ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතිව හොරගල් අහුලනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයක් පවත්වන්න කියා ජවිපෙ ඉල්ලා සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

දින සියය අවසන් රට වෙනුවෙන් අලුත් ගමනක් මැයෙන් පැවති ජනහමුවක් අමතමින් ජවිපෙ නායකයා පසුගිය 29දා මේ බව සඳහන් කළේය. ගාල්ල නගර ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි. අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

ජනාධිපතිතුමා අපට කිව්වා. මැයි දිනය පසුවූ ගමන් පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා. ඊට පස්සේ කිව්වා  19 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු විසුරුවනවා කියලා.

දැන් කියනවා 20 සම්මත වූ පසු විසුරුවා හරිනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදිලා තියෙන්නේ මෛත්‍රීපාල හා රාජපක්ෂ පිල වශයෙන්. ජනාධිපතිතුමා හිතනවා ඇති පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතිව ඇදගෙන ගිහින් රාජපක්ෂ පිල දුර්වල කරන්න පුළුවන් කියලා. මේ නිසා පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව ඇදගෙන යනවා. නමුත් අපට නම් පේන්නේ මේ නිසා වෙන්නේ මහින්ද පිල ශක්තිමත් වෙන එක කියලා.

පාර්ලිමේන්තුවේ අගමැති තනතුරක් තියෙනවා දැන් අගමැති ධුරය දරන්න රනිල් මහත්තයාට සදාචාරාත්මක අයිතියක් නැහැ. මන්ත්‍රීවරු 42 ඉන්න යූ. එන්. පීයේ නායකයා අගමැතිකම් කරනවා. එතුමා කියලා තිබුණා මේ ආණ්ඩුව හා අගමැතිකම් කරන්න ඔක්සිජන් තියෙන්නේ අප්‍රේල් 23 වැනිදාට විතරයි කියලා.

දැන් ඔක්සිජන් ගහගෙන හොරාට තමයි දුවන්නේ. ජනවරමක් නැහැ. රට පාලනය කරන්න මේ කැබිනට් එකට ජනවරමක් නැහැ. ගයන්ත හා පියසේන ගමගේට එකට ආණ්ඩු කරන්න ගාල්ලේ ජනතාව ජනවරමක් ලබාදීලා නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවා කියලා කියන්නේ. නමුත් අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට රට පාලනය කරන්න බැහැ. ජනාධිපතිතුමා කිව්වේ දින සියයට තමයි මේ ඇමැති මණ්ඩලය පත් කළේ කියලා. දැන් දින සියය පැනලා ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරු කවුද කියා ජනතාව දන්නේ නැහැ.

“අගමැති රනිල් වික්‍රමසිංහ කියනවා රැකියා ලක්ෂ දහයක් දෙනවා කියලා. ඇලඩින්ගේ පුදුම පහන වගේ තමයි. මේ කතා මේ පක්ෂ දෙක අවුරුදු 67ක් රට පාලනය කළා. ව්‍යවස්ථා සංශෝධනයේදී දැම්මේ කැබිනට් ඇමැතිවරු 30 රාජ්‍ය ඇමැතිවරු 40යි කියලා. නමුත් දෙගොල්ලෝ එකතුවෙලා රට පාලනය කරනවා නම් කැබිනට් ඇමැතිවරු 45යි නියෝජ්‍ය ඇමැතිවරු 55ක් කියලා දමා ගත්තා.”

විපක්ෂ නායක ධුරයේ ඉන්න විපක්ෂ නායකවරයාට අයිතියක් නැහැ. විපක්ෂ නායකවරයා කවුද කියලා ජනතාව දන්නේ නැහැ. කථානායක කියනවා බලලා කියන්නම් කියලා ඒ නිසා අගමැතිවරයාට කැබිනට් මණ්ඩලයට  විපක්ෂ නායකවරයාට අයිතියක් නැහැ මේ තනතුරුවල ඉන්න. පාර්ලිමේන්තුවේ ජනවරම දැන් ජනතාවගේ ජනමතයට පටහැනියි. හොරුන්ට දඬුවම් දෙන්න හදන විට පාර්ලිමේන්තුවේ නිදා ගන්නවා. අරාජික වූ රටක් තියෙන්නේ, අල්ලස් දූෂණ කොමිසම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අධිකරණය අමුතු තැනක් වෙලා. රට එකතැන නතර වෙලා.

රට තුළ විශාල ආර්ථික අර්බුදයක් ඇතිවෙලා. රට නතරවෙලා, භාණ්ඩ මිල වේගයෙන් ඉහළ යනවා. පුද්ගලික අංශයේ රැකියා 70,000ක් අඩුවෙලා තියෙනවා. ඉදිකිරීම්  ක්‍ෂේත්‍රයේ රැකියා 40,000ක් නතර වෙලා. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ කියනවා රැකියා ලක්ෂ දහයක් දෙනවා කියලා. ඇලඩින්ගේ පුදුම පහන වගේ තමයි. මේ කතා මේ පක්ෂ දෙක අවුරුදු 67ක් රට පාලනය කළා. ව්‍යවස්ථා සංශෝධනයේදී දැම්මේ කැබිනට් ඇමැතිවරු 30 රාජ්‍ය ඇමැතිවරු 40යි කියලා. නමුත් දෙගොල්ලෝ එකතුවෙලා රට පාලනය කරනවා නම් කැබිනට් ඇමැතිවරු 45යි නියෝජ්‍ය ඇමැතිවරු 55ක් කියලා දමා ගත්තා. දැන් මේ හදන්නේ දෙගොල්ලෝ එකතුවෙලා ව්‍යවස්ථානුකූලව රට පාලනය කරන්නයි.

රනිල් වික්‍රමසිංහගේ දින සියයේ කෙරුවාව අපි දැක්කා නේ, හොරකම් නතර කිරීම කෙසේ වෙතත් හොරකම් කඳුපිටින් කරන පක්ෂයක් බවට පත්කොට තියෙනවා. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. ඒකට ජවිපෙ සූදානම්. ඒ සඳහා අපේ පක්ෂයේ යෝජනා ලබාදී තියෙනවා. නමුත් මැතිවරණ ක්‍රමය ගැන ජනතාව තුළ සංවාදයක් ඇතිවිය යුතුයි.

මේ රජය මගින් වංචනිකයින්ට, දූෂිතයිනට දඬුවම් ලබාදීමේ ක්‍රියාමාර්ග ක්‍රමානුකූලව අඩපණ කොට තියෙනවා. දැන් වංචා හා දූෂණ සෙවීමේ කමිටුවේ කාර්යයන් අවසන්. ආණ්ඩුව අතේ තමයි තියෙන්නේ පරීක්ෂණ ඉදිරියට ගෙනියනවාද නැද්ද වංචාකරුවන්ට දඬුවම් දෙනවාද කියලා. වංචනිකයින්ට එරෙහිව සමහරක් පරීක්ෂණ අවසන් වෙලා තියෙනවා. තවත් පරීක්ෂණ කරගෙන යනවා. නමුත් මේවා එක තැනක නතර වෙලා තියෙනවා. මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී තියෙනවා යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ලලිත් කංකානම්ගේ – ගිංතොට / සමන් කුමාර – බූස්ස  /සුනෙත් ගාල්ලගේ – ගාල්ල