මූල්‍ය ක්‍රමය, බැංකු ක්‍රමය, ණය ක්‍රමය බිඳ දමා රටේ සමස්ත ආර්ථික කඩා වැටී තිබියදී රටේ මුදල් සම්බන්ධ බලය තිබෙන පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට වත්තක කුලියට වැඩකරන කුලීකාරයන් ලෙස වැඩකරන්නට පුළුවන් කමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

රටට, රටේ ආර්ථිකයට අහිතකර විවිධ දේ සිදුවෙන විට එය වළක්වන්නට මහජන නියෝජිතයන්ට නොහැකි නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරන්නේ කුලී කාරයකුගේ කාර්ය මිස විපක්ෂයේ මහජන නියෝජිතයකුගේ කාර්යභාරය නොවන  බව හෙතෙම කීවේය.

එසේ හෙයින් පාර්ලිමේන්තුවේ අන් සියලු කාරණා පසෙකට ලා ප්‍රමුඛ කාර්ය ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගත යුතු බවද ඔහු පැවසීය.

නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (01) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව අමතමින් බන්දුල ගුණවර්ධන මහතා අදහස් දැක්වීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේද කීය
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කොට කථානායකවරයාට භාරදී තිබියදී ඔහු රටේ ආර්ථිකයට, මුදල් ක්‍රමයට, බැංකු ක්‍රමයට, ණය ක්‍රමයට, රටට අහිතකර ලෙස අසත්‍ය ප්‍රකාශ දිගින් දිගටම කරනවා.

පසුගිය 29 වැනිදා ජාත්‍යන්තර වෙළෙඳ‍පොළෙන් ස්වෛරී බැදුම්කරයක් නිකුත් කළා. ඇමෙරිකානු ඩොලර් මිලියන දහයක් ලබාගැනීම සඳහා ඉන් මිලියන 60 ක් ලබාගත්තා. යුද්ධය අවසන් වූ පසුව දිගටම නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කරවලට වඩා ඉතා ඉහළ ගිනි ‍පොලියකටයි මේ ණය මුදල ලබාගත්තේ.

මේ මිලියන 650 අරන් තිබෙන්නේ සියයට 6.125 ‍පොලී ප්‍රතිශතයකටයි. මීට පෙර හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ  මහතා 2014 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1500 ක් ණයට ගැනීමේදී ‍පොලී අනුපාතය වුණේ 5.125 යි. එය මීට වසරකට පෙරයි.

රටේ උද්ධමනයේ අනුපාතය අඩුවෙන කොට ලෝකේ කොහේවත් ‍පොලී අනුපාතය වැඩවෙන්නේ නෑ. උද්ධමනය අඩුවෙන කොට, රටේ ආර්ථිකය හොඳ වෙනකොට, ජාත්‍යන්තරව පිළිගන්නා මූල්‍ය ස්ථාවරත්වය වැඩිවෙනකොට, සහනදායී ‍පොලියට ණය ලබාගන්න පුළුවන් වෙන්න ඕන. සමස්ත මුදල් ක්‍රමය, බැංකු ක්‍රමය කඩා වට්ටලා,  මහ බැංකුවේ වූ දැවැන්තම වංචාව සිදුවී එය වසන් කරගෙන සිටින බව ජාත්‍යන්තර ලෝකය දන්න නිසා තමයි මෙවැනි ගිනි ‍පොලියකට ආණ්ඩුවකට ණය ගන්න සිදුවී තිබෙන්නේ.

මීට වසරකට පෙර මේ ජාත්‍යන්තර වෙළෙඳ‍පොළටම ගොස් ශ්‍රී ලංකා මහබැංකුව 5.125 ක ‍පොලියකට ඩොලර් මිලියන 1500 ක් ගන්නකොට ඩොලර් මිලියන 650 ගන්නේ සියයට 6.125 ක ‍පොලියකටයි. ගිය ආණ්ඩුවෙන් සියයට 5 ක ‍පොලියට ජාත්‍යන්තර වෙළෙඳ‍පොළෙන් ණය ගන්න විට එදා විපක්ෂයේ සිටි රවී කරුණානායක මහත්තයා කිව්වේ මේකෙන් සියයට 2 ක් මහින්ද රාජපක්ෂ මහතාට කොමිස් තිබුණා කියා. සියයට 5.125 ක් මහින්ද රාජපක්ෂට සියයට 2 ක කොමිස් තිබිලා තිබෙනවා.

එහෙම නම් දැන් කොමිස් සියයට 3 ක් තියෙන්න ඕනනේ. 5.125 ට සියයට 2 ක් කොමිස් නම් 6.125 ට ගන්නකොට සියයට 3 ක් කොමිස් මුදලක් ලැබි තිබෙන්න ඕන. එසේ නම් හෙළිදරව් කරන්න ඕන කොමිස් මුදලක් ලැබුණද කියා. මේ බොරුව ගෙනියන්න බෑ. තුන්වැනිදා හදිස්සියේ පාර්ලිමේන්තුව කැඳවා තිබෙනවා.

අනෙක් සියලු කාරණාවලට ප්‍රථම විපක්ෂය විසින් රවී කරුණානායක මහතාට එරෙහිව භාරදී තිබෙන විශ්වාසභංගය යෝජනාව ප්‍රමුඛතාවය සහිත කටයුත්ත සේ සලකා ව්‍යවස්ථාදායක සභාවක් ඇතුළු අනෙක් සියලු දේ පත්කරන්න කලින් විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න කියන ඉල්ලීම   විපක්ෂ නායකවරයාටත් බලකර ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වත්තක කුලියට වැඩකරන කුලීකාරයන් ලෙස වැඩකරන්න පුළුවන් කමක් නෑ. රටට, රටේ ආර්ථිකයට අහිතකර විවිධ දේ සිදුවන විට එය වළක්වන්න මහජන නියෝජිතයන්ට බැරි නම් අපි කරන්නේ කුලී කාරයකුගේ කාර්ය මිස විපක්ෂයේ මහජන නියෝජිතයකුගෙ කාර්යභාරය නොවේ.

මුදල් පිළිබඳ බලය තියේනනේ පාර්ලිමේන්තුවටයි. මුදල් පිළිබඳ දැවැන්ත වංචා සිදුවී තිබියදී ඒවා සියල්ල වසමින් ගිනි ‍පොලියට ණය අරගෙන ආර්ථිකය දුවන්න හදනවා. නමුත් දුවාගන්න බැරිව සමස්ත රට කඩාවැටී තිබෙනවා. දහස් ගණන් රස්සා නැතිවී තිබෙනවා. මේ නිසා තුන්වනදා රැස්වන පාර්ලිමේන්තුවේදී අනෙක් සියලු කාර්යයන්ට ප්‍රථමයෙන් රටේ මුදල් ක්‍රමය, බැංකු ක්‍රමය, ණය ක්‍රමය හා ආර්ථික කඩාවැටීම සම්බන්ධයෙන් ප්‍රධාන වගඋත්තර කරුවකු වන මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්න ලෙස බලකර සිටිනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා
‘එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදයේ සළුව වනන ගමන් අනෙක් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය වළලා දැමීමත් අද සිදු වෙනවා, කියලා කියන්නේ අපි නොවෙයි’ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මැතිතුමායි. හංසයාට ඡන්දය දීපු කෙනෙක් හැටියට මේ ඊනියා යහපාලන ආණ්ඩුවට මාස 3 1/2ක් ගත වන කොට එතුමා කියනවා. ‘අගමැතිවරයා විසින් පොලිස්පතිවරයාගේ බලතල සියතට ගෙන මෙහෙයවන මූල්‍ය අපරාධ කොට්ඨාසයක් තියෙන්න බැහැ. කියලා. එවැනි පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කරලා තිබෙනවා පමණක් නොවෙයි ඒ අය දිනපතාම විපක්‍ෂයේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල අය දඩයම් කිරීමෙහි නියැළෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමියට ලබාදී තිබෙන ඉලක්කය, ‘දින 100යි, නඩු 10යි’ කියන එකයි. නඩු 10 දාන්න  ඕනෙ අයගේ නම් ටිකත් මේ ඊනියා යහපාලකයන් විසින් ලබා දී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදයේ සළුව වැනුවාට රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායක සභාවට ඇමැතිවරුන් දාන්න බැහැ. ඔවුන් විධායකයේ කොටසක්. එදා 19 වැනි සංශෝධනය සම්මත වුණේ ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීමේ ඉඩකඩ සලසා දෙමින්. ජනාධිපතිවරයා, අගමැතිවරයා විපක්‍ෂ නායකවරයා විසින් පත් කළ යුත්තේ ඇමැතිවරුන් නොවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්.

ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මහජන නියෝජිතයන් මිස විධායකය නියෝජනය ඇමැතිවරුන් නොවෙයි, ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුත්තේ. ඒ බව පැහැදිලිව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වෙනවා.

මේ විපක්‍ෂය පාර්ලිමේන්තුව තුළ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් සිටින විපක්‍ෂයක්. අපි හෙට, අනිද්දා අගමැතිට එරෙහි විශ්වාසභංගයය භාර දෙනවා. මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය න්‍යාය පුස්තකයට අතුළත් වෙලා තිබෙනවා. ඒවාට ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ. තමන්ට  ඕනෑ ඒවාට පමණක් ප්‍රමුඛත්වය දෙනවා. ඒත් කමක් නැහැ පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවා නම්. ඒ නිසා අපි දැඩි ලෙස විරුද්ධයි, ඉදිරිපත් කොට තිබෙන විශ්වාසභංග යෝජනාවකට ඉඩකඩ නොදී පාර්ලිමේන්තුව තමන්ගේ  ඕනෑ එපාකම් වෙනුවෙන් හදිසියේ කැඳවීමට.

මම අහගෙනයි, ස්වදේශීය කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමා ගුවන්විදුලි නාලිකාවකට ප්‍රකාශයක් කරනවා, ජාතික කොඩිය වෙනුවට රාජ්‍ය උත්සවවලදී එසවීම සඳහා අලූත් කොඩියක් නිර්මාණය කර ගෙන යනවා’ කියලා.
අපි දන්නා විදිහට ජාතික කොඩියට තිබෙන ප්‍රධානතම කාර්ය තමයි රාජ්‍ය උත්සවවලදී ලෙළ දීම. රාජ්‍ය උත්සවයකටත් දාන්නේ නැතිනම් ජාතික කොඩිය දාන්නේ කොටහළු මගුලකටද?

මේ ආණ්ඩුව බලයට පත් වූවාට පසුව ප්‍රධාන රාජ්‍ය උත්සව ගණනාවක් පැවැත්වූවා. පාර්ලිමේන්තු පිටිය අසල තිබුණා නිදහස් දින සැමරීමේ උත්සවය. මාතරදී තිබුණා රණවිරු සැමරුම් උත්සවය මේ හැම උත්සවයකදීම ජාතික කොඩිය ඉතාම සීමාකාරී ලෙස තමයි භාවිතා කර තිබුණේ. මේ අයට ජාතික කොඩිය ඇලජික්. දැන් කරන්න යන්නේ තිබෙන ජාතික කොඩිය හතරට පහට නමලා පෙට්ටගමේ දාලා කිසිම ජාතික සම්මුතියක් නොමැතිව ඒ තැනට තමන්ට හිතෙන (මම දන්නේ නැහැ දේදුනු වර්ණ කොඩියක්ද කියලා) කොඩියක් ගෙනල්ලා ඒක ඔසවන්න.

මේක සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ජාතික කොඩියට අයිති තැන වෙන කොඩියකට දෙන්න බැහැ. එයාලාට ජාතික කොඩිය ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විසඳා ගත යුතුයි. එහෙම නැතිව හොර පාරෙන් වෙනත් කොඩියක් ගෙන ඒමට ඉඩදීමට බැහැ. අද මේ රට කොතැනටද රැගෙන යන්නේ? කාගේ වුවමනාවද, කාගේ න්‍යායපත්‍රය ද මේ ඉටු කරමින් සිටින්නේ?.

ඒ නිසා අපි ඉතාමත් බරපතළ ලෙස මේ රටේ ජනතාවට අනතුරු හ`ගවනවා මේ කරන්න හදන කටයුත්ත නතර කිරීම සඳහා වහාම පෙළ ගැසෙන්න කියලා.”
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා
ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත්කිරීම අගමැතිට, විපක්ෂ නායකට හා කථානායකට භාර වුණත් ඒ අය නම් යෝජනා කළත් අනිත් හැම කටයුත්තකදී වගේ මෙහිදීත් පක්ෂ නායක රැස්වීමේදී මේ නම් යෝජනා ඉදිරිපත් කොට සාකච්ඡා කිරීම සඳහා යුතුකමක් තිබෙනවා. අගමැති හා විපක්ෂ නායක දෙන්නා ඉන්නේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය නියෝජනය කරන්නයි.

එමෙන්ම ජනමාධ්‍ය ප්‍රචණ්ඩත්වයක් එක්තරා විදියකට සැලසුම් වෙමින් තිබෙනවා. එය විපක්ෂයේ යම් යම් පුද්ගලයන් ඉලක්ක කර ගෙන විවිධ ජනමාධ්‍යකරුවන් යොදා ගෙන සම්මුඛ සාකච්ඡා ස්වරූපයෙන් ඇති කරන කතාබහ අවසානයේදී රණ්ඩුවක් බවට පෙරලා අනතුරුව එය විශාල ලෙස උලුප්පා දක්වමින් පුද්ගලයන්ට පරිභව කරන්නට පිටු ගණන් පළ කරනවා. අගමැති සමග හැප්පෙන අයට මෙමගින් මාධ්‍ය ප්‍රචණ්ඩත්වයක් එල්ල කරනවා. විචාරයට අපි කැමැතියි. නමුත් ප්‍රචණ්ඩත්වය යනු මාධ්‍යකරුවන් අප සමග ඇති කර ගන්නා ආරවුල් සහගත ගැටුම් සහගත ප්‍රශ්න කිරීමේ මාදිලියයි.
20 වැනි සංශෝධනය ගෙනැල්ලා අවසන් වී තමයි විශ්වාසභංගය ගෙන ආ යුත්තේකියා ප්‍රකාශයක් රාජ්‍ය නායකයින්ගෙන් අහන්න ලැබුණා. අපි එයට ලෑස්ති නෑ. 20 සංශෝධනය එන්න පෙර තමයි විපක්ෂය මුදල් ඇමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව දුන්නේ. සාමාන්‍ය සාම්ප්‍රදාය අනුව විශ්වාසභංග යෝජනාවට ප්‍රමුඛත්වය ලැබිය යුතුයි.
දැන් ඒවා පස්සට දාලා 20 සංශෝධනය ගේන්න දරන උත්සාහයට අපි එක හෙළාම විරුද්ධයි. එමෙන්ම වෙන වෙනත් න්‍යාය පත්‍ර ඉදිරිපත් කරමින් විශ්වාසභංග යෝජනාව යටපත් කිරීමට කරන්නා වූ උත්සාහයටත් අපි විරුද්ධයි. විශ්වාස භංගය මත තමයි ආණ්ඩුවක පැවැත්ම හෝ නොපැවැත්ම රැඳෙන්නේ. ඒක කොහොමද අප්‍රධාන වෙන්නේ. මේ යෝජනාව සම්මත වුණොත් ඒ ආණ්ඩුව අස්වෙන්න ඕන. ඒ නිසා මෙවැනි තීරණාත්මක කරුණක් පස්සට දමන්නට කාටවත් පුළුවන්කමක් නෑ.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පිහිටුවන ඉහළම ආයතනය වන ව්‍යවස්ථාදායක සභාවට නම් යෝජනා කරමින් පවතිනවා. මේ නම් අතර ජනාධිපතිවරයාගේ නාම යෝජනාව වී ඇත්තේ අමාත්‍ය චම්පික රණවක මහතා හා අගමැතිවරයාගේ නිර්දේශය වී ඇත්තේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතායි. ඒ දෙදෙනා සමගම පෞද්ගලික තරහක් නෑ. නමුත් මේ නම් කිරීම යහපාලන සාම්ප්‍රදායට සම්පූර්ණයෙන් පටහැනියි.

මෙතැන බැඳියාවන් අතර ගැටුමක් තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තමයි රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයන් පත් කරන්නේ. රාජ්‍ය සේවා කොමිසම තමයි අමාත්‍යාංශවල සිටින සියලුම නිලධාරීන් මාරුකිරීම්, උසස් කිරීම් සහ විනය පාලනය අයිතිවෙන්නේ.

එතකොට ඇමැතිවරයෙක් වාඩි වී සිටින ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරන රාජ්‍ය සේවා කොමිසම නම් නිලධාරීන් පාලනය කරන්නේ අර ඇමැතිවරයාට අනෙක් ඇමැතිවරයන්ට නැති සුවිශේෂී වරප්‍රසාදයක් ලැබෙනවා. තම නිලධාරීන්ගේ විනය පාලනය, උසස්වීම් හා මාරුවීම් සම්බන්ධව. 19 වැනි සංශෝධනයේ අරමුණ වුණේ දේශපාලකයන්ගෙන් රාජ්‍ය සේවය ස්වාධීන කිරීමයි. එහෙම නම් ඒ අරමුණ ඉටුවෙන්න ඇමැතිවරයෙක් ව්‍යවස්ථාදායක සභාවේ සිටීම බාධාවක් වෙනවා.

එමෙන්ම 19 වැනි සංශෝධනයෙන් ජාතික ප්‍රසම්පාදන කොමිසම පිහිටුවනවා. ආණ්ඩුවේ සියලු මිලදී ගැනීම් සම්බන්ධයෙන්, ටෙන්ඩර් සම්බන්ධයෙන් පත් කරන කොමිසම මෙයයි. මේ කොමිසම තමයි අමාත්‍යාංශයක මිලදී ගැනීම් හරියට සිදුවනවාද ටෙන්ඩර් මගඩි වෙනවාද, කොමිස් ගහනවාද කියා හොයා බලන්න තියෙන ආයතනය. මිලදී ගැනීම් සම්බන්ධයෙන් ඉහළම මිලදී ගැනීම් තීන්දු කරන්නේ අමාත්‍ය මණ්ඩලය. ඇමැතිවරු එහි වාඩි වී මිලදී ගැනීම් තීන්දු කරනවා. කාටද මේ ටෙන්ඩරය දෙන්නේ කියන තීන්දුව ගන්නේ ඇමැතිවරුයි.

එහෙම වාඩිවෙන ඇමැතිවරු දෙන්නෙක් වන විජේදාස රාජපක්ෂ හා චම්පික රණවක යන මහත්වරු අනෙක් පැත්තෙන් ව්‍යවස්ථාදායක සභාවේ වාඩි වී අමාත්‍යාංශ හරියට වැඩේ කරනවාද කියා සොයා බලන ප්‍රසම්පාදන කොමිසමේ සාමාජිකයන් පත් කරනවා. මේක හරියට ‍පොලිස්පතිව විනිසුරුවන්ව පත් කරන්න හොරුන්ට භාර දුන්නා හා සමානයි.

අගමැතිවරයා මහනුවරදී ප්‍රකාශ කර තිබුණා එතුමාගේ අගැමතිකමට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න බෑ. මේ රටේ ජනතාවත් විපක්ෂයත් මතක තබාගත යුතුයි.

එතුමටත් ජනවරමක් තිබෙනවා කියා. කොහෙන්ද එතුමාට ජනවරම ලැබිලා තියෙන්නේ. අගමැතිවරයා සඳහන් කරන ආකාරයට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශයේ තිබෙනවා සිරිසේන මහතා ජනාධිපති වුණොත් අගමැති වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි කියා. ඒ නිසා එතුමාට ජනවරමක් තියෙනවා කියා රනිල් වික්‍රමසිංහ මහතා තර්ක කරනවා. ලෝකේ ඉතිහාසයේ කෙහේවත් ජනාධිපතිවරණවලට අගමැති අපේක්ෂකයන් නම් කරන්නේ නෑ. එය කළ යුත්තේ පාර්ලිමේන්තු මැතිවරණයේදී. ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශයකින් අගමැතිවරයෙක් නම් කරන්න බෑ. එය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී උප්පරවැට්ටි අපේ පසුගිය වසර 24 තුළම කළේ නෑ.

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී. ඒ. එච්. එම්. අස්වර් මහතාද අදහස් දැක්වීය.
ප්‍ර – ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තුවෙන් පත් කරන සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කරන්න කියා විපක්ෂයයි ඉල්ලුවේ. නමුත් එයට ඇමැතිවරු පත් කරද්දී චෝදනා කිරීම සාධාරණද?

බන්දුල ගුණවර්ධන මහතා – පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩි කරන්න කියා ඉල්ලුවට ඇමැතිවරු පත් කරන්න කිව්වේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ ඇමැතිවරු නොවෙයි.

වාසුදේව නානායක්කාර මහතා – මන්ත්‍රීවරයා හා ඇමැතිවරයා කියන්නේ ව්‍යවස්ථාදායකයයි, විධායකයයි අතර වෙනසයි. අපි කව්වේ ව්‍යවස්ථාදායක සභාවට බලය දෙන්න කියලයි. ඉතිං ව්‍යවස්ථාදායක සභාවේදී විධායකට බලය දීලා හරියන්නේ නෑනේ.

විමල් වීරවංශ මහතා – පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විධායකයේ කොටසක් නොවී, යම් මන්ත්‍රීවරයෙක් ඇමැතිකමින් ගත්තම ඔහු විධායකයේ කොටසක්. අපි කිව්වේ විධායකයේ නියෝජිතයන් දාන්න කියලා නෙවේ. පාර්ලිමේන්තුවේ නියෝජිතයන් දාන්න කියලයි. ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුද වේ. නමුත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණක්ද නොවේ. ඔහු විධායකයේ කොටසක්.

පාර්ලිමේන්තුවේ අය නම් කරන්න කිව්වම පත් කර තිබෙන්නේ ඇමැතිවරු නම් කිරීමයි. එය අරමුණ පරාජය කර තිබෙන්නක්.

ප්‍ර – දින සීය ඉවරයි. මේ ආණ්ඩුවට වරමක් නෑ. ඒ නිසා මැතිවරණයකට යා යුතුයි කියා විපක්ෂය කියනවා. එජාපයත් මැතිවරණයක් ඉල්ලනවා. එතකොට කවුද මැතිවරණයකට යාම වළක්වන්නේ?
විමල් වීරවංශ මහතා – හොයාගන්න අමාරුයි නේද?
බන්දුල ගුණවර්ධන මහතා – පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. ජනාධිපතිවරයා අපේ පක්ෂයේ නායකතුමා. එතුමා අපිව දැනුම්වත් කරන්න ඕන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් කරලා. තවම දැනුම්වත් කරලා නෑ. ඒ නිසා අපි එතුමාගෙන් ඉල්ලන්නේ මේ විශ්වාසභංගය යෝජනාව ඉක්මනින් ගේන්න. පාර්ලිමේන්තුව වහා විසුරුවා හැරලා ජනතාවට නව පාර්ලිමේන්තුවක් පත් කරන්න ඉඩදෙන්න කියායි.
වාසුදේව නානායක්කාර මහතා – පාර්ලිමේන්තුවේ බහුතරයක් සිටින කණ්ඩායමේ නායකත්වයට ආණ්ඩුව බලය භාරදෙන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ. ඒ වගේම එතුමා විසින් පත් කළ අගමැති හා කැබිනට් මණ්ඩලය ඉවත් කර ගන්න කියා ඉල්ලනවා. එය ඉවතු කර ගන්න බැරි නම් අපි විශ්වාසභංග යෝජනාවක් ගේනවා. ඉන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය නියෝජනය කරන ආණ්ඩුවක් පත් කර ගන්නවා. අනතුරුව සුදුසු කා‍ලේදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා.
ප්‍ර – පාර්ලිමේන්තුවේ බහුතරය නියෝජනය කරන කණ්ඩායමේ නායකයා අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. කොහොමද එයට ප්‍රතිචාරය?
වාසුදේව නානායක්කාර මහතා – ප්‍රතිචාරයක් ලැබුණේ නෑ.
ප්‍ර – මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබා නොදෙන බව ජනාධිපතිවරයා පවසා තිබුණා. වාසුදේව මහතා කියා තිබුණා අපි අගමැතිකම හිඟා කන්න යන්නේ නෑ කියා. මොකක්ද ඉදිරි ස්ථාවරය?
වාසුදේව නානායක්කාර මහතා – මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කර ගැනීමට අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස එජනිස අයිතිය සභාපති ජනාධිපතිට නොවෙයි. ඒ සන්ධානයේ විධායක සභාවේ බහුතරයටයි තියෙන්නේ.
ප්‍ර – විපක්ෂ නායකතුමා අස්ගිරි නාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේ දී මහනා හිමියන් කියා තිබුණා වාසුදේව මහතාගේ පාර්ලිමේන්තුවේ හැසිරීම ගැන. සමාව ගන්න ඉදිරියටවත් කටයුතු කරන්නේ නැද්ද?
වාසුදේව නානායක්කාර මහතා – නෑ.. නෑ.. නෑ.. තුන් පාරක් නෑ…
ප්‍ර – මැතිවරණයක් පවත්වන්න විරුද්ධ වෙන්නේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු සහ මැතිවරණයක් පවත්වන්න ඕන කියන්නේ ශ්‍රීලනිප දෙකඩ කරන මන්ත්‍රීවරු කියා අර්ජුන රණතුංග මහතා කියා තිබුණා.
බන්දුල ගුණවර්ධන මහතා – එය එතුමාගේ පුද්ගලික අදහසක්. ක්‍රිකට් ක්‍රීඩාව වගේ නොවේ දේශපාලනය.
විමල් වීරවංශ මහතා – එතුමා ශ්‍රීලනිපයට ආවේ මේ ජනාධිපතිවරයාදින්නට පස්සෙනේ. එතකන් වෙන කොහේද රස්තියාදු ගහගහා හිටියේ. එහෙම කෙනෙක් ඕව කතා කරලා වැඩක් නෑ.