රිවිර පුවත උපුටා දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍යයට අදහස් දැක්වූ අයුරු. | ඡායාරූපය - ප්‍රදීප් දඹරගේ

පරාජයෙන් වියරු වැටී සිටින රජය යහපාලන යුගය හමාර කරමින් පාතාල කල්ලි කුලියට ගනිමින් ඔවුනට සුපුරුදු මැර දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ‍ලේකම්, සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ‍ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය.
මහ මැතිවරණයට තව සති දෙකක කාලයක් තිබෙනවා. මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ යාන්ත්‍රණය අඩාළ වෙමින් තිබෙනවා. එයාලට ජනතා සහයෝගය අඩුවෙලා තිබෙන නිසා ජනතාව බිය ගන්වලා ඡන්ද ලබාගන්න හදනවා. අපිට මතකයි 88/89 භීෂණ යුගය. එම යුගයේ ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත්් එජාපය ජයගත්තේ භීෂණය පතුරවලයි.

ඒ යුගයේ තමයි සුදු වෑන් සංස්කෘතිය ආවේ. ඒ යුගය අපි 94න් පසු නැවැත්තුවා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ 2005න් පසුව මැරවර සංස්කෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කළා. මානුෂීය මෙහෙයුම අවසන් කරනවාත් සමගම පාතාල යුගයත් අවසන් කළා. සමහර පාතාල නායකයෝ රට පැන්නා.

දැන් දින හතරකට පෙර එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවි කරුණානායක මහතා කිව්වා එතුමා කැන්වසින් ගියා කියලා. නමුත් මැතිවරණ නීතියට අනුව අපේක්ෂකයකුට කැන්වසින් යන්න බෑ. එතනම මැතිවරණ නීතිය කඩලා. අපේක්ෂකයකුට විතරක් නමෛයි අපේක්ෂකයාගේ නිවසේ පදිංචි වෙලා ඉන්න අයටත් කැන්වසින් යන්න බෑ.

අහිංසක අපේක්ෂකතුමා කැන්වසින් යනකොට එතුමන්ගේ කට්ටියට කවුද වෙඩි තියලා. රවි කරුණානායක මහත්තයා හැදුවේ ඒකත් අපිට බැර කරන්නයි. ‍පොලිසිය භාර ජෝන් අමරතුංග මහත්තයත් කිව්වේ බ්ලූමැන්ඩල් වෙඩි තැබිම ගැන ඩිලාන්ගෙන් ප්‍රශ්න කළ යුතුයි කියලා තිබුණා. ඩිලාන් මහතා ඡන්දය ඉල්ලන්නේ නෑ. එතුමා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා පමණයි.

නමුත් නියෝජ්‍ය අධිකරණ ඇමැති සුජීව සේනසිංහ මහතා අවිස්සාවේල්‍ලේදී කියනවා රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන්ට වෙඩි තැබිමේ සිද්ධිය පාතාල කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් කියලා. මේ ගැන ජනාධිපති නීතිඥ ශ්‍රී නාත් පෙරේරා මහතාත් ප්‍රකාශ කළා. එමෙන්ම ‘රිවිර’ පත්‍රය වාර්තා කර තිබෙනවා බ්ලූමැන්ඩල් වෙඩි තැබිම ඇමැතිවරයකුගෙන් ‍පොලිසියට බලපෑම් කියලා. දැන් එක්සත් ජාතික පක්ෂය හෙළි කරන්න ඕන ‍පොලිසියට බලපෑම් කරන මේ ඇමැතිවරයා කවුද කියලා.

එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු දැන් පාතාල කල්ලි කුලියට අරගෙන දේශපාලනය කරනවා. මේක තමයි 88/89 යුගයේදීත් තිබුණු එජාප දේශපාලනය. සමහර මිනීමැරුම්වලට චෝදනාවලට ලක්වූ අය රිමාන්ඩ් වෙලා ඉන්නවා. ඒ අයට ඇප අරන් දෙන්නම් කියලා සිරගතව ඉන්න අයගේ ගෝලබාලයන් ලව්වා අපේ පාක්ෂිකයන්ට හිරිහැර කරනවා. ඒ වගේම අපට වාර්තා වූ තොරතුරුවල හැටියට විවිධ චෝදනාවන්ට ලක්වී රිමාන්ඩ්ගතව සිටින ඇප දී ගන්න. බැරිව මේ ආණ්ඩුවේ දේශපාලකයන් විසින් එවැනි අයට ඇප දීලා. සල්ලි දීලා ගන්නවා. එහෙම අරගෙන මැතිවරණ ව්‍යාපාරයට යොදවා ගන්නවා.

ලොකු ප්‍රචාරයක් දීලා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. ගිවිසුම් අත්සන් කරන්නේ විශ්වාසය නැති නිසයි. සුදු වෑන් සංස්කෘතියක් නැත. බටලන්ද නැවත ගෙන එන්නේ නැත. 88/89 භිෂණ යුගයට නැවත යන්නේ නැත. ඒවත් ඔය අත්සන් කරපු ගිවිසුම්වල තියෙනවද කියලා මම අහනවා. ගිවිසුම් ගහලා මේ රටේ ජනතාව මෝඩයන්ට අන්දවන්න බෑ. ඕව අත්සන් කළා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ශාන්ත දාන්ත කෙනෙක් වෙන්නෙත් නෑ. මේවා නොදන්න තරුණ තරුණියන් තමයි මුලා කළේ. ඡන්දදායකයා මුළා කිරීම සඳහා පැලඳගෙන ඉන්න වෙස් මුහුණ ගලවන්න දැන් මේ අයට කාලය ඇවිල්ලා.

බ්ලූමැන්ඩල් සිද්ධිය මේ රටේ දේශපාලනඥයන්ගේ ඕනෑකම මත කටයුතු කරන පාතාල කණ්ඩායම් ඒ අයගේ සහයෝගය ලබාගැනීමට යෑමේ කල්ලි දෙකක් අතර වූ ප්‍රතිඵලයක් විදිහට තමයි අහිංසක මිනිස්සු මැරුණේ. මෙය මේ මැතිවරණයේ ලොකුම කළු පැල්ලම බවට පත්වුණා. මේකෙන් ගැලවීමට ආණ්ඩුවට හැකියාවක් නෑ. පරාජය දැක ඉන් වියරු වැටී එජාපය පාතාලයත්, මැරකල්ලිත් සම්බන්ධ කරගෙන ඔවුන්ට සුපුරුදු දේශපාලන සංස්කෘතියට යනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.
පාතාල කල්ලි මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ආණ්ඩු පක්ෂය විසින් ඔවුන්ගේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් බවට පත් කරගෙන තිබෙනවා. එය අද විශාල තර්ජනයක් බවට පත්වී තිබෙනවා. මේ රටේ 2009 මැයි 19 පසු භීෂණයක් තිබුණේ නෑ. කොළඹ පාලනය කළ සමහර පාතාල කල්ලි මර්දනය කළා. පාතාල කල්ලි නායකයන් අටක් රටින් පැන්නේ ඒ තත්ත්වයට ඔරොත්තු දෙන්න බැරි නිසයි. නමුත් අද රටින් පැන්න පාතාල කල්ලි නායකයන්, සාමාජිකයන් ගෙන්වා ගෙන ඇමැතිවරුන්ගේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් බවට පත් කරගෙන තිබෙනවා.

මේ වන විට ඇතිවෙමින් තිබෙන තත්ත්වය ඉතාම භයානකයි. මෑත කාලයේ පාතාල කල්ලි සාමාජිකයන් ආශ්‍රය කළ දේශපාලකයන් ගැන වාර්තා වුණේ නෑ.

දේශපාලකයන් සමග පැවැති පාතාල යුගය අවසන් කරමින් සිටි කාලයක තමයි නැවත පාතාලයට පණ දෙමින් ඉන්නේ. මේ තුළ ආර්ථිකයේ වර්ධනයත් මෙන්ම සුරක්ෂිත ආර්ථිකයක් බිහිවන්නේ නෑ.

මේ සිද්ධිය සිදුවී තත්පර ගානක් ඇතුළත මුදල් ඇමැතිතුමා මෙය මහින්ද රාජපක්ෂ මහතාගේ පිටේ පටවන්න හැදුවා. මුදල් ඇමැතිතුමාගේ ෆේස්බුක් පිටුවේ මෙම සිද්ධිය මහින්ද රාජපක්ෂ මහතාට ආරෝපණය කරලා ප්‍රකාශයක් සඳහන් කරලා තිබුණා. මොකද්ද මේ හදිස්සිය. මුදල් ඇමැතිතුමා මාධ්‍ය සාකච්ඡාවේදී කියනවා 10, 12 දවස් වෙනකොට කුරුණෑගල මැතිවරණ වේදිකාවකත් මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියලා. යම් කිසි ඉඟියකුත් සපයනවා.

අපි මේ රටේ ආරක්ෂක අංශවලින් ඉතා ඕනෑකමින් ඉල්ලනවා මේ පාතාලයන් ළඟ තියාගෙන ඉන්න මැර දේශපාලනඥයන් කරුණා කර නිරායුධ කරන්න කියලා. අපි ‍පොලිස්පතිතුමාගෙන් ඉල්ලනවා මොන බාධක තිබුණත් මේ රටේ මැතිවරණ පාතාලයට ඔළුව උස්සන්න දෙන්න එපා. මහින්ද රාජපක්ෂ මහතාගේ කුරුණෑගල කාර්යාලයේදී අවියක් ළඟ තිබුණ පුද්ගලයකු පරීක්ෂා කිරීමට යෑමේදී ඔහු පැනලා යනවා. ඔහු පැනලා දිව්වේ ඉනේ පිස්තෝලයක් තියාගෙනයි. මේ පුද්ගලයා කවුද? කියලා බලන්න ඕන.

මීට කලින් මේ රටේ මැතිවරණ ව්‍යාපාරය තුළ මෙහෙම භීෂණයක් තිබුණේ නෑ. යහපාලනය නමැති වචනය තොරම්බල් කරගෙන ආපු මේ මහත්තුරු අද ටයිකෝට් දාගෙන පාතාලය හුරතල් කරනවා සමහරු දවසට රුපියල් 1500 ඡන්ද අපේක්ෂකයන්ගේ පත්‍රිකා බෙදන්න යනවා. ‍පොදු ජනතාවට මේ ගැන අවධියෙන් ඉන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම කුරුණෑගල කාර්යාලයේදී අත්අඩංගුවට පත්වූ පුද්ගලයා සම්බන්ධව සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න කියලත් අපි ඉල්ලා සිටිනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා අද අධිවේගී මාර්ගයට මුල්ගල් තියනවා. මෙය අපේ ආණ්ඩු කා‍ලේ නම් කළේ උතුරු අධිවේගී මාර්ගය කියලායි. මේ ගොල්ලෝ ඒකේ නම වෙනස් කළා. මධ්‍යම අධිවේගී මාර්ගය කියලා.

අපේ ආණ්ඩු කා‍ලේ අපිට තිබුණ බරපතළම විවේචනය තමයි අධිවේගී මාර්ග හදන්න ටෙන්ඩර් කැඳවීමකින් තොරව අමාත්‍ය මණ්ඩලය විසින් තීන්දු කරලා ඒ සමාගම්වලට ප්‍රදානය කරනවායි කියලා. අපි වික්‍රමසිංහ මහත්තයාගෙන් අහනවා ඔබතුමා අද මුල්ගල් තියන මධ්‍යම අධිවේගී මාර්ගය තරගකාරී ක්‍රමයට ටෙන්ඩර් කැඳවලාද ඒ ඉදිකිරීම් සමාගමට දුන්නේ කියලා.

අධිවේගී මාර්ගයේ කඩවත – කොස්හින්න දක්වා දුර කිලෝමීටර් 32යි. මංතීරු 4ක් තියෙනවා. මේ කිලෝමීටර් 32න් 1/3 ඒ කියන්නේ කිලෝමීටර් 12ක් කොන්ක්‍රීට් කණු මත ඉදිවෙනවා. අපේ ආණ්ඩුව මේ මාර්ගය ඉදිකිරීමට සැලසුම් ක‍ලේ මං තීරු 6යි.

මංතීරු 6, මංතීරු 4ට අඩු කළාම කිලෝමීටරයකට වැය වන මුදල රුපියල් මිලියන 4.8යි. අපි සැලසුම හැදුවේ කිලෝමීටරයකට රුපියල් මිලියන 4.7 වැයවන ප්‍රමාණයටයි. මේ මාර්ගයේ කොන්ක්‍රීට් කරන ප්‍රමාණය සෑහෙන අඩුයි. වැඩිපුර ප්‍රමාණයක් පස් පුරවනවා.

කොන්ක්‍රීට් කණු මත ඉදිවන ප්‍රමාණය අඩු කරලා මංතීරු හතරකට අඩු කලයින් පස්සේ වියදම 25ක් අඩුවෙන්න ඕන. එහෙම අඩුවෙලා නෑ. මුලින් සඳහන් කළ සැලැස්මට අනුව යන මිල ගණන්ම තමයි මධ්‍යම අධිවේගී මාර්ගයට වැයවන්නේ.

පසුගිය කා‍ලේ මේ ගොල්ලෝ කිව්වේ අධිවේගී මාර්ග ව්‍යාපාතියෙන් 20ක් කවුරු හරි ගන්නවා කියලයි. එහෙම බැලුවොත් රුපියල් බිලියන 110-120 අතර ප්‍රමාණයක් තමයි මේ ඉදිකිරීම සිදුවන්නේ. එහෙම බැලුවොත් ඒ වියදමින් කරන්න පුළුවන් පාර තමයි රුපියල් බිලියන 150කට කරන්නේ. එතකොට රුපියල් බිලියන 30-40ත් ගසා කාලා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රජිව් විජේසිංහ, ලසන්ත අලගියවන්න, තිස්ස අත්තනායක යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

නාලක සංජීව දහනායක