දාහත් වසරක පාලන කාලයේදී රජයේ සේවකයන් ලක්ෂයක් ගෙදර යැවීමට සැලසුම් කළ එජාපය දැන් රාජ්‍ය සේවකයන්ගේ යහපත ගැන කතා කිරිම විහිළුවක් බව ජවිපෙ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

බත්තරමුල්ල පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ටිල්වින් සිල්වා මහතා මේ බව සඳහන් කළේය. ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.

මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ඡන්ද ප්‍රචාරක දැන්වීමක රාජ්‍ය සේවකයන්ගේ යහපත වෙනුවෙන් කරන්නට බලා‍පොරොත්තු වන කාර්යභාරය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකරන ප්‍රශ්නයකට ඔහුගේ පිළිතුර වන්නේ ඔවුනට ව්‍යාපාරයක් හෝ දියුණුවීමට අවශ්‍ය වෙනයම් කාර්යක් කරගැනීමට වසර 5 ක රාජකාරී නිවාඩු කාලයක් ලබාදීමට එජාප රජයක් යටතේ කටයුතු කරන බවයි.

මේ අනුව ඔහු හෝ ඇය වැටුප් රහිතව වසර 5 ක නිවාඩු ලබාගෙන වෙනත් කටයුත්තක නිරතවීමට යනවා නම් ආයෙත් පරණ රැකියාවට පැමිණිය යුතු නැහැ. මෙයින් පැහැදිලිවන්නේ 2002 වසරේ දී විශ්‍රාම ගැන්වීමට ගෙන ආ ප්‍රතිපත්තියම දැන් වෙනත් පැත්තකට හරවමින් නිවාඩු අරගෙන යන්න කියනවා. මොවුන්ට පස් වසරක නිවාඩු ගෙන නික්ම ගිය විට ඒ හිඩැස පිරවීමට අලුතෙන් බඳවා ගන්නවාද? මේවා අවිද්‍යාත්මකව ජනතාව රවටන ප්‍රකාශ පමණයි. රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට යූඑන්පීය සූදානම් නැති බව මෙයින් පැහැදිලියි.

රාජ්‍ය සේවකයා ගැන කිඹුල් කඳුළු හෙළන එජාපයත් සන්ධානයත් පසුගිය කාලයේදී රාජ්‍ය සේවය උළාකෑවා.

මෑතකදී රාජ්‍ය අංශයට වැඩිවූ රු. දසදහස ලබාදීමට සිදුවුණේ කලක සිටම ඒ වෙනුවෙන් කරන ලද අරගල හා උද්ඝෝෂණ නිසයි. ඒකත් මූලික වැටුපට එකතු කළේ නැහැ. එසේම සන්නද්ධ හමුදා සාමාජිකයන්ට මේ වැඩිවීම ලැබි නැහැ. එය කල් දමලා මේ අයට දේශපාලන අයිතියක් නැහැ. වෘත්තිය සමිති නැහැ. ඒ නිසා මේ වෙනුවෙන් හඬක් නැගීමට නොහැකියි. එහෙම අරගල කරයි කියල හිතන පිරිසට අදාළ වැඩිවීම ලබාදුන්නා. රාජ්‍ය සේවකයන්ට රු. 25,000 ක වැටුප් වැඩිවීමක් දෙන බවට මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ ඇත්තක්ද? එහෙම කරන්න බලයට පත්වීමටත් මේ අයට බැහැ. මේ වෙනුවෙන් එජාපය කියන්නේ බොරු.

මේ වන විට රාජ්‍ය සේවය අන්තයටම පිරිහිලා බඳවා ගැනීම් වෙනුවෙන් නිසි ක්‍රියාපටිපාටියක් නැහැ. පත්වීම් ලබාදෙන්නේ මුළුමනින්ම දේශපාලන හිතවත්කම්, බලපෑම් මතයි. සුදුසුකම් තියෙන අය වෙනුවට මන්ත්‍රීගේ ලියවිල්ලට පත්වීම්, උසස්වීම්, ස්ථානමාරු ලබාදීම අනාදිමත් කාලයක සිට මේ රටේ පැවත එන්නක්. ඕනෑම අමාත්‍යාංශයකට පත් වන ඇමැතිවරයා පළමුවෙන්ම කරන්නේ තම ගම් පළාතේ ඡන්ද දායකයන්ගේ පුරප්පාඩු පිරවීමයි. සුදුසුකම් සහිත අයට මෙය බාධාවක් එජාපයත් සන්ධානයත් යන දෙපාර්ශ්වයම මෙම තත්ත්වයට වගකිව යුතුයි.

මොවුන් කරන ලොකුම වැරැද්ද වන්නේ රාජ්‍ය සේවකයා හා දේපළ මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදාගැනීමයි. මේ මොහොත වන විට රාජ්‍ය සේවය තුළ වැටුප් විෂමතා ගැටලුව උග්‍රවී තියෙනවා. මේ සම්බන්ධයෙන් පත්කළ කොමිෂන් සභාවල තීන්දු තීරණත් ක්‍රියාවට නංවා නැහැ. රාජ්‍ය සේවකයා ගැන කිඹුල් කඳුළු හෙළන එජාපයත් සන්ධානයත් පසුගිය කාලයේදී රාජ්‍ය සේවය උළාකෑවා. වත්මන් රාජ්‍ය සේවය තවදුරටත් ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරන ආයතන නොවෙයි. දේශපාලනඥයන්ගේ උවමනා මුදුන්පත් කරන ඒවා පමණයි.

ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව රජයේ සේවකයන්ගේ වැටුපට එල්ලා ඇති සියලුම දීමනා මුලික වැටුපට එකතු කළ යුතුයි. මේවා සියල්ල එකතුවූ විට රු. 30,000/⋆ කට ආසන්නයි. ඉන් පසුව වැඩිවන ජීවන අංකයට අනුව දීමනා ලබාදීමද අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් එසේම වැටුප් විෂමතා ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ වන අතර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් හා ජාතික වැටුප් කොමිසමක් අලුතෙන් ගොඩනැංවිය යුතුයි.

රැකියා ලබාදීමේදී උසස්වීම්, ස්ථාන මාරු සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීම් ජවිපෙ ආණ්ඩුවක් යටතේ නැත්තටම නැති කරනවා. නිසි ක්‍රියාපටිපාටියකට අනුව තරග විභාග අනුව බඳවාගැනීම් සිදුකරනවා. රාජ්‍ය සේවකයාට ඔවුන්ගේ අයිතිවාසිකම් ලැබෙන්නේ එවැනි ක්‍රමවේදයක් යටතේ පමණයි. ඔවුන්ට අරක මේක ලබාදීමේ ‍පොරොන්දු අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැහැ. ඇත්තේ එය නගා සිටුවීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග පමණයි.

එය ‍පොරොන්දු දෙන පිරිස් ආණ්ඩු කළ කාලසීමාවලදි රාජ්‍ය සේවකයන්ට තමන්ගේ වෘත්තිය අයිතිවාසිකම් ලබාගැනීම අරගල, උද්ඝෝෂණ කිරීමට සිදුවුණා. ඔවුන් දිනාගත් යමක් ඇත්නම් ඒවා පාලකයන් විසින් කැමැත්තෙන් ලබාදුන් ඒවා නොවෙයි. මේ අය ආණ්ඩු පිහිටුවහොත් හෙටත් කරන්නේ මේ ටිකමයි. නමුත් වෘත්තිය අයිතිවාසිකම් දිනාදීමට අරගලයක් ජවිපෙට තියෙනවා. එය පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් කෙරෙන්නක්. ඊළඟ පාර්ලිමේන්තුවේදී ජවිපෙට වැඩිබලයක් ලබාදී ශක්තිමත් කරන ලෙසට අප රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ නිසයි.

මෙම තත්ත්වය පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ටත් ‍පොදුයි. නමුත් යූඑන්පියත් සන්ධානයත් මේ අයව නොසලකා හැරලා පුද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 60 යි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අවම වශයෙන් ඔවුනට රු. 2500/⋆ ක වැඩිවීමක් ලබාදීමට නීති සම්පදානය කරනවා. මෙම මැතිවරණයේදී එදිනෙදා ජනතා ගැටලු වන බඩුමිල අඩුකිරීම් වැනි දේට වඩා වැඩිපුර කතා වන්නේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවයි. නමුත් සන්ධානයේ හෝ එජාපයේ වත්මන් හැසිරීම තුළ එවැන්නක් දක්නට නැහැ.

මේ පිරිස් අද එකම පක්ෂයේ අයටම හූ කියා ගන්නවා. තමන්ගේ පක්ෂය තුළ හෝ සමගියෙන් ක්‍රියාකරන්නට බැරි අය රටේ ජාතික සමගිය ඇතිකරන්නේ කෙසේද? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගොඩනැගීමට මේ අයට බැහැ. ඇතැම් පක්ෂවල වත්මන් ක්‍රියාකාරකම් විමර්ශනය කරන විට පාතාල කල්ලි සමග සම්බන්ධවී දැයි සැක මතුවෙනවා. මේ අය මතුපිටින් කරන හීන විකිණීමට රැවටෙන්න එපා. භාවිතාව නිරීක්ෂණය කර තීන්දු තීරණ ගන්නා ලෙසට අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ බොරුවලට එකම විසඳුම මැතිවරණයේදී ජ. වි. පෙ. ශක්තිමත් කිරීමයි. තැපැල් ඡන්දයට හිමිකම් කියන රාජ්‍ය සේවකයන්ට අප කියන්නේ එදා සිටම ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ අරගල කරන්නේ ජවිපෙ පමණයි. එයට හෙටටත් වලංගුයි. ඒ නිසා හෙට දවසේදීත් අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්නට ජවිපෙ හා අත්වැල් බැඳගන්න..

තිලක් පුෂ්පකුමාර