍රධාන ජන රැලියට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කීය.

මා නැවත දේශපාලනයට ගෙන ඒමේ සටනේ ප්‍රධාන නියමුවෙක් තමයි ප්‍රසන්න රණතුංග මහතා. මේ වගේ ජන රැලි කිහිපයක් නිසා මා එන්න පමා වුණා. ඒත් ඔබ සියලු දෙනා ඉවසීමෙන් බලාගෙන හිටියා. අපට පක්ෂ ජනතාවට තියෙන ලොකුම ශක්තිය තමයි ඉවසීම. ඒ ඉවසීම නිසා තමයි මොන බලවේග ආවත් අපි පැහැදිලිව අඩියෙන් අඩිය ඉදිරියට ආවේ.

එදා ගෙදර ගියේ නැවත දේශපාලනයට එනවා කියලා හිතාගෙන ‍නෙවෙයි. ඒත් මහජනතාව වැල නොකැඩී මා සොයාගෙන ගමේ ආවා. ජනාධිපතිවරණයෙන් මාසෙකට පස්සේ නුගේගොඩ රැලිය සංවිධානය වෙද්දී මේ මහ ඇමැතිවරයා එහි පෙරමුණ ගත්තා.

අද එය රට වටේම ගිහින් මැද මුලන දක්වා එද්දී මට ඒ ආරාධනා පිළිනොගෙන ඉන්න බැරි වුණා.

පසුගිය කා‍ලේ මහ ‍පොරොන්දු පත්‍රිකාවක් ආවා දින 100 කියලා. එහි ජනතා ‍පොරොන්දුවක් ඉටු කරලා තියෙනවාද? ඉල්ලුවේ නැතිවත් කොත්තමල්ලි අඩු කරන එක නම් කළා. හැබැයි රුපිය‍ලේ අගය වැටෙන කොට මොකද වුණේ. ආයෙමත් කොත්තමල්ලි මිල ඉහළ ගියා.

රුපියල් අසූවට පරිප්පු දෙනවා කිව්වා. ලාබෙට හාල් මැස්සො ටික, කරවල ටික දෙනවා කිව්වා. අද ජීවන වියදම අහස උසට නගිනවා. මේ අයට ඊට විසඳුමක් නැහැ. හැබැයි මේ දින සියය ඇතුළත පළිගැනීම නම් ඉතා හොඳින් කළා. අපට හොරා හොරා කිව්වා. අන්තිමට හොරා ‍පොලිස් සෙල්ලම කළා.

මූල්‍ය අපරාධ ඒකකය කියලා එකක් හැදුවා. ඒක පාලනය ක‍ලේ ‍පොලිස්පතිවරයා ‍නෙවෙයි රනිල් වික්‍රමසිංහයි නියෝග දෙන්නේ. අපේම අය විතරක් ‍නෙවෙයි, අපිට සම්බන්ධ බොහෝ අයවත් එම මූල්‍ය අපරාධ ඒකකයට කැඳෙව්වා. ප්‍රසන්න රණතුංගයි, ඔහුගේ බිරිඳයි එයට කැඳවන්න තරම් මේ පාලනය කෲර වුණා. මේක තමයි යහපාලනය.

ගංවතුරෙන් අනාථ වුණු අයට සතොසෙන් ණයට බඩු අරගෙන බෙදලා පස්සේ සල්ලි දුන්නම ජොන්ස්ටන් ඇමැතිතුමාව හිරේ දැම්මා. ඒ විතරක්ද සිවුරු, සිල්රෙදි, අටපිරිකර බෙදුවා කියලා කීදෙනෙක්ගෙන් ප්‍රශ්න කළාද? මොවුන් ළඟ මඩ ගහන එක ඇරුණහම වෙන දෙයක් නැහැ. ඒ මඩවල ප්‍රතිඵලය හැටියට තමයි මේ දහස් ගණන් බුද්ධිමත් ජනතාව අද මිනුවන්ගෙඩට රැස්වෙලා ඉන්නේ.

මේ අය එකකින් දෙකකින් නැවතුණේ නැහැ. හයිවේ එක නතර කරලා රටේ මුළු සංවර්ධනයම නතර කළා. ඉන් සිදුවුණේ ලක්ෂ පහළොවකට විතර රැකියා අහිමි වීමයි. ජනතාවට ගල් කොරියේ රැකියාව නැතිවුණා. වැලි ඇදපු කෙනාගේ මේසන් බාස්ගේ වගේම ඉංජිනේරුවාගේ රැකියාවත් අහිමි වුණා.

අපි එකක් කියනවා. අගෝස්තු 18න් පස්සේ මේ නැතිවුණු සංවර්ධනය නැවත රට තුළ ඇති කරනවා.

රාජ්‍ය සේවකයින්ගේ මූලික අවම වැටුප රුපියල් විසිපන්දාහ ගානේ වැඩි කරනවා. පෞද්ගලික අංශයට රුපියල් තුන්දාහකින් පඩි වැඩි කරන්නට අවශ්‍ය පියවර ගන්නවා. රාජ්‍ය සේවකයාගේ එල්ලපු දස දහස ඔහුගේ වැටුපට එකතු කරනවා.

වැරදිකරපු දේශපාලනඥයන් හිරේ යැව්වට අපට ප්‍රශ්නයක් නැහැ. ඒත් රාජ්‍ය සේවකයාගේ, රියැදුරාගේ, කම්කරුවාගේ සිට අගමැති ‍ලේකම් ජනාධිපති ‍ලේකම් දක්වා මේ අය මූල්‍ය අපරාධ ඒකකයට ගිහින් වද දුන්නා.

මොන චෝදනා කළත්, රාජ්‍ය සේවකයා දේශපාලන වුවමනා මත ප්‍රශ්න කරන්න ඉඩදිය යුතු නෑ.

වතුර ගන්න ළිඳක් කපා ගන්න බැහැ. ඒකටත් ඉදිරියේද මුදල් ගෙවන්න වෙනවා. එයට කැබිනට් පත්‍රිකාවක් ගෙනැත් තියෙන්නේ. මීට පස්සේ ඇළක දොළක නාගන්නත් නැහැ. කුඹුරකට වතුර ටික හරවගන්න බැරිවෙනවා. එහෙම ගන්නවනම් බද්දක් ගෙවලා අවසර අරගෙන තමයි එය කළ යුත්තේ. රට තුළ ඇතිවෙන්න යන තත්ත්වය මෙයයි.

ඉදිරියේදී තරුණ විරැකියාවට විසඳුම් වගේම, රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න අලුතින් හැට දහසක් දෙනා රැකියාවලට බඳවා ගන්නවා. පාසල් යන දරුවාට සාමාන්‍ය පෙළ සමත් නැත්නම් රුපියල් පනස් දහසක් දීලා කාර්මික විද්‍යාලයට ගිහින් වෘත්තීයක් ඉගෙන ගන්න අවස්ථාව හදලා දෙනවා.

අද එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ හඬ වෙනස් කරලා. ඒ අය දැන් කියන්නේ අපි බලයට ඇවිත් ජාතික රජයක් පිහිටුවනවා කියලයි. කාත් එක්කද මේ රජය පිහිටුවන්න යන්නේ? දෙමළ ජාතික සන්ධානය එක්ක. රතු මල්ලිලාත් මේකට එනවා. මේ දෙගොල්ලෝ එක්ක තමයි ඔය රජය හදන්නේ. මම ඉතා පැහැදිලිව කියනවා අපිට ඔය හවුල් ඕන නෑ.අපි 117ක් දිනනවා. අපිට තනියම ආණ්ඩුවක් පිහිටුවිය හැකියි. එය ඉතා පැහැදිලියි.

අපට කාගේවත් ඔඩොක්කුවට වැටෙන්න ඕන නැහැ. මේක බලෙන් උදුරගත්තු ආණ්ඩුවක්. සන්ධානයේ 136ක් හිටිද්දී අගමැතිකම උදුරගත්තා. වික්‍රමසිංහ මහතාට අයිති නැති අගමැතිකමක් අරගෙන අපේ පාක්ෂිකයන්ට පහර පිට පහර දුන්නු අගමැතිකම, අපි 17 වැනිදාට පැහැදිලි ලෙසම වෙනස් කරනවා.

අද නොයෙක් නොයෙක් පිල්ලි එනවා බණ්ඩාරනායක මහත්තයා හෝ මැතිනිය හිටියානම් අනේ අ‍පොයි කියාවි. දුක්වේවි, මට පුදුමයි. විජය කුමාරතුංග ඝාතනය කළ අය සමග මේ අය අත්වැල් බැඳගන්න හැටි දැක්කම.

මට මඩ ගැහුවට මම කාටවත් මඩ ගහන්නේ නැහැ. 1931 සිට අපේ පරම්පරා හතරක් දේශපාලනය කළා. පාර්ලිමේන්තුවට ආවා. ඒ විදිහට දේශපාලනය කරන්න පුළුවන් වුණේ අපේ අත්වල ‍ලේ තැවරී නැති නිසයි. මඩ හෝ ජරාව මේ අත්වල තැවරී නැති බව මා මගේ ජනතාවට ඉතා පැහැදිලිවම කියනවා.

ගම්පහ දිස්ත්‍රික් එජනිස අපේක්ෂක ප්‍රසන්න රණතුංග මහතා
බොරුව වපුරලා මිත්‍යාව වපුරලා ජනතා මතවාද වෙනස් කරන්න රටක් වටින නායකයකුට විරුද්ධව මතවාදයක් ගොඩනගන්න එදා ඇතැමුන්ට පුළුවන් වුණා. සමහරු මුදල් අරගෙන විවිධ මතවාද ගෙනැත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න කටයුතු කළා. එදා එතුමා මැදමුලනට යද්දී තමයි ජනතාවට තේරුණේ මේ මොකක්ද සිද්ධ වුණේ කියලා.

සමහරු හිතුවේ නෑ මහින්ද රාජපක්ෂ මහතා නැවත ක්‍රියාකාරී දේශපාලනයට ඒවි කියලා. මහින්ද මහත්තයා මැදමුලනට යද්දී අපේම මැතිවරු කැබිනට් ඇමැතිවරු එක්වෙලා මෛත්‍රී මහත්තයා ළඟට ගියා. ඒත් සාමාන්‍ය ජනතාව හිටියේ මහින්ද මහත්තයා එක්කයි.

මැදමුලනට ගිය මහා ජන ගංගාව ඊට සාක්ෂි දරනවා. මේ රටේ කිසිම පරාජිත නායකයකුට අත් දකින්න නොලැබෙන දුර්ලභ සිදුවීමක් එය. ජනතාව ඒ විදිහට මැදමුලනට යද්දී විමල්, උදය, වාසු, දිනේෂ්, අපේ ඇමැතිතුමන්ලා ඒ ජනමතය ව්‍යාප්ත කරන්න කටයුතු කළා. මම මේ දේ දැක්කා. මේ රටේ කැමැත්ත තියෙන්නේ මහින්ද මහත්තයාට. ඒකයි අපේ මේ සටන පටන් ගත්තේ.

අපිට තනතුරු ‍නෙවෙයි ලොකු වුණේ. කොහොම වුණත් අපේ පක්ෂ නායකත්වයේ හිටපු අය මහින්දට ජනතාව ළංවෙන හැටි දැක්කේ නැහැ. ඒ එක්කයි මම නුගේගොඩ රැස්වීමට යන්න තීරණය කළේ. ඒ ගමනේදී මේ ජනතාව වගේම පළාත් සභා මන්ත්‍රීවරු මං එක්ක එක පෙළට හිටියා.

අපි නුගේගොඩින් අරඹපු මහින්ද සුළඟ රට පුරාම හඹාගෙන ගිහින් මහා දැවැන්ත ජනබලයක් බවට පත්වුණේ ඒ අනුවයි. මහින්දව මේ ඡන්දෙට ගෙන ආවේ පක්ෂ නායකයෝ ‍නෙවෙයි. මේ රටට ආදරේ කරන ජනතාවයි.

ජනතාව කිව්වේ ඔබතුමා බුලත් කොළෙන් බැරිනම් කැන්ද කොළෙන් හරි එන්න කියලා. නුගේගොඩට නොසිටි පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් මාතරට ගේන්නත්, මාතරට නොපැමිණි මැති ඇමැතිවරුන් අනුරාධපුරයට ගේන්නත් අපට පුළුවන් වුනේ ඒ මහින්ද සුළඟේ තරම නිසයි.

එදා අනුරාධපුරය වේදිකාවට 106 දෙනෙක් ආවා. ඔවුන් ඇවිත් කිව්වා. අපි ඉදිරි මැතිවරණයට මහින්දව ගේනවා. ඔහුව අගමැති කරලා තමයි නතර වෙන්නේ කියලා.
අපිව හිරගේක ‍නෙවෙයි හිරගෙවල් දාහක දැම්මත් අපි මහින්ද මහත්තයා අගමැති කරලා මිසක් ආපසු හැරෙන්නේ නැහැ.

අද රනිල් රට ගැන කතා කරනවා. එදා 89/91 කා‍ලේ බටලන්ද වධකාගාරේ නිල නිවසක තමයි ඔහු හිටියේ. අද රතු අලියෙක් වෙලා ඉන්න අනුර කුමාර දිසානායක මහත්තයාගේ නායකයෝ වගේම තරුණ කෙල්ලෝ කොල්ලෝ තමයි වැඩිම අඩම්තේට්ටම්වලට ලක්වුණේ. අද ඔවුන් එකම ගමනක් යන බව පේනවා.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ‍ලේකම් උදය ගම්මන්පිල මහතා
මං අද මිනුවන්ගොඩට පය තිබ්බේ ආඩම්බරයෙන්. ලංකාවේ තුන්වන නිදහස් සටනේ අභීත සෙන්පතියෙක් වන ප්‍රසන්න රණතුංග මහතාගේ නිජබිම මේ ප්‍රදේශය නිසයි.
මහින්ද සුළඟ ආරම්භ වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිටයි. මගේ ආදරණීය සටන් සගයන් වන විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන වගේම වාසුදේව නානායක්කාර යන විරුවන් එකතු වෙලා ජනතාවට කිව්වා ඔබත් ලක්ෂ 58න් කෙනෙක් නම් 18දා සවස නුගේගොඩට එන්න කියලා. ඒත් අපේ හඬට ලොකු ශක්තියක් තිබුණේ නෑ. ඒ ලක්ෂ 58 බහුතරය නිල්ට නිසා. ඒ හින්දම නිල් කටහඬකින් අපට මේ පණිවුඩය ජනතාවට දෙන්න ඕන වුණා.

ඒ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හඬ යටපත් කරලයි තිබුණේ. තනතුරු ගැන හිතන අය බොහෝම නිහඬවයි හිටියේ. බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය අලුයම හෙළන කෙළ පිඬක් වගේ අවදානම දාලා ප්‍රසන්න රණතුංග මැතිතුමා ඉදිරියට ඇවිත් කිව්වා. මගේ නිල්පාට හදවත කකියනවා. කවුරු එහි කවුරු එපා කිව්වත් මම යනවා. නුගේගොඩට ඔබත් එහි එන්න කියලා. පුස් වෙඩිල්ලක් වෙන්න තිබුණු අපේ ඒ සටනට පණ ලැබුණේ මේ නීල මහා යෝධයාගේ ප්‍රකාශය නිසයි.

මහ ඇමැතිකම, පක්ෂය වෙනුවෙන් රට වෙනුවෙන් අවදානමට ලක් කළ ප්‍රසන්න රණතුංග මහතාට යුතුකම් ඉටු කරන්න මේ ගම්පහ ජනතාවට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා.

අනුරාධපුරයට ගැලූ ජන සාගරය කිව්වේ අපි වෙනස රස බැලුවා. ඒ වෙනස තිත්තයි. ඒ වෙනස වෙනස් කරන්න කියලා තමයි අද මේ ජන සාගරය කියන්නේ.

මහින්ද මහත්තයා දිනුවත් අගමැතිකම දෙන්නේ නැතිලු. බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගත් පුද්ගලයා තමයි රටේ අගමැති වෙන්නේ. එහෙම නැතුව ඕන ඕන කෙනාට දෙන්න අගමැතිකම කාගේවත් බූදලයක් ‍නෙවෙයි.

අද දෙමළ ජාතික සන්ධානය ස්වයං නීර්ණ අයිතිය ඉල්ලනවා. අටුවා ටීකා ඕන නෑ. අද මව්බිම අනතුරේ කියා පැහැදිලියි.

දොන් ජුවන් ධර්මපාල සිංහාසනයේ වාඩි කරන් පෘතුගීසීන්, මේ රට පාලනය කළ කා‍ලේ විතරයි. ඒ නිසා අටුවා ටිකා ඕන නෑ. අද මව්බිම අනතුරේ කියන එක පැහැදිලියි. අපේ රට බේරගන්න පුළුවන් මහින්ද නම් යුග පුරුෂයාට පමණයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා
මිනුවන්ගොඩට රැස්වෙලා ඉන්න මේ විශාල ජනකාය දැක්කාම අගෝස්තු 17 දා ජය මිනුවන්ගොඩින් අනුමත වී ඇති බව පැහැදිලියි. මම රට පුරාම රැස්වීම්වලට යනවා. මේ එන ජන ගංගාව දැකලා අද කවුද කලබල වෙලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයයි.
අගමැතිකම මහින්දට දෙන එක රනිල් වික්‍රමසිංහ මහත්තයටවත් වෙන කෙනකුටවත් එය නතර කරන්න බෑ. ජාතික පක්ෂය දන්නවා ඔවුන්ට මේ මැතිවරණය ජයගන්න බෑ කියලා. ටීඑන්ඒ  එක් කරගෙන ජාතික ආණ්ඩු හදන්න කතා කරන්නේ එ්කයි.

මීට මාස හය හතකට කලින් එජාපයට ලයිට් බිල ගෙවන්න පුළුවන් වුණේ නැහැ. අද ඔවුන් කෝටි ගණනක් මේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැය කරනවා. ඒ නිකම්ම ‍නෙවෙයි. මේ හරහා උත්සාහ කරන්නේ ජනමතය වෙනස් කරන්නයි. මහින්ද මහත්තයා වෙනුවෙන් ඉන්න ලක්ෂ පනස් අට මේ වෙනකොට තවත් වැඩිවෙලා.

හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා
මහින්ද මහත්තයා මේ මැතිවරණයට එන්නේ රට යුද්ධයෙන් බේරාගත් නායකයා මෙන්ම රට සංවර්ධනයෙන් ඉදිරියට ගෙනා පුද්ගලයා හැටියටයි.

රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙන ‍පොරොන්දු සම්පූර්ණයෙන්ම හිස් ‍පොරොන්දු විතරයි. මේ රට ඇමෙරිකාවට විකුණන වැඩපිළිවෙළ තමයි ඔවුන්ගේ ‍පොරොන්දු යට හැංගිලා තියෙන්නේ. අද අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර අධිකාරියක් යටතට ගේන්න හදන්නේ. මේ හදන්නේ රාජ්‍ය සේවය දියකර හරින්නයි.

ප්‍රවීණ කලා ශිල්පි මධුමාධව අරවින්ද, හිටපු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් , ගම්පහ දිස්ත්‍රික් එජනිස අපේක්ෂක රුවන් රණතුංග, ගම්පහ දිස්ත්‍රික් එජනිස අපේක්ෂිකා  කෝකිලා ගුණවර්ධන යන මහත්ම මහත්මීහුද කතා කළහ.

pirisaඡායාරූප – වෙනුර චන්ද්‍රමාලිත