එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප්‍රකාශයට පත්කරන ලද ජාත්‍යන්තර පරිසර දිනය වසරක් පාසා ජුනි 05 වැනි දින ලෝකය පුරා සැමරේ. ඒ අපේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට විශේෂිත වූ දිනයක් හැටියට සැලකෙන ‍පොසොන් ‍පොහෝ දිනට දින තුනකට පසුය.

වාර්ෂිකව එක් එක් තේමාවන් යටතේ මෙම පරිසර දිනය සැමරෙන අතර මෙවර තේමාව වී ඇත්තේ ‘එක මිහිමඬලක් තුළ ජීවත්වන බිලියන 07ක ජනකායක් අරපරෙස්සම් වෙමු’ යන්නය.

බුදුදහම හා පරිසරය ගසට ‍පොත්තත්, ‍පොත්තට ගසත් මෙනි. බුද්ධ චරිතය ශෝභාමත් වී ඇත්තේද පරිසරය සමගය. බුදුදහමේ බොහෝ දේශනා පරිසරය හා බැඳුණ කරුණුය.
බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල් දිනය සැමරීම අපේ බෞද්ධ ජනතාව ඉතා උසස් ලෙස සිදු කරන්නා සේම ඊට නොදෙවැනි ලෙස මහින්දාගමනය සිදුවූ ‍පොසොන් දිනය සමරනු ලබන්නේ එය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ඉතා ශ්‍රේෂ්ඨ වූත් විශේෂිත වූත් දවසක් වන නිසාය.

අනුබුදු මිහිඳු මහරහරතන් වහන්සේ ක්‍රි.පූ. 3 වැනි සියවසේදී ශ්‍රී ලංකාවට වැඩම කරවනු ලබන්නේ මහා භාරතයේ රජ කරවූ ධර්මාශෝක අධිරාජයාගේ ධර්මදූත වැඩපිළිවෙළෙහි එක් පියවරක් ලෙසිනි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන දූත පිරිස ශ්‍රී ලංකාවට බුදු දහමේ පණිවුඩය රැගෙන වැඩම කරවීම මුඛ්‍ය පරමාර්ථය වුවද ඒ තුළ දේශපාලන, ආර්ථික හා සමාජමය සංසිද්ධීන් කිහිපයක් සාකච්ඡා වේ. එමෙන්ම උන්වහන්සේගේ වැඩම කරවීම අරබයා ශ්‍රී ලංකාවටත්, මෙහි ජනතාවටත් උදාවූ යහපත් ප්‍රතිඵල බොහොමයකි.

මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවූයේ ශ්‍රී ලාංකික ජනතාව, මෙහි දේශපාලන පසුබිම, චාරිත්‍ර වාරිත්‍ර, ඇදහීම් හා පරිසරය පිළිබඳ අධ්‍යයනයකින් පසුව බව පැහැදිලිය.

ශ්‍රී ලංකාව සමග වෙළෙඳ ගනුදෙනු කළ ව්‍යාපාරික ප්‍රජාව මගින් හා ‍ලේඛනගත කරුණු හා දේශාටකයන් හරහා උන්වහන්සේ පූර්ණ දැනුමක් ලැබූ බව බුද්ධිමතුන්ගේ අදහසය.

එමෙන්ම ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ පූනරි දිස්ත්‍රික්කයේ වනගතව පිහිටා ඇති ‘කන්හේරී’ ගල් ගුහා පරිශ්‍රයේ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමට පෙර සතියක් ගත කළ බව එහි ශිලා ‍ලේඛනවල සඳහන්ය. මෙම ස්ථානය අජන්තා ගල්ගුහාවල ඇති කැටයම් හා චිත්‍රවලට සමාන දැකුම්කලු හා විස්මිත නිර්මාණවලින් සමන්විත වූ රමණීය ස්ථානයකි.

මෙම ස්ථානය විද්‍යාස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය මධ්‍යස්ථානයක් වන අතර ශ්‍රී ලංකාවේ සිට යනෙන විශාරදයන්ද මෙහිදී හමුවන අතර මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාව ගැන වැඩි දැනුමක් ලබාගන්නට ඇත්තේ මෙහිදී බවට සාක්ෂි ඇත.

සොබාදහමේ සංරක්ෂණය අළලා දහම් දෙසූ අපගේ ශාස්ත්‍රෘවරයාණන් වහන්සේගේ ශ්‍රාවකයකු වූ මිහිඳු මහරහතුන් වහන්සේගේ ලංකාගමනය සහ බැඳුණු පරිසරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීම කාලෝචිතය.

මහින්දාගමනයට පෙර මෙහි ජීවත් වූ ජනතාවද පරිසරය හා බැඳුණු ජීවිතයක් ගත කළ පිරිසක් බව පැහැදිලිය.

බුදු පියාණන් තෙවරක් ශ්‍රී ලංකාවට වැඩම කළ බවට සාධක ඇති අතර, මහින්දාගමනය වනවිට මෙහි විසූ ශ්‍රී ලාංකිකයන් බුදු දහම පිළිබඳ අසා දැනගෙන හෝ සිටින්නට ඇති බව වංශ කතාවලින් පැහැදිලි වේ.

එකල මෙහි සිටි යක්ෂ, නාග ගෝත්‍රික පිරිස් පරිසරය හා බැඳුණ සිරිත් විරිත් මෙන්ම ඇදහීම් විශ්වාස කළහ. එදා ඔවුහු අදෘශ්‍යමාන හා විශේෂිත ශක්තීන්වලින් යුත් හිරු, සඳු, වෘක්ෂ. ගල්, පර්වත හා ගංගා, දියඇලි, කෙරෙහි මහත් භක්තියකින් පසුවූ බැවින් ඒවාට ගරු බුහුමන් කළහ.

පරිසරයේ ආරක්ෂාවට එම අසීමිත ගරුත්වය හේතු වූවා නිසැකය. මිහිඳු මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ආගමනයෙන් පසුව තම නැගණිය වූ සඟමිත් තෙරණිය ලවා දඹදිව ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාවක් අප රටට වැඩම කරවනු ලබන්නේද මෙහි ජනතාවගේ ඇදහීම්වලට හා පරිසරයට අනුගත වන නිසාය.

මහින්දාගමනය සිදුවන විට මෙහි රජ කළ දෙවනපෑතිස් මහ රජුට ඉදිරිපත් කළ බුද්ධි පරීක්ෂණයද, ඉන්පසු දේශනා කළ ‘චූලහත්ථිපදෝපම සූත්‍රය’ ද පරිසරය සමග බැඳුණු කදිම ධර්ම සන්නිවේදනයන්ය. ගහකොළට ආදරය කරන, සතා සීපාවාට කරුණාව දක්වන, ඒ හා බැඳී දිවි ගෙවන පිරිසට බුදු පියාණන් වහන්සේද පහසුවෙන් ධර්මය අවබෝධ කරවනු පිණිස යොදා ගත්තේද පරිසරය තුළින් තෝරාගත් උදාහරණ හා උපමා කතාය. ඒ හා සමානව මිහිඳු මහරහතන් වහන්සේ අපට දහම් අවබෝධ කරලීමට තෝරා බේරාගත් පරිසර දහම ඉතා කදිමය.

බුදු දහමත් සමගම අපට පුරුදු පුහුණු කළ සංස්කෘතිය එදා පරිසරය හා බැඳුණ ජීවිතයක් ගත කළ අපේ ඇත්තන්ට නුහුරු නුපුරුදු දෙයක් නොවුණි. පරිසරයට ආදරය කරන්නට, කරුණාව, දයාව, මෛත්‍රිය, අවිහිංසාව වැනි ගුණධර්ම පුරුදු පුහුණු කළ මනාය. එවන් සිතුවිලිවලින් සිත් සතන් පරිපූර්ණත්වයට පත් කිරීමට දහම් දෙසූ මිහිඳු මහ රහතන් වහන්සේ නිවී සැනසුන දිවිමගට සරිලන සේ කලාව, සාහිත්‍යය හුරුපුරුදු කරන ලද්දේ චාම් ජීවන රටාවකට අපව ප්‍රවිෂ්ට කරවීමේ පරමාර්ථයෙනි.

දුනු හී අයා සතුන් දඩයමේ ගිය පාලකයාට අවිහිංසාවාදී, සහනශීලී දිවි පවෛතක අගය පළමුව දේශනා කොට දැහැන්ගත කිරීමෙන් අනතුරුව සෙසු ජනතාව ඒ මගට ප්‍රවිෂ්ට කරවීම පහසු යැයි අරහත් නුවණින් විමසා වදාළ මෙතුමෝ පසුව මුළු ශ්‍රී ලාංකිකයන්ටම එය පසක් කරලීමට උත්සුක වූහ. එහෙයින්ම මිහිඳු මහරහතුන් අග්‍රගණ්‍ය ධර්ම සන්නිවේදකයකු වශයෙන්ද පසක් වේ.

අද අප රටේ පරිසරය දූෂණය වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ බුදු දහමට අනුව මිහිඳු මාහිමියන් අපට කියාදුන් අල්පේච්ඡතාව නොසලකා හැරීමය.

දිනකට ලක්ෂ දෙකකින් ගෝලීය ජනගහනය ඉහළ යන මෙම වකවානුවේදී ස්වභාවික සම්පත්වල අගහිඟතාව මිනිසා අද මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බවට පත්වී ඇත. මිහිඳු දහමෙන්ද අපට ඉගැන්වූ සහනශීලී, චාම් පරිභෝජන රටාවට යළි කැපවීමේ අවශ්‍යතාව මතුවී ඇති බව පැහැදිලි වන්නේ ලෝකයේ මතුවෙමින් තිබෙන මහා භූත සතරේ දූෂණය දිනෙන් දින ඉතා සීග්‍රයෙන් ඉහළ යන බැවිනි.

මෙවර පරිසර තේමාව වන ‘අරපරෙස්සම’ හෙවත් කළමනාකරණය අපට බුදු දහමින් ලැබුණ මහඟු ඉගැන්වීමකි. අනුරාධපුර යුගයේ ආරම්භ කෙරුණ ගොඩනැගිලි, වැව්, ෙචෙත්‍ය, ප්‍රතිමා, කලා නිර්මාණ, කෙත් වතු ආදී සියලු සංවර්ධන ක්‍රියාදාමයන් හැඩගැසුණේ හා ක්‍රියාත්මක වූයේ මිහිඳු සංස්කෘතියෙන් දායාදය ලැබූ ‘අරපරෙස්සම’ නිසාය.

මිහිඳු මාහිමියන්ගෙන් දෙවනපෑතිස් රජුට ලැබුණ අනුශාසනය වූයේ රටක ජනතාවට බරක් නොවන ලෙස යහපාලනයක් ඇති කළ යුතු බවය. බුදු දහමේ සඳහන් ‘දසරාජ ධර්මය’ තිස්ස රජුට පහදා දුන් අතර එය ශ්‍රී ලාංකික රාජ්‍ය පාලකයාගේ හා පාලනයේ මූලිකාංගය ලෙස ඉතිහාසය පුරා සනිටුහන් විණි.

එයට හේතුව ආර්ථිකය හා පරිසරය තිරසාර සංවර්ධනයේ අඩිතාලම හා යහපැවැත්මේ හර පද්ධතිය වන නිසාවෙනි.

බුදු දහමේ පණිවුඩය රැගෙන ආ මිහිඳු මහරහතන් වහන්සේගේ අභිප්‍රාය වූයේ අපට බුදුදහම පහදාදීම පමණක් නොවේ. ශ්‍රී ලාංකික ජනතාව බුදු දහමෙන් ‍පෝෂණය වූ දැහැමි, අදීන ජාතියක් ලෙසට පත්කිරීමද අධිෂ්ඨානය වූ බව උන්වහන්සේ එකින් එක දියත් කළ ක්‍රියාදාමය අනුව පෙනී යනු ඇත.

දහම විකෘති කරමින්, දහමෙන් යැපෙන ක්‍රියාවන් බුදු දහමේ උන්නතියට යැයි හඟවමින් මෑතදී මතුවෙමින් තිබෙන ක්‍රියාදාමයන් හැරුණු විටත් අදත් අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ඇටමිදුළු, ‍ලේ නහර ඔස්සේ දිවයනුයේ සමිඳුනි එදා ඔබවහන්සේ අපට කියාදුන් දහම හා හැදියාවයි. එහෙයින්ම අදත් අප ලෝකයා හමුවේ පිළිගැනීමට ලක්වී ඇත්තේ ඔබවහන්සේ අපට කළ ඒ දායාදයන් නිසා බව කෘතවේදීව සිහිපත් කර සිටිමු.

ආචාර්ය මාදම්පාගම අස්සජි හිමි
සභාපති ශ්‍රී ලංකා පරිසර සම්මේලනය