මේ වෙලාවේ මහජනතාවගේ ලොකුම බලා‍පොරොත්තුව එ.ජා.ප.ය – පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමthewarapperuma
එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ තියෙන ලොකුම දේශපාලන යාන්ත්‍රණය. අපේ මැදිහත් වීමෙන් තමයි ‍පොදු අපේක්ෂකයා දිනෙව්වෙත්. මේ වෙලාවෙ මහජනතාවගෙ ලොකුම බලා‍පොරොත්තුව වෙලා තියෙන්නෙත් එක්සත් ජාතික පක්ෂෙ තමයි.

අනිත් පැත්තෙන් ජනතාව මේ පැරැද්දුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා විතරක් ‍නෙවෙයි. ඔහු වටා ඉන්න ඇමැතිවරුන් එක්ක තමයි පරාජය කරලා තියෙන්නෙ.

යහපාලන ආණ්ඩුවෙන් යම් යම් වැඩපිළිවෙළවල් ගැන ජනතාවගේ ‍පොඩි ‍පොඩි කලකිරීම් තියෙනවා. අනික මේක නියම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ‍නෙවෙයිනෙ. මෙකෙ රාජිතත් ඇමැති කෙනෙක්. පාඨලීත් ඇමැති කෙනෙක්. එස්. බිත් ඇමැති කෙනෙක්. මේ ගැනත් මිනිස්සුගෙ වැඩි ප්‍රසාදයක් නැහැ. ඉක්මනින් ඡන්දෙකට ගිහින් අලුත් ආණ්ඩුවක් පත්කරගත යුතුයි.

නිමල කොඩිතුවක්කු


යහපාලන ආණ්ඩුව අපේ ජනපතිත් කොළපාට කරගෙන – ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්තsusil
මේ ආණ්ඩුව බලයට එන්න කලින් ‍පෝස්ටර් ගැන කිව්වා. හැබැයි අද ආණ්ඩුව මොකද කරන්නේ දින 100 බෝඩ් ගහනවා. ‍පෝස්ටර් ගහනවා. බලන්න අර රාජගිරියේ මැක්ඩොනල් එක ගාව ගහපු යෝධ කටවුට් එක. මේවට සල්ලි කොහෙන්ද? බලන්න ආණ්ඩුව මේ දවස්වල බඩු බෙදන බෙදිල්ල.

කොළඹ දිස්ත්‍රික්කයේ එක දේශපාලනඥයෙක් අවිස්සාවේල්‍ලේ ඉඳලා කුරුඳුවත්තට යනකම් ගෑස් සිලින්ඩර් බෙදනවා. ආණ්ඩුව මේ ගැන හීන් කෙඳිරියක්වත් නෑ. මේ යහපාලන ආණ්ඩුව දැන් අපේ ජනාධිපතිතුමාවත් කොළපාට කරගෙන.

නාලක සංජීව දහනායක


යූ. ඇන්. පියේ යහපාලනය ගෙදර යවන්න කාලය උදාවෙලා  -සබරගමුව මහ ඇමැති මහීපාල හේරත්mahipala-herath
සමෘද්ධි සංවර්ධනය තුළ ගමට ගෙනාපු බැංකුව විනාශ කරන්න සජිත් ප්‍රේමදාස එයාගේ හෙංචයියලාට දෙන ණය ක්‍රමය වහාම නවත්තන්න කියලා අපි සියලු දෙනාට කියනවා. මේ කාරණාව ජනාධිපතිතුමා දැන ගනිත්වා. සියලු ඇමැති මණ්ඩලය දැනගනිත්වා. මේ සජිත් ප්‍රේමදාස මේ තනතුරින් වහාම ඉවත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

දැන් එකතුවෙලා ඉන්න මහ ජනරැල්ල දිහා බලද්දී පේනවා යූ.එන්.පී. ආණ්ඩුවේ යහපාලනය ගෙදර යවන්න කාලය උදා වෙලා කියලා. අපි සියලු දෙනා එකතු වෙලා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් එකතු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ගේනවා ගේනවාමයි. යූ. එන්. පී. එකට පාඩම් උගන්වන්න අපි අත්වැල් බැඳගෙන එකාවගේ කටයුතු කරනවා.

අමිල බණ්ඩාර


යහපාලනය හෙළුවෙන් දුවන කාලයක් මේ – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශwimal weerawansa
මහ බැංකු බැඳුම්කර ‍ප්‍රෝඩාව නිසා සිදුවූ පාඩුව විශාලයි. ඒ පාඩුවෙන් අධිවේගී මාර්ග දෙකක් හදන්න තිබුණා. ඒත් මේ ආණ්ඩුව බලයට පත්වෙන්න කලින් කිව්වේ අපි අධිවේගයෙන් ගහනවා කියලයි. අද මේ අය අත්සන් කරන්නේ ඉංග්‍රීසියෙන්.

ජනතාවට ඒවා තේරෙන්නේ නෑ. රවි කරුණානායකට තිබුණ විනිමය වංචා නඩුව තාක්ෂණික දෝෂයක් නිසා අවසන් කළා කිව්වා. අද අධිකරණයට ස්වාධීන නඩු තීන්දු ගන්න බැරිවී තිබෙනවා. විනිසුරුවන්ට බලපෑම් එල්ල කරනවා. යහපාලනය හෙළුවෙන් දුවන කාලයක්. මම මේ කියන්නේ නැකත්කරුවන්ගෙන් අහලා නමෛයි. රටේ පවතින දේශාපාලන වාතාවරණය අනුවයි. සැප්තැම්බරයෙන් පස්සේ මහා මැතිවරණය තිබිබොත් මහින්දට එන ජන රැල්ල මීට වඩා වැඩියි. ඒ නිසා ඊට පෙර මැතිවරණය තියනවාමයි.


අගමැති රනිල් අද ඉන්නේ හොරට ඔක්සිජන් ගහගෙන – අනුර කුමාර දිසානායකanura-kumara
අද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතුව හොරගල් අහුලනවා. පාර්ලිමේන්තුව මෙහෙම විසුරුවන්නේ නැතුව හිටියම මහින්ද පිල දියාරු වෙලා යයි කියලා හිතාගෙන තමයි මේ වැඩේ කරන්නේ. නමුත් ඒකෙන් වෙන්නේ රාජපක්ෂ පිල තවත් ශක්තිමත් වෙන එක. මේ වෙන කොට රනිල්ට අගමැතිකමේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නෑ. අප්‍රේල් 23 වෙනතුරු පමණයි අගමැති කමේ ඉන්න ඔක්සිජන් තියෙන්නේ කියලයි කීවේ. දැන් මේ ඉන්නේ අගමැතිකමේ හොරාට ඔක්සිජන් ගහගෙන.


රට වැනසූ හොර කල්ලිය ගැන ජන සිත් තුළ ඩවුන් ලෝඩ් වෙලා ඉවරයි – නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකRanjan Ramanayake
ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඉන්නේ ඇත්තට වයිෆ්ලා නඩු දාපු, රත්තරන් මාල කඩාගත්ත, කුඩු ගෙනාව, එතනෝල් ගෙනාව කට්ටිය තමයි. පසුගිය කා‍ලේ රට විනාශ කළ හොර කල්ලිය ගැන ජනතාවගේ සිත් තුළ ඩවුන් ලෝඩ් වෙලා, සේව් වෙලා ඉවරයි. ඒ බව වේදිකාවල අප කෑ ගහලා කීව නිසා තමයි ලක්ෂ 62ක් ජනතාව විධායක ජනපතිවරයෙක් පරද්දලා ගෙදර යැව්වෙ. තුනෙන් දෙකේ බලය තිබුණු ජනපති කෙනෙක් ගෙදර යැව්ව අපිට මේ පැරදුණු ජනපතිවරයෙක්ව පරද්දන එක වැඩක්ද? විශ්වාස භංග ගේනවා කිය කියා කෑ ගහන චන්ඩි දැන් හංදි හංදි ගානේ ඉන්නවා. අපේ අසාර්ථක වුණ ගොඩක් දේවල් තියෙනවා. අපිට සුදුවෑන් දාන්න බැරිවුණා.

මාධ්‍යවේදීන්ට පහර දෙන්න බැරිවුණා. එතනෝල් ගේන්න බැරිවුණා. කප්පම් ගන්න බැරි වුණා. අඩුම ගානේ එක මාලයක් වත් කඩා ගන්න බැරිවුණා. අපි දඩයම් කරන්නේ හොරුන්ව විතරයි. අපි හදපු චෝදනා නෑ. මේ වගේ විහිලු විශේෂයෙන් විකාර විපක්ෂයක් අපි කවදාවත් දැකලා නෑ. ඔය කියන දෝෂාභියෝග ගේනවා කිව්වට අපි බය නෑ.

අමිල බණ්ඩාර


මහාවංශය කියවන්න බැරිනම් සිරි පැරකුම්, වීර පුරන්අප්පු වගේ චිත්‍රපට බලන්න කියා අර්ජුනට කියනවා – පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිලudaya
මහින්ද රාජපක්ෂ මැතිතුමා පන්ස‍ලේ දේශපාලනය කරන බවට උද්ඝෝෂණයක් පැවැතියා. අර්ජුන රණතුංග ඇමැතිතුමා පවසා තිබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා පන්ස‍ලේ කරන දේශපාලනය හිරිකිතයි කියා. බටහිර ආභාෂයට ඉගෙනගත් නිසාත් අපේ ඉතිහාසය හා උරුමය පිළිබඳ නොදන්නා නිසාත් තමයි ඔහු එසේ පවසන්නේ. මේ රටේ දේශපාලනයේ කේන්ද්‍රය පන්සලයි. රටේ පාලකයා බිහි කළේ වැරදි කරන විට කනෙන් ඇද ඉවත් කළේත් පන්සලයි. ඒ කා‍ලේ යුද්ධ මිස ඡන්ද තිබුණේ නෑ. යුද්ධය පැරදුනොත් රජතුමාව සඟවාගෙන ඉඳලා රජතුමාව ‍පෝෂණය කරලා, ආරක්ෂා කරලා නැවත රජු පුටුවේ වාඩි කෙරුවේ පන්සලයි, හාමුදුරුවෝයි විතරමයි.

මේ අපේ අර්ජුන රණතුංග මැතිතුමා මහාවංශය කියවා නැති බවයි පෙනෙන්නේ. මහාවංශය කියවා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම්, ඒක පාලියෙන් තිබිම නිසා තේරුම් ගැනීමට අපහසු නම්, අපි එතුමන්ගෙන් ඉල්ලා සිටිනවා මහ රජු ගැමුණු, සිරි පැරකුම්, වීර පුරන්අප්පු වගේ චිත්‍රපටයක් වත් බලලා මේ රටේ උරුමය හා ඉතිහාසය ගැන ඉගෙන ගන්න කියලා.

මංජුල ප්‍රදීප් වීරසූරිය


එජාපයේ මඩ ප්‍රහාරවලින් මහින්ද නතර වෙන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරManusha Nanayakkara
රට ජාතිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ තියෙන්නේ දෙබිඩි පිළිවෙතක්. අද ඒ පක්ෂයේ මඩ වබේ අඩවි යළිත් ක්‍රියාත්මක වෙලා. මේ මඩ වබේ අඩවිවල කර්තව්‍යය තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් ඔහු සමග සිටින ක්‍රියාකාරීන්ටත් මඩ ප්‍රහාර එල්ල කිරීම.

එක්සත් ජාතික පක්ෂය අවලාද කන්දක් ගොඩ ගැහුවත් අපේ කඳවුරු දියාරු කළ නොහැකියි. ඒ මඩ ප්‍රහාර හමුවේ අපි දිනෙන් දින ශක්තිමත් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මඩ ප්‍රහාරවලට කවදාවත් මහින්ද රාජපක්ෂ මහතාගේ ගමන නතර කරන්න බෑ.

නාලක සංජීව දහනායක