පූජනීය ස්ථාන ආරක්ෂා කිරීමට නොහැකිව නමට පමණක් බෞද්ධයන් වීමෙන් වැඩක් නැතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මිහින්තලා රජ මහා විහාරයේ ආලෝක පූජා පින්කමේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවසීය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
මීට වසර 53 කට පෙර මිහින්තලා රජමහා විහාරස්ථ සෑ රදුන් වෙනුවෙන් ආලෝක පූජාව ආරම්භ කරන අවස්ථාවට සහභාගි වීමට මට ද අවස්ථාව ලැබුණා. අපේ නායක ස්වාමීන් වහන්සේ ද සඳහන් කළ පරිදි ඒ කාලයේ මේ ප්‍රදේශයට විදුලි බලය තිබුණේ නැහැ. එකල මිහින්තලා රජමහා විහාරස්ථානය වැඳපුදා ගැනීම සඳහා ජනතාව පැමිණියේ හුළුඅතු, ලාම්පු සහ විශාල ප්‍රමාණයේ ටෝච් රැගෙනයි. එසේ පැමිණෙන සමහරුන්ට සර්පයන් දෂ්ඨ කිරීම නිසා පිරිසක් රෝගාතුර වූ අතර කිහිප දෙනකු ජීවිතක්ෂයට ද පත් වුණා.

මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස පොසොන් පොහොය වෙනුවෙන් මිහින්තලා රජමහා විහාරස්ථානය වෙත විදුලි ආලෝකය ලබාදීමට එවකට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළා. ඒ අනුව මිහින්තලය රජමහා විහාරස්ථානයට විදුලි ආලෝකය ලබා දීම සඳහා ඞීසල් ජෙනරේටර් දෙකක් ගෙන ඒමට සිදු වූ අතර ඒ සඳහා පාරක් කැපීමට ද සිදු වුණා. එක් ජෙනරේටර් යන්ත්‍රයක් ක්‍රියා විරහිත වුවහොත් අනෙක් ජෙනරේටර් යන්ත්‍රයෙන් විදුලි ආලෝකය ලබාදීම අරමුණ වුණා.

අනුරාධපුර දිසාපති ඩි.පී.ජි.කුමාරසිරි මහතා, අයි.ටීි.එන්. සභාපති ධම්මික ගංගානාත් දිසානායක මහතා ගයන්ත කරුණාතිලක, පී. හැරිසන් යන අමාත්‍යවරුන්, චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යවරිය ඇතුළු පිරිස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ආලෝක පූජා පින්කමට සහභාගි වූ අයුරු
අනුරාධපුර දිසාපති ඩි.පී.ජි.කුමාරසිරි මහතා, අයි.ටීි.එන්. සභාපති ධම්මික ගංගානාත් දිසානායක මහතා ගයන්ත කරුණාතිලක, පී. හැරිසන් යන අමාත්‍යවරුන්, චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යවරිය ඇතුළු පිරිස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ආලෝක පූජා පින්කමට සහභාගි වූ අයුරු

ඒ අනුව මිහින්තලය රජමහා විහාරස්ථානයට විදුලි ආලෝකය ලබා දුන්නේ ඞීසල් විදුලි ජනක යන්ත්‍ර මගිනුයි. එම උත්සවය සඳහා මම ද පැමිණියා. එවකට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියේ රංජිත් විජයවර්ධන මැතිතුමා සහ සභාපති ලෙස මාගේ පියායි. එමෙන්ම මාගේ බාප්පාවරුන් ද සිටියා. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් මිහින්තලය රජමහා විහාරස්ථානයේ විදුලි ආලෝකය සඳහා අනුග්‍රහය දැක්වීමට තීරණය කළ ඔවුන්ගේ ඊළඟ තීරණය වූයේ එම උත්සවය සඳහා පවුල්වල සියලූ දෙනාම සහභාගි විය යුතු බවයි. ඒ අනුව මමත්, මාගේ සහෝදරයනුත්, සහෝදරියත්, අනෙකුත්  ඥාති සහෝදර සහෝදරියනුත් ඇතුළු සියලූ දෙනා මෙම මිහින්තලා රජමහා විහාරස්ථානයට පැමිණ පළමු විදුලි ආලෝක පූජාවට සම්බන්ධ වී පුද පූජා පැවැත්වුවා.

මම අද මේ ස්ථානයට එන විට කල්පනා වූයේ එදාට වඩා අද මිහින්තලය රජමහා විහාරස්ථානයට පැමිණෙන මාර්ගය කෙතරම් පහසු ද කියායි. එමෙන්ම අද මඟ දිගට දන්සල් විශාල ප්‍රමාණයක් පවත්වනවා. ඒ වගේම මේ ප්‍රදේශයට විදුලි බලය, ජලය ලබා දී තිබෙනවා. අනුරාධපුරය දියුණු කිරීම සඳහා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාත් ගත් ව්‍යායාමය විශේෂයෙන් මා සඳහන් කළ යුතුයි. ඒ වගේම එවකට සංස්කෘතික අමාත්‍යවරයාව කටයුතු කළ ඊ.එල්.බී. හුරුල්ලේ මැතිතුමාත් එම දියුණුව ඇති කිරීම සඳහා විශාල වැඩ කොටසක් ඉටු කළා.

අප වර්ෂ 1963 දී මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කළ පසු 1968 වසරේ දී ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් පළමු රන්වැට පූජා කළා. වර්ෂ 2003 දී මා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් දෙවැනි රන් වැට ද පූජා කිරීමට අවස්ථාව ලැබුණා.

මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ මිහින්තලාවේ පොසොන් පොහොය නිමිත්තෙන් අද අවශ්‍ය වැඩ කටයුතු කර තිබෙනවා. ඒ වගේම අනෙකුත් අංශයන්ගෙන් ද දියුණුව ළඟා කර ගෙන තිබෙනවා. මිහින්තලා රජමහා විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් අනාගතයේ දී ඉටු කළ යුතු යුතුකම් ඉටු කිරීමට අප කටයුතු කරනවා.
එදා අප ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් රන්වැට දෙකක් ඉදිකළ අතර එම ප්‍රදේශය දියුණු කිරීමට කටයුතු කළා. අපට ඉටු කිරීමට තවත් එක් වගකීමක් තිබෙනවා.

දේවානම් පියතිස්ස රජතුමා මහා විහාරය ආරම්භ කළේ මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව අපේ රටේ බුද්ධාගමේ කේන්ද්‍රස්ථානය වන්නේ මහා විහාරයයි. ඒ වගේම අපේ ථෙරවාදී බුද්ධාගමේ මුල ලෙස ලෝකයා සලකන්නේ මහා විහාරයයි. දුටුගැමුණු රජතුමා මහා සෑය ඉදිකළේ ඊට  පසුවයි. කෙසේ නමුත් මහා විහාරය පිළිබඳ කැණීම් කටයුතු තවම සිදු වී නැහැ.

ශ්‍රී ලංකාවේ පමණක් නොව, ඉන්දියාවේ බෞද්ධයන් ද, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජියාව, ලා ඕසය, වියට්නාමය, සිංගප්පූරුව වැනි රටවල බෞද්ධයන් ද මුල් ස්ථානය ලෙස සලකන්නේ මේ මහා විහාරයයි. ඊට අමතරව යුරෝපයේ, අමෙරිකාවේ,  ඕස්ටේ්‍රලියාවේ ථෙරවාදී බුදු දහම වැළඳ ගන්නා අය තමන්ගේ කේන්ද්‍රස්ථානය ලෙස මහා විහාරය සලකනවා. යුරෝපීය රටවල බුදු දහම වැලඳ ගන්නා 90% ක්ම වැලඳ ගන්නේ ථේරවාදී බුදු දහමයි.

කෙසේ නමුත් ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන මහා විහාරයේ වැඩ කටයුතු කිසිවක් කර නැහැ. 2002 – 2003 වර්ෂවල මා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන විට මහා විහාරයේ වැඩ කටයුතු සිදු කරන ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටත්, සංස්කෘතික ත්‍රිකෝණයටත් දැනුම් දුන්නා. නමුත් අද ඒ පිළිබඳව සොයා බලන විට එහි කිසිදු ප්‍රගතියක් ඇත්තේ නැහැ. මේ පිළිබඳව මා ඉතා කනගාටුවට පත්වෙනවා.

නිශ්චිත කාලයක් තුළ මහා විහාරය පිළිබඳ කැණීම් කටයුතු සිදු කර අවසන් කිරීම සඳහා අවශ්‍ය මුදල් හා සම්පත් ඉදිරි අයවැය මගින් වෙන් කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා අවම වශයෙන් වසර 6 ක්, 7 ක්, 8 ක් හෝ 9 ක් ගත විය හැකි අතර ඒ වැඩ කටයුතු අප කෙසේ හෝ ආරම්භ කළ යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් සම්පත් නොමැති නම් අවශ්‍ය සම්පත් අප ලබා දිය යුතුයි.

බුදුන් වහන්සේගේ උප්පත්තිය සිදු වූ ලූම්බිණියේ මායා දේවී විහාරස්ථානය මීට වසර දෙකකට පමණ පෙර පුරා විද්‍යා විශේෂඥයින් විසින් සොයා ගෙන තිබෙනවා. ඒ වගේම බුද්ධගයාව, සාරානාථ, කුසිනාරා බෞද්ධ ස්ථානවල අවශ්‍ය වැඩ කටයුතු සිදු කර තිබෙනවා. ඊට පසුව වැඩිම වැදගත්කමක් සහිත ස්ථානය වන්නේ අනුරාධපුර මහා විහාරයයි. නමුත් අප එහි වැඩ කටයුතු සිදු කර එය ආරක්ෂා කිරීමට පියවර නැහැ. එම නිසා මහා විහාරයේ පුරාවිද්‍යා කැණීම් කටයුතු ආරම්භ කිරීමට අපට තිබෙනවා.

ශිරාන් දැරණියගල මහාචාර්යතුමන් මා සමග පවසා සිටියේ මල්වතු ඔය සහ මන්නාරම ප්‍රදේශවල අපගේ ප්‍රාග් ඓතිහාසික යුගය වසර 800 – 1000 ක් පමණ ඈතට දිව යන බවයි.

ඊජිප්තුව වැනි මා සංචාරය කර තිබෙන පුරාවිද්‍යා ස්ථාන ගණනාවක් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ අනුරාධපුරය වැනි ස්ථාන තිබෙන්නේ එකක් හෝ දෙකක් පමණක් බවයි. නමුත් අප අනෙකුත් ප්‍රදේශ මෙන් අනුරාධපුරය දියුණු කිරීමට කටයුතු කර නැහැ. ඒ වගේම අපේ වැදගත් පුරාවිද්‍යා, ආගමික හා ඓතිහාසික ස්ථාන පිළිබඳව අප ලෝකය දැනුවත් කර නැහැ. එම නිසා ඒ සඳහා විදේශ ආධාර ද ලබාගෙන විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වනවා. එවිට ආගමික හා සංචාරක වශයෙන් විශාල පිරිසක් මේ ප්‍රදේශවලට පැමිණෙනවා.

අද අප අනුරාධපුරයට පැමිණි විට මේ ප්‍රදේශයේ ගත කරන්නේ දිනයෙන් භාගයක් පමණයි. අප ඊජිප්තුවට ගියහොත් දින 5 ක් පමණ ද, තායිලන්තයේ සංචාරය කරනවා නම් දින 3 ක් පමණ ද ගත කරනවා. නමුත් ථෙරවාදී බුද්ධාගමේ මූලාරම්භය වන අනුරාධපුරයේ ගත කරන්නේ දිනයෙන් භාගයක් පමණයි. ඒ වගේම අනෙකුත් කතෝලික සිද්ධස්ථාන නරඹන්නේ නැතිව වතිකානුව පමණක් නැරඹීමට දින 3 ක් පමණ ගතවෙනවා.

කෙසේ නමුත් ථේරවාදී බුද්ධාගමේ මූලාරම්භය වන අනුරාධපුරයේ වැඩ කටයුතු ඉටු කිරීමට අපට නොහැකි වුණා. අපට අපේ සිද්ධස්ථාන, පූජනීය ස්ථාන ආරක්ෂා කිරීමට නොහැකිව නමට පමණක් බෞද්ධයන් වීමෙන් ඵලක් නැහැ. එම නිසා අප එම බෞද්ධ සිද්ධස්ථාන හා පූජනීය ස්ථානවල වැඩ කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.

අද අප විවෘත කළ මිහින්තලා රජමහා විහාරස්ථානයේ ආලෝක පූජා වැඩසටහන සඳහා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට මෙන්ම අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ අමාත්‍යාංශය වෙත ස්තුතිය පළ කරනවා. ඒ වගේම අනුරාධපුරයේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මට උදව් උපකාර කරන පී. හැරිසන් ඇමැතිතුමාත්, චන්ද්‍රානි බණ්ඩාර ඇමැතිතුමියත්, ඇතුළු සියලූ දෙනා සමගම අනුරාධපුරයේ දියුණුව ඇති කිරීමට කටයුතු කරන බව කිව යුතුයි.