දස වසරක් තිස්සේ ජනතාවගේ අතමිට සරු නොකළ පරාජිත නායකයන් අනාගතයට සහතික දෙන බව කියමින් ජනතාවට විහිළු සපයනවා යයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවක් ඊයේ (03) පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක මහතා මෙසේද පැවසීය.

මෙතරම් සාමකාමී මැතිවරණයක් මේ රටේ මැතිවරණ ඉතිහාසයේ කෙදිනකවත් තිබුණේ නැහැ. පිටරටක මැතිවරණයක් පැවැත්වෙන ආකාරයේ නිදහස් වටපිටාවක් දක්නට ලැබෙනවා. මැතිවරණ නීති අකුරටම පිළිපදිනවා. රජයටත්, විපක්ෂයටත් මැතිවරණ නීති ‍පොදුයි. රජය මැතිවරණ නීති කඩකරන්නේ නැහැ.

තවත් සති දෙකකින් පමණ මහ මැතිවරණය පැවැත්වෙනවා. මීට පෙර ආණ්ඩුව මැතිවරණ කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් දන්සල් දුන්නා. නමුත් මහජන මුදලින් දේශපාලන වාසි වෙනුවෙන් දන්සල් දීමේ යුගය අපි නතර කළා.

ඒ වගේම සමෘද්ධි නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා වහලුන් වගේ මැතිවරණ ව්‍යාපාරයට යොදාගත්තා. බලහත්කාරයෙන් රැස්වීම්වලට රැගෙන ගියා. එහෙත් දැන් මැතිවරණ වෙනුවෙන් කෑම, බඩු මුට්ටු, අරක්කු ලබා දෙන්නේ නැහැ.

නීතිවිරෝධී මැතිවරණ කටයුතු, දන්සල්, බඩු බෙදීම් ආදිය සිදුකළ නොහැකි නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ වෙලා. ඔවුන්ට නීත්‍යානුකූල ලෙස මැතිවරණ කටයුතු කිරීමට පුරුද්දක් නැහැ.

අද සන්ධානය තුළ පංච මහා බලවේගය නැහැ. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු වෙනුවට කුඩු, එතනෝල්. තැබෑරුම්, ඒජන්සි හා කොන්ත්‍රාත්කරුවන් සන්ධානයක් ලෙස එකතුවෙලා. ඒ වගේම අද සන්ධානය පැහැදිලි ලෙසම දෙකට කැඩිලා.

පක්ෂයේම අපේක්ෂකයන්ට වේදිකාවලදී හූ කියනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැමිණෙන රැස්වීමකට මහින්ද සමරසිංහ පසුගිය දිනක සහභාගි වුණේ නැහැ. වේදිකාවේ දී හූ කියන නිසා සහභාගි නොවූ  බව මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළා.

රැස්වීමකට එක්ව සහභාගි වෙන්නට බැරි කණ්ඩායමක් රට පාලනය කරන්නේ කොහොමද කියලා අද ජනතාව ප්‍රශ්න කරනවා. සමහර අපේක්ෂකයන් ජනතාව හූ කියනවාට හිටපු ජනාධිපතිවරයාට වඳිනවා.

හිටපු ජනාධිපතිවරයා කාලයක් තිස්සේ මේ රටේ දේශපාලන පක්ෂ කඩාබිඳ දැමීමට ක්‍රියා කළා. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කඩා දැමීමට කටයුතු කළා.

“අලුතින් පටන් ගනිමු” කියමින් පච යෝජනාවලියක් සන්ධානය තම ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස ඉදිරිපත් කොට තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස දසවසරක් තිස්සේ නොකළ දේවල් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිදුකිරීමට ඔහු ‍පොරොන්දු වෙනවා.

බලයට එන්නට නොහැකි බව දැන දැනම ඔහු ඉටුකිරීමට කිසිසේත් හැකියාවක් නොමැති ‍පොරොන්දු පත්‍රයක් ලබාදෙනවා. රජයේ සේවකයන්ට රුපියල් 2500 ක් දෙන්න නොහැකිවූ ඔහු අද රුපියල් 25,000 ක් ලබාදෙන බවට විහිළු කතා කියනවා. විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් නොකළ ඔහු විශ්‍රාමිකයන් වෙනුවෙන් පෙනී සිටිනවා.

ඒ වගේම රුපියල් 500 තිබුණු විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 ක් දක්වා වැඩි කළා. එසේ කළ හිටපු ජනාධිපතිවරයා විවාහ වන යුවළකට රුපියල් ලක්ෂ 2 ක් දෙන බව කියනවා. ඔහුගෙන් ලක්ෂ 2 ක් ගන්න බලා සිටියොත් කිසිවකුටවත් විවාහ වෙන්නට සිදුවෙන්නේ නැහැ.

සමෘද්ධිලාභීන්ට රුපියල් 1500 ගෑස් දීමනාවක් ලබාදෙන බවත් ඔහු කියනවා. නමුත් සමෘද්ධි දීමනාව දෙගුණයක් කළේ අපියි. සුළුතර ආණ්ඩුවක් වුණත් අපි සෑම පවුල් ඒකකයකටම රුපියල් දහස් ගණනක ඉතිරියක් මාසයකට ලබාදුන්නා. එම මුදල් පික් ‍පොකට් ගැසීමට සන්ධානය උත්සාහ ගනිමින් සිටිනවා. වසර 10 ක් ජනාධිපති ධුරයේ සිටිමින් ඉටු නොකළ දේවල් ඉටුකරන බව ප්‍රකාශ කිරීම විහිළුවක් පමණයි.

අද සන්ධානයට තමන්ගේ මැතිවරණ ප්‍රකාශයට තමන්ගේ පක්ෂ නායකයාගේ පින්තූරයක්වත් පළ කිරීමට හැකියාවක් නැහැ. අනාගතයට සහතිකයක් ලබාදෙන බව සන්ධානයේ ප්‍රධාන තේමාවක්. විභාගයක් ලිව්වත් රේස් එකකින් ජයගත්තත් සහතික දෙනවා. ඒත් විභාගයට පෙර, රේස් එකට පෙර සහතික දෙන්නේ නැහැ. විභාග සමත් වෙන්නට පෙර සහතික දෙන්නේ නැහැ. එහෙත් සන්ධානය කළ කී දේවල් පසුගිය දසවසර තිස්සේ ජනතාව දුටුවා. ඒ නිසා සන්ධානය අනාගතයට සහතික ලිවීමත් විහිළුවක් පමණයි.

එජාපය ප්‍රතිපත්ති ලෙස ඉදිරිපත් කළ වැඩපිළිවෙළ නිසා මේ රටේ ජනතාවගේ අත මිට සරුවෙනවා. අපි මැතිවරණයෙන් පසුව රටේ නව පරිවර්තනයක් සිදුකරනවා. යයි ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

දෙනගම ධම්මික රණවීර