දෙමළ ජාතික සන්ධානයේ ෆෙඩරල් රාජ්‍ය ප්‍රතිපත්තිය සහ වත්මන් පාලනය අතර කවර ආකාරයේ ‍පොරොන්දු ඇද්දැයි තමන් නොදන්නා නමුත්, මේ රටට සිදුවන්නට යන නස්පැත්තිය පිළිබඳ විශාල කැක්කුමක් තමන්ට ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (03 දින) කොළඹ පැවිදි හඬ මහ සඟ සමුළුවට එක්වෙමින් පැවසීය.

පැවිදි හඬ ඇතුළු ජාතික සංවිධාන 64ක එකමුතුව සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පස් වැදෑරුම් සම්මුතියක්ද එහිදී ඇතිවූ අතර, හිටපු ජනාධිපතිවරයාට ආශිර්වාද කිරීම සහ රට හමුවේ ඇති අභියෝග පිළිබඳ භික්ෂූන් වහන්සේ හරහා ජනතාව දැනුම්වත් කිරීම උදෙසා එම සමුළුව කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණි.

එම අවස්ථාවට පැමිණ සිටි භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
මේ රටට ආදරය කරන සංවිධාන රාශියක් එකතු වෙලා මෙම තීරණාත්මක මැතිවරණයේදී අපත් සමග එක්වීම පිළිබඳ මා සතුටු වෙනවා. ඒ වගේම රටක් ගැන හිතන්නේ නැති පිටරටවල ඩොලර් වෙනුවෙන් වැඩ කරන සංවිධාන අපව පරාජය කරන්න කටයුතු කරද්දී, රටට ආදරය කරන මේ රටේ ජනතාවගේ සංවිධාන අප වටා රොක් වීම අපට ශක්තියක්.

ඔබට මතක ඇති මෙයට අවුරුදු 8කට කලින් මේ රටේ තිබුණු තත්ත්වය. රටේ ජනතාව තරුණයන් රණවිරුවන් මහා සංඝ රත්නය ඇතුළු පිරිස මේ රට නිදහස් කරගන්න කැපවූ ආකාරය මා ඔබට අමුතුවෙන් සිහිපත් කරන්නේ නැහැ. අපි රට භාරදෙද්දී, ජාතියට අහිමි වෙලා තිබුණු බිම් කොටස් නිදහස් කරගෙන උතුරු, නැගෙනහිර නිදහස් කරගෙන රටේ සාමයත් නිදහසත් ගොඩනගා, බියෙන් හා සැකෙන් තොරව ජීවත් වීමේ වාතාවරණය සමගින් මේ රට භාරදෙන්න හැකි වීම ගැන මා සතුටට පත් වෙනවා.
ඒ වගේම මේ රටේ ආර්ථිකය ගොඩනගලා, ජාතික ආදායම ඩොලර් බිලියන 25ක් වෙලා තිබුණු ආදායම තුන් ගුණයකින් වර්ධනය කරලා, විදුලිය 98කට දීලා පරිගණක සාක්ෂරතාව

3 සිට 45 දක්වා වර්ධනය කරලා මේ රට ජනතාවට වඩාත් සැපවත් ලෙස ජීවත් වෙන්න පුළුවන් රටක් විදිහට අපි ගොඩ නැගුවා. උතුරද, නැගෙනහිරද, දකුණද, බටහිරද කියලා වෙනසක් නැතුව මේ රටේ සියලුම ජාතීන් වෙනුවෙන්, සෑම පළාතක් වෙනුවෙන්ම අපේ යුතුකම ඉටු කළා. පාරවල්, ජලාශ මේ ආදී කුමන දෙයක් හෝ වේවා අපි ඒ සංවර්ධනය ඉතා පැහැදිලි ලෙස ජනතාවට ලබාදුන්නා.

අපට බියක් තිබුණා. හැබැයි මේ භික්ෂූන් වහන්සේලා ඒ බය අද නැති කළා. මේ රට අපිට නැති වෙයිද? නැවත වරක් ආපස්සට යයිද කියන බය අද රටේ ජනතාවට තිබෙනවා. ඉතා පැහැදිලි ලෙස එජාප අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ‍පොරොන්දු පත්‍රිකාවේ තියෙනවා ශ්‍රී ලංකාව අලුත් රටක් කරනවා කියලා.

එය බොහොම පැහැදිලියි. උතුරු, නැගෙනහිර නැති වුණහම, මේ සිතියම වෙනස් වෙයි. ඒ සිතියම වෙනස් වෙනකොට හාමුදුරුවනේ අපට ඉතිරි වෙන්නේ උතුරු, නැගෙනහිර නැති අලුත් රටක් තමයි. ඒක තමයි ඔහුගේ ‍පොරොන්දුව.

ඔහු ඒ ‍පොරොන්දුව ඒ ආකාරයෙන් ඉටු කරාවි. ඒ විතරක් ‍නෙවෙයි. රටේ ජාතික සමගිය ඇතිවෙමින් තිබූ යුගයක, දෙමළ ජාතික සන්ධානය විසින් ඔවුන්ගේ ඊළමේ පළමු පියවර වන ෆෙඩරල් රාජ්‍යයක් සඳහා යන ප්‍රතිපත්තිය සමග එකතු වෙන්න මේ අය මොන ආකාරයේ ‍පොරොන්දු අත්සන් කරලා තියෙනවාද කියලා මම දැන්නේ නැහැ.

ඒත් මේ රටට වෙන්න යන නස්පැත්තිය පිළිබඳව නම් අපට විශාල කැක්කුමක් තියෙනවා. අපට මේ රට අහිමි වුණොත් අපට යළි මේ රට භාරගන්න පුළුවන්ද?. මේ රට ගොඩ නගන්න පුළුවන්ද කියලා අපට කියන්න බැහැ. ඒ නිසා ඔබ සියලු දෙනා එක් වෙලා, ඒකීය රටක් ලෙස සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි රටක් ලෙස තමන්ගේ ගරුත්වය ආරක්ෂා කර ගනිමින් මේ රට ගොඩ නැංවිය යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් මේ කවර ජාතියකට අයත් වුවත්, ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය තහවුරු කර ගනිමින් රට තුළ ගරුත්වය ආරක්ෂා කර ගනිමින් ජීවත් වීමට ඇති අයිතිය සැමට තිබෙනවා. මේ අයිතිය රැකගන්න, එය රැකගෙන ඉදිරියට යන්න මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතුයි. අපට මොනවා කිව්වත්, අපි පැහැදිලිවම කියනවා මේ රට බෙදන්න අපි කිසිම දවසක ඉඩ තියන්නේ නැහැ.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
අද අපට නොයෙක් තහංචි ඇවිත් තියෙනවා. ඔය තහංචි බාධක මධ්‍යයේ මහා සංඝරත්නය මෙම ස්ථානයට කැඳවූයේ රටට පණිවුඩයක් ලබාදෙන්නයි. අද අපේ රට නතර වෙලා තියෙන්නේ කොතැනද? මේ රට යන්නේ කොහොමද කියලා අපට පේනවා. මේ රට ගොඩගත්ත අපි හැමෝටම නිදහසක් ලබාදුන්න ඒ ජන නායකයා එහෙමත් නැත්නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ රට නැවත භාරගන්න කියලා අද මේ රටේ ‍පොදු ජනතාව ජාති, ආගම් භේදයෙන් තොරව ආරාධනා කරනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ ඒ මහජනතාවගේ ආරාධනය අනුව නැවත වරක් මේ ප්‍රපාතය කරා ගමන් කරන රටට ශ්‍රී විභූතියක් අත් කර දෙන්න අපි එතුමාට ආරාධනා කරනවා.
මීට මාස කිහිපයකට කලින් කිව්වා තැටියක් රත් කරලා රොටියක් හැදුවා කියලා. අපි දන්නවා ඒ රොටිය එසේ මෙසේ රොටියක් ‍නෙවෙයි. ඇමෙරිකන් පිටිවලින් එය හැදුවේ. අද ඒ රොටිය වෙනුවට දේශීය පිටි අරගෙන එහෙම නම් කුරහන් පිටි අරගෙන මේ රට ඉදිරියට ගෙන යා හැකි රොටියක් හදලා. එය මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන්න. භික්ෂූන් වහන්සේලා හැටියට අපට රටට දෙන්න තියෙන පණිවුඩය ඒකයි. ඒ ඇරුණහම වෙන දෙන්න තරම් පණිවුඩයක් අපට නැහැ. මේ සඟ සමුළුව, තවත් ජාතික සංවිධාන හැට හතරක් සමග එකතු වෙලා තියෙන්නේ මේ වැටිලා තියෙන රට තවත් වැටෙන්න ඉඩ නොදී ගොඩ ගැනීමටයි.

අද සෞඛ්‍ය ක්‍ෂේත්‍රයත් මේ අය ඒකාධිකාරයක් බවට පත් කරන්න කටයුතු යොදන බව ආරංචියි. එහෙම කළොත් තේරේවි එහි තරම. රාජ්‍ය සේවකයෝ මෙය තේරුම් ගත යුතුයි. මහින්ද මහත්තයා මේ රටේ රාජ්‍ය සේවයට වරප්‍රසාදයක්, අයිතියක් දුන්න නම්, අද ඒ සියල්ල රනිල් මහත්තයා ගිලගන්න හදන්නේ. මේ නිසාම ඊට ඉඩ දෙනවද, එහෙම නැත්නම් ඊට එරෙහි වෙනවද?

මෙම උත්සවයට මැතිවරණ කොමසාරිස්තුමාගෙන් තහංචියක් ආවා ආගමික උත්සවයක් නිසා තියන්න එපා කියලා මම අපේ හිතවත් කොමසාරිස්තුමාට කියනවා ආගමික උත්සවයක් නම් ඊට පන්සල තියෙනවා. අද මේ රට ගොඩගන්න තියෙන අවස්ථාව ජනතාවට නැති කරන්න බැහැ. කවුරු මොනවා කිව්වත්, මම මගේ ලිපියේ දාලා නැහැ මෙය ආගමික උත්සවයක් කියලා. මෙය පැවිදි හඬ හා ජාතික එකමුතුව හැටියටයි කැඳෙව්වේ. මහා සංඝරත්නය හා දායකයින් හරහා මහින්ද මහත්තයා 17 වැනිදා දිනවන්න කියන පණිවුඩය දෙන්නයි අපට ඕන වුණේ. මේ පණිවුඩය ගමට අරගෙන යන්න භික්ෂූන් වහන්සේලා මගින් ගමට දෙන්නයි අපට ඕන.

අද හැමෝටම මහින්ද භීතිකාවක් තියෙනවා. රට ගැන හැඟීමක් තියෙන හැමදෙනාම මේ මොහොතේ කළ යුත්තේ මහින්ද අගමැති කිරීමයි. මහා සංඝරත්නය එකා මෙන් නැගී සිටියොත් එදා ජේ. ආර්. ජයවර්ධන මහත්තයා අටට බැස්සෙව්වා වගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හතරට බස්සන්න පුළුවන්. මම මේ මොහොතින් කියන්නේ අර රත්වෙච්ච රොටිය අද පිළුණු වෙලා ගඳ ගහනවා කියලයි.

ඊයේ පෙරේදා පාතාල කල්ලි දෙකක් මිනී මරාගත්තා. දැන් ඒකේ වගකීමත් මහින්ද මහත්තයා පිටින් දාන්න හදනවා. නමුත් අපි දන්නවා මෙහි පිටුපස ඉන්නේ කවුද කියලා. අපි හිරේ යන්න බය නෑ. ඇත්ත කියන්න බය නෑ. මේ රටට අනාගතයක් දෙන්න පුළුවන් මහින්ද මහත්තයට විතරයි. අපට අවශ්‍ය සිවුරයි පාත්‍රයයි විතරයි. මේ රට ගොඩගන්න අවශ්‍ය නිසයි අපි මේ විදිහට පෙරමුණ ගත්තේ.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
අපේ හාමුදුරුවනේ මේ රටේ තත්ත්වය මොකක්ද කියන එක ගැන මේ වෙනකොට ඔබ වහන්සේලා ඇතුළු බොහෝ දෙනෙක් දැනුවත්ව ඉන්නවා. ඒ වගේම ඔබ වහන්සේලාට වගකීමක් තියෙනවා. ඔබ වහන්සේලාට වාසගම් නැහැ. ඔබ වහන්සේලාට තියෙන්නේ ගමක නම විතරයි. ඒ හින්දම ගමක භාරකාරීත්වය හාමුදුරු නමකට තියෙනවා. ඔබ වහන්සේලාට ගෙයින් ගෙට ගිහින් කියන්න සිද්ධ වෙනවා මේ කාරණා ටික.

එහිදී කිව යුතුයි අපි දන්නවා ලංකාවේ එකසිය හැත්තෑනවයක් රජවරු හිටියා. ඒ එකම රජ කෙනෙක්වත් නොකරපු කාර්යයන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කළා. ලංකාවේ විධායක ජනාධිපතිවරු හිටියා. ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වගේම, ඩී. බි. විජේතුංග වගේම තවත් ජනාධිපතිවරු කිහිප දෙනෙක් හිටියා. මේ එකම ජනාධිපතිවරයෙක්වත් මේ රටේ වෙනත් කිසිදු ජන නායකයෙක්වත් ජාතිද්‍රෝහී, දේශද්‍රෝහී විදිහට පාර්ලිමේන්තුවටත් නොකියා, ජනතාවටත් නොකියා තමන්ගේ රටෙන් භාගයක් විරුද්ධවාදීන්ට ලියලා දුන්නේ නැහැ.

එහෙම නම් අපි අගමැති කරවන්න ඕන එහෙම කරපු පුද්ගලයෙක්ද? එහෙම නැත්නම් තිස් අවුරුදු යුද්ධයෙන් රට ගලවා ගත් පුද්ගලයාද? ඒ කාරණය ඔබ වහන්සේලා ගෙවල්වලට ගිහින් කියන්න.

අද එදාටත් වැඩිය ඊළාම් කොඩිය ඊළාම් රට ඇඳලා ඒ ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් වෙනවා. විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය පසුගියදා ජනමාධ්‍යවලට කියලා තියෙනවලු එජාප ආණ්ඩුවක් හදලා මාසයක් ඇතුළත යාපනේ සියලු ‍පොලිස් ස්ථාන ගලවා ඉවත් කරනවා කියලා. එහෙම නම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවොත් මොකක්ද සිද්ධ වෙන්නේ? මුළු යාපනේම ‍පොලිස් ස්ථාන ගලවා ඉවත් කරාවි. එහෙම නම් අපි කළ යුත්තේ මොකක්ද? මුළු රටම එක්සේසත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා රැක ගන්නවාද තිස් අවුරුද්දක් යුද්ධ කරලා අපි ලබාගත් ජයග්‍රහණ බන්දේසියක් උඩ තියලා පූජා කරලා එනවද කියලා මේ රටේ ජනතාවගෙන් අහන්න හාමුදුරුවනේ…

1815 මීට අවුරුදු දෙසීයකට පෙර තමන්ගේ රජුව අත්අඩංගුවට අරන් එක්නැලිගොඩ කියන අමාත්‍යවරයා, ඔහු ඒ කා‍ලේ රජුගේ සෞඛ්‍ය ඇමැතිවරයද කියන්න මං දන්නේ නැහැ. කෙහොම වුණත් ඔහු එදා කළ ද්‍රෝහී ක්‍රියාව වගේම පාවාදීමක් තමයි මේ රටේ නැවත වතාවක් සිද්ධ වුණේ.

එක්කෝ රට එක්කෝ පිටරට අද තියෙන්නේ එවැනි තත්ත්වයක්. එක්කෝ දේශය රකින්න වෙනවා. එහෙම නැත්නම් විදේශීය බලවේගවලට බිලිවෙන්න වෙනවා. මේ වෙලාවේ වැදගත් වෙන්නේ රනිල් ද, මහින්ද ද කියන කාරණය ‍නෙවෙයි. රට රැක ගන්නවාද රට පාවා දෙනවාද කියන කරුණයි.

යාපනය නාගවිහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක නවඳගල පදුමකීර්ති හිමි
මේ කතාව කළාට පසුව මට යළි යාපනයට යන්න පුළුවන් වේවිද දන්නේ නැහැ. ඒ කොහොම වුණත් මම බය නැතුව මෙතැනට ආවේ. අපි යාපනය ප්‍රදේශයේ ජීවත් වන භික්ෂූන් වහන්සේලා අවුරුදු එකොළහේ සිට අවුරුදු හතළිස් දෙකක් මම ජීවත් වෙන්නේ යාපනය ප්‍රදේශයේ. 1973 අවුරුද්දේ මම නාගදීප විහාරස්ථානයේදී පැවිදි වුණේ. ඒ කා‍ලේ ඉඳලා 1983 වෙනතුරු කිසිදු කරදරයක් තිබුණේ නැහැ.

ඒත් 1983න් පසු භයානක තත්ත්වයක් එම ප්‍රදේශවල ඇති වුණා. මේ වට මුහුණ දෙන්න පුළුවන් වුණ කොන්ද පණ තියෙන එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණයි. පසුගිය අවුරුදු 30ක කාලය ගත්තොත් කාටද පුළුවන් වුණේ මේ යුද්ධය නතර කරන්න. අපිට මතකයි අපි යාපනයට වෙලා ගත කරපු ජීවිතය. ඒ කා‍ලේ නාගදීප විහාරස්ථානයෙන් පිටට අපට යන්න පුළුවන් වුණේ නැහැ. ඒ විතරක් ‍නෙවෙයි ඒ විහාරයේ තාප්ප ඇතුළට වෙලා එක දිගට අවුරුදු හත, අටක් හිටියා. නාවික හමුදාවෙන් දෙන දානය වළඳලා. එහෙම ජීවත් වුණු යුගයක් අපට තිබුණා. අපේ ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් අපි ඒ විහාරස්ථාන රැකගෙන හිටියා.

යුද්ධය නතර වෙන්න කලින්, අර සාම කාලය කියලා තිබුණු කා‍ලේ සිදුවුණු දේවල් අපට මතකයි. ඊළමට තමයි ඒ කාලය බෙදලා තිබුණේ. එදා නාගදීප විහාරයට නාවික හමුදා පින්කමකට ධාතු කරඬුවක් වැඩම කරවදදී ඊටත් කොටි බදු අය කළා. සිවුරට බුදු පිළිමයට ‍පොතපතට පවා බදු ගෙවන්න වුණා. අද එහෙම තත්ත්වයක් නැහැ

ඒ කොහොම වුණත් මේ දින 100ට පස්සේ අපට ලැබුණු මේ වරම ඉවත දාන්න එපා. දැන් ඒ ප්‍රදේශවල ඇතිවන තත්ත්වය භයානකයි. යාපනයේ සිංහල ජනතාවට විවිධ අඩන්තේට්ටම් සිද්ධ වෙනවා. දැන් යාපනයේ මගේ විහාරස්ථානය ඉස්සරහ කුණු ගොඩ ගහලා එහි දැන් පාලකයෝ නැහැ. අපි කියන දේට වඩා වැඩි දෙයක් ඒ ප්‍රදේශවල සිද්ධ වෙනවා. ඔබ අගෝස්තු 17 වැනිදාට සිංහලයන් විදිහට තීරණයක් ගන්න කල්පනාවෙන් ඒ තීරණය ගන්න.

මෙම අවස්ථාවට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලත්තර සුමනජෝති හිමි, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, ආචාර්ය මැදගොඩ අභය තිස්ස හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, හිටපු මැති ඇමැතිවරුන්, මහා සංඝරත්නය ප්‍රමුඛ විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාව කරන ලද්දේ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසිනි.

දීපා වසන්ති එදිරිසිංහ

පැවිදි හඬ සහ ජාතික සංවිධාන 64ක එකමුතුවේ පස් වැදෑරුම් සම්මුතිය ගෙවිඳු කුමාරතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමූ අවස්ථාව. | ඡායාරූප - සස්සඳ ලියනආරච්චි
පැවිදි හඬ සහ ජාතික සංවිධාන 64ක එකමුතුවේ පස් වැදෑරුම් සම්මුතිය ගෙවිඳු කුමාරතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමූ අවස්ථාව. | ඡායාරූප – සස්සඳ ලියනආරච්චි

thero