රටේ වත්මන් දේශපාලනය උණුසුම් වෙමින් ඇත. මහ මැතිවරණය ආසන්නවත්ම එය තව තවත් වැඩි වෙමින් පවතී. පක්ෂ, විපක්ෂ අතරේ තරගය මෙන්ම පක්ෂ විපක්ෂ ඇතුළේ මනාප තරගයත් දැකගත හැකිය. මේ සියලු දේ පිළිබඳ එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග රිවිර සිදුකළ සාකච්ඡාවකි.

ප්‍ර: පවතින දේශපාලන තත්ත්වය ඔබ කොහොමද අර්ථකථනය කරන්නේ?
පි: අපට තියෙනවා තාවකාලික අනතුරක්. ඒ වගේම දිගුකාලීන අභියෝගයක්. තාවකාලික අනතුර තමයි කිසිදු වෙනසකින් තොරව මහින්ද රාජපක්ෂ මහත්තයා සහ ඔහු විසින් හදා වඩා ගත්ත පාදඩ අශීලාචාර දේශපාලනඥයන් නැවත රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා ඉතාම දැඩි අරමුදල් සහිත ක්‍රියාවලියක්දියත් කරලා තිබිම.

දෙවනුව රටට දැන් අවශ්‍යයි වෘත්තීය මට්ටමින් දේශපාලනයක්. එමගින් රටේ ආර්ථිකය තිරසාර වර්ධනයකට ගෙන යන්න සමාජයේ ප්‍රදේශ වශයෙන්, පුද්ගලයෝ වශයෙන් ජන කණ්ඩායම් වශයෙන් තියෙන අසමානතා දුරුකරලා පරිසර සහජීවනය සහිත නවීන සමාජයක් ගොඩනැගීමේ අභියෝගයක් අප ඉදිරියේ තිබිමයි. යාචකයෝ නැති, කැළි කසළ නැති පැල්පත් නැති නගර බිහිවෙන්න ඕන.

පරිසර හිතකාමී ගම්මාන බිහි වෙන්නඕනි. මේ රට අපි දියුණු රටක් බවට පත් කරන්න ඕනි. අද තියෙන්නේ දියුණු සමාජයක්, උගත් සමාජයක්. ඒ සමාජයට ගැළපෙන ශීලාචාර දේශපාලනයක්, වෘත්තීය කළමනාකාරීත්වයක් රට තුළ අපි ගොඩනගනවා.

ප්‍ර: ගත වුණු මාස හය කිව්ව තරම් සුන්දර නෑ නේද?
පි: අපට බලා‍පොරොත්තු වුණ දේශපාලන ප්‍රතිසංස්කරණය කරන්න බැරි වුණා. අර්ධ වශයෙන් තමයි කළේ. ඒකත් ජයග්‍රහණයක්. 19 සංශෝධනය මගින් විධායකයේ බලතල කප්පාදු කරලා එය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම, ඒ වගේම ස්වාධීන කොමිෂන් හදලා මැතිවරණ අධිකරණ සහ දූෂණ, වංචා සෙවීම සඳහා බලතල සහිත කොමිෂන් පිහිටුවීම, රට පැත්තෙන් විශාල ජයග්‍රහණයක්. නමුත් අපිට ඡන්ද ක්‍රමය වෙනස් කරන්න බැරි වුණා. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේදී බරපතළ විකෘතීන් සිදු වුණා. ව්‍යවස්ථාදායක සභාවට මන්ත්‍රීවරුන් පත් කිරීම වගේ දේවල්.

ප්‍ර: ඇයි එහෙම විකෘතිතා ඇති වුණේ?
පි: ජනාධිපතිවරණයේ දී ලැබුණු ජනවරම පාර්ලිමේන්තුවේදී නියෝජනය වුණේ නෑ. පාර්ලිමේන්තුවේ තිබුණේ 2010  ජනවරමක්. ඒ නිසා මේ මැතිවරණයෙන් ඒ විසංවාදය විසඳෙයි. විසඳිලා ඒ හැම දේටම අවස්ථාවක් ලැබෙයි කියලා හිතෙනවා.

ප්‍ර: දූෂණ, වංචා ගැන දඬුවම් දෙනවා කීවට මැතිවරණය වෙනතුරුම දීපු දඬුවමක් නෑ නේද?
පි: දූෂණවලට දඬුවම් නොදීම ගැන ජනතාව තුළ කලකිරීමක් තියෙනවා. අලුත් ව්‍යවස්ථාපිත දූෂණ, මර්දන කොමිෂම තුළින් ඒ කටයුතු කරන්න අපි බලා‍පොරොත්තු වෙනවා.

ඒ වගේම ආර්ථික ප්‍රතිසංස්කරණයකට අවශ්‍ය පියවර අපි ගත්තත් ඒවා පාර්ලිමේන්තුව තුළ අනුමත කර ගන්න බැරිකමක් තිබුණා. ශක්තිමත් පාර්ලිමේන්තුවක් මගින් ඒ කටයුතුත් ඉටු කරගන්න පුළුවන් වෙයි. ඊළඟ අවුරුදු 05 ජනපතිට ලැබුණු ජනවරමත්, අනාගත යහ පාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණට ලැබුණු ජනවරමත්, තුළින් ඉදිරි ගමනක් මේ රට තුළ ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා.

ප්‍ර: එදා එක්සත් ජාතික පක්ෂය ගැන ඔබට තිබුණේ වෙනම කියවීමක්. අද ඔබ ඒ පක්ෂය තුළ එකට හිටගෙන ඉන්නවා.
පි: අපි විටින් විට දේශපාලන තීරණ අරන් තියෙනවා. අපි පක්ෂය, ලාංඡනය නොවේ වැදගත්කොට සලකන්නේ ප්‍රතිපත්ති. අපි එදා දේශපාලන නොවන සංවිධානයක් හැදුවා 1998 දී ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය කියලා ඒක අපි වන්නියේ ඇති වුණු යුද පරාජය එක්ක සිහළ උරුමය නමැති දේශපාලන පක්ෂය බවට පත් කලා. එතකොට ඇතැම් අය අපට චෝදනා කළා දේශපාලනය කරන්නේ නෑ කියලා, ඇවිත් දේශපාලනේ කරනවා කියලා. සිහළ උරුමය තමයි ත්‍රස්තවාදය පරාජය කිරීමට අවශ්‍ය අඩිතාලම දැමුවේ. යටිතල පහසුකම රට තුළ නිර්මාණය කළේ.

“අපිට ජනතාව දුන් ඡන්දෙට බොහෝම බලගතු යුක්තියක් ඉටුකරලා තියෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය ඉස්සර රට කන බහිරවයෙක් කිව්වා. අද එය ලාභ ලබමින් රටේ සීයට 100 ක් විදුලිය දීලා තියෙනවා. මූල්‍ය වශයෙන් ඉතා ස්ථාවරයි. මේවා තමයි රටේ තිබුණු ලොකුම ප්‍රශ්න. මේවා විසඳුවේ වෙස් මුහුණුවලින් නෙවේ. මේ සැබෑ මුහුණු තියාගෙන. මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව එය දන්නවා.”

ඊළඟට අපි ජාතික ශාසනික කරුණු ඉදිරියට එනකොට ජාතික හෙළ උරුමය පිහිටෙව්වා. පක්ෂයේ ලාංජනය  උරුමයේ ලාංඡනය පක්ෂය පාවා දුන්නා කියලා අපිට චෝදනාවක් එල්ල වුණා. භික්ෂූන් දේශපාලනයට එනවට ශාසනය විනාශ කළා කියලා චෝදනාවක් එල්ල වුණා. නමුත් භික්ෂූන් වහන්සේගේ ඒ ඉදිපත් වීම නිසා තමයි රටේ ඒකීය බව ආරක්ෂා වුණේ. අද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ඒකීය බව ආරක්ෂා කරන තැනට අරගෙන ආවේ අපි.

නැතුව ඔය මාධ්‍ය සාකච්ඡා පවත්වන කට්ටිය නෙවේ. ඊළඟට අපි 2005 දී මහින්ද රාජපක්ෂ එක්ක බුලත් කොළේට සහාය දෙන්න තීරණය කළා. එතකොට අපෙන් ඇහුවා අපේ හාමුදුරුවන්ට පාර්ලිමේන්තුවේ ගැහුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානේ අය නේද? අපේ දේශාපලනයට විරුද්ධව ලොකුම කාර්යය භාරය කළේ ඔවුන් නේද? ඉතිං ඒ අය එක්ක කොහොමද හිට ගන්නේ කියලා. නමුත් මහින්ද රාජපක්ෂ බලයට ගෙනැල්ලා අපි ත්‍රස්තවාදය සහමුලින් පරාජය කරන්න මූලික පියවර ගත්තට පස්සේ රටේ ඒකීය බව තවදුරටත් සුරක්ෂිත කළාම හුඟ දෙනෙක්ගේ විචිකිච්චාවන් දුරුවෙලා ගියා. අපි මහින්ද රාජපක්ෂ වන්දනාවක ගියේ නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වන්දනාවක ගියෙත් නෑ. ඒ වගේම පසුගිය ජනපතිවරණයේ දී අපි එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානයත් ඉන්න පුළුල් පෙරමුණකට එකතු වුණා. එක්සත් ජාතික පක්ෂය ගැන, දෙමළ සන්ධානය ගැන විවිධ විවේචන තිබුණා. මුස්ලිම් කොංග්‍රසය ගැනත් විවේචන තිබුණා. හැබැයි අපි ආවේ ප්‍රතිපත්තියකට. ඒ ප්‍රතිපත්තිය තමයි බලලෝභීන් විසින් තියාගෙන හිටපු විධායක ජනපති ධුරයේ බලය අඩුකරලා ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ලබා දීම.

ඒ විදියට අපි රටේ ත්‍රස්තවාදය මැඬලීමේ කාරණයේදී රටේ ඒකීය භාවය සුරැකීමේ කාරණයේදී රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම යන මේ කඩඉම් තුනේදීම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා.

ඉතින් දැන් අර ජනවාරි 8 වැනිදා මේ රටේ ඡන්ද දායකයෝ මහින්ද රාජපක්ෂ මහත්තයාට විවිධ දේශපාලන පක්ෂවල ඡන්ද ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. වාමාංශික පක්ෂ දේවානන්දගේ තොණ්ඩමන්ගේ ආදී වශයෙන් ඡන්ද. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයාට සැඟවුණු විශාල ඡන්දයක් ලැබුණා. ඒ තමයි සමෘද්ධි ඡන්ද පවුල් දාහතර ලක්ෂයක සමෘද්ධි බලකාය දේශපාලන ප්‍රපංචයක් කරලා බැසිල් රාජපක්ෂ ඒකෙන් ලබා ගත්තා. අතිවිශාල ඡන්දයක් සමෘද්ධි නිලධාරීන් තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාඩරය වුණේ.

ප්‍ර – මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු ඡන්ද කොහොම ඒවාද?
පි- මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ හෙළ උරුමය දෙමළ ජාතික සන්ධානය වගේ පක්ෂවල ඡන්ද ලැබුණා. ඒ පක්ෂවලට අමතර ඡන්දයක් ලැබුණා. ඒ තමයි මේ රටේ උගත් මධ්‍යම පන්තියේ ජන්ද. මේ උගත් මධ්‍යම පන්තියේ ඡන්දය නියෝජනය කරන්න මේ අවස්ථාවේ කෙනෙක් හිටියේ නෑ. ඒක තමයි අපි ඉදිරිපත් වුණේ.

ප්‍ර: ඇත්තටම ඔබ හිටියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ. ඇයි තවත් වසර දෙකක කාලයක් තියෙද්දිත් මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයකට ගියේ?
පි: තමන් ඉතා වේගයෙන් ජනතා අප්‍රසාදයකට ලක් වෙනවයි කියලා එතුමා දැනගෙන හිටියා. තව අවුරුදු දෙකක් ගිහින් තමන්ට දිනන්න තියා ජනතාව ඉදිරියට යන්නවත් බෑ කියලා එතුමා දැනගෙන හිටියා. එයා මේ මැතිවරණය කලින් කැඳෙව්වේ ඒ නිසයි. අන්න ඒ නිසා තමයි අපි එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානයක් හදා ගත්තේ. මේ තුළින් අපි ජනතාවට ප්‍රතිඵල ලබා දෙනවා. අනාගතය තුළ ජනතාවට තේරුම් යාවි අපි මේ කරපු දේ කොතරම් වැදගත්ද කියන කාරණය.

ප්‍ර: හැබැයි යහපාලන ආණ්ඩුවේ මහ බැංකු බැඳුම්කර සිදුවීම විශාල හානියක්.
පි: අපේ ආදායම ප්‍රමාණවත් නෑ ණය හා ‍පොලියවත් ගෙවාගන්න. අපිට සිද්ධ වෙනවා බැඳුම්කර හරහා ණය ගන්න. ඒත් ‍පොඩි පහේ ප්‍රමාණයක් නෙවේ. වසරකට බිලියන 2000 ක් පමණ අපට මේ විදිහට සංවර්ධනමය වුවමනාවන් හා එදිනෙදා වියදම් පියවා ගන්න බැඳුම්කර හරහා ගන්න සිද්ධ වෙනවා. මේ බැඳුම්කරවල ‍පොලී අනුපාත හරහා යම් සියුම් වංචාවක් සිදුවන බවට විශාල රාවයක් රටේ හැමදාම තිබුණා.

ඒ ‍පොලී අනුපාත දශම ගණනින් වෙනස් කළත් ඒවා බිලියන් ගාණක ප්‍රශ්නයක් බවට පත්වෙනවා. මොකද බිලියන 2000 ක විතර ණය ගැනීමක් කරනවානේ. එතකොට බිලියන 2000 න් දාහෙන් එකක් ගත්තත් ඒක බිලියන දෙකක්. හැබැයි මේ ඇතිවුණු සුවිශේෂී බැඳුම්කර සිද්ධියේ දී ‍පොලී අනුපාතය බොහෝම අස්වභාවිකව ඉහළ ගියා. යම් වංචනික ක්‍රියාවක් සිදු වූ බවට චෝදනා එල්ල වුණා. ඒ පිළිබඳ අනිවාර්යයෙන්ම විමර්ශනයක් කළ යුතුයි.

ප්‍ර: ඔබ එදා මෙදා තුර පක්ෂ මාරු කිරීම ගැනත් විශාල චෝදනාවක් තියෙනවා?
පි: හැබැයි ඒ මාරු කිරීම හරහා රටට වෙලා තියෙන්නේ නරකක්ද, හොඳක්ද? ත්‍රස්තවාදය මර්දනය කරන්න අවශ්‍ය දේශපාලන ශක්තිය ලැබුණේ එය හරහා නොවේද?

ප්‍ර: චම්පික රණවක එක එක කාලෙට විවිධ වර්ගයේ වෙස්මූණු දාගන්නව කියලයි කියන්නේ?
පි: නෑ කිසිම වෙස් මූණක් දා ගත්තේ නෑ. මේවා ඇත්ත මූණු. මේවායෙන් රටට, සමාජයට සේවයක් වෙන්නේ. අපි ජාතික හෙළ උරුමය හැදීම තුළ රටට සේවයක් වුණේ නැද්ද? පීටොම් එක නතර කළේ කව්ද? රට පෙඩරල් කරන එක නතර කළේ කව්ද? ත්‍රස්තවාදීන්ට විරුද්ධව මාවිල්ආරු ගිහින් සටන පටන් ගත්තේ කව්ද? අනික් පැත්තෙන් බලන්න අපි රාජ්‍ය ආයතන ගොඩනගලා දීලා තියෙන ආදර්ශය. ඔය විවේචන කරන්න පුළුවන් වේදිකාවල ඉඳගෙන කාටත්. මේ රටේ බලගතු ආයතනවලට විරුද්ධව අපි වගේ සටන් කරපු කව්රුත් ඉන්නවද? කිරිපිටිවල ඩී.සී.ඩී. තියෙනකොට ඒවාට විරුද්ධව නැගී සිටියේ අපි නොවේද?

අපිට ජනතාව දුන් ඡන්දෙට බොහෝම බලගතු යුක්තියක් ඉටුකරලා තියෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය ඉස්සර රට කන බහිරවයෙක් කිව්වා. අද එය ලාභ ලබමින් රටේ සීයට 100 ක් විදුලිය දීලා තියෙනවා. මූල්‍ය වශයෙන් ඉතා ස්ථාවරයි. මේවා තමයි රටේ තිබුණු ලොකුම ප්‍රශ්න. මේවා විසඳුවේ වෙස් මුහුණුවලින් නෙවේ. මේ සැබෑ මුහුණු තියාගෙන. මේ රටේ උඝත් බුද්ධිමත් ජනතාව එය දන්නවා.

ප්‍ර: එළඹෙන අගෝස්තු 17 මොනවා වෙයිද?
පි: සිද්ධ වෙන එකම දේ තමයි ජනවාරි අටවැනිදා මේ රටේ වෙනසකට ජනතාව ඡන්දය ලබා දෙනවා. අද ඒ වෙනස මේ රටේ ජනතාව හොඳටම අත්විඳිනවා. මැතිවරණය අත ළඟ තිබෙන්නේ. ඒත් අද පවතින තත්ත්වය දිහා ඇස් ඇරලා බලන්න. කෝ එදා අහස උසට තිබුණු කටවුට් බැනර්. අද ‍පොලිසිය වගේම මැතිවරණ කොමසාරිස්තුමාටත් අද නිදහසේ තමන්ගේ රාජකාරිය කරන්න පසුබිම උදාකරලා තියෙනවා. ඒ වගේම අද මේ රටේ ජනතාවට හැම අතින්ම විශාල සහනයක් ලැබිලා තියෙනවා.

සාකච්ඡා කළේ : සුජිත් කෝනාර
sujithkonara@yahoo.com