හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනහමුවේදී අදහස් දක්වමින්

‘මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න තමයි මේ එළියට බැහැලා කතා කරන්නේ. අද සමහරු මට දොස් කියනවා මම පක්ෂය කඩන්න හදනවාලු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා කියලා මට චෝදනා කරලා හරියන්නේ නෑ. අම්මාගෙන් දුව කඩාගෙන යනකොටත් මම පක්ෂයේ හිටියා. පුතා කඩාගෙන යනකොටත් මම පක්ෂයේ හිටියා. මහ ‍ලේකම්ලා කඩාගෙන යනකොටත් මම පක්ෂයේ හිටියා. පක්ෂය කැඩුවේ මම නොවෙයි’ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

කලාවැව අක්කර 500 ප්‍රදේශයේ පිහිටි උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ නිවසේ පැවැති ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 30දා මේ බව සඳහන් කළේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 29 වැනි දින පස්වරුවේ අනුරාධපුරයට පැමිණි අතර රාජපක්ෂ මහතා පළමුව තඹුත්තේගම, වෙහෙරගල විහාරස්ථානයට පැමිණ එහි පැවැති ආශිර්වාද පූජාවකට සහභාගි විය. අනතුරුව රාජපක්ෂ මහතා අනුරාධපුර ජයශ්‍රී මහ බෝ සමිඳුන් වැඳ පුදාගෙන ජයශ්‍රී මහ බෝ සමිඳුන් අභියසදී ආශිර්වාද පූජාවකට සහභාගි විය.

පසුගිය 30දා විජයපුර විජය විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ පැවැති ආශිර්වාද පූජාවකින් අනතුරුව තිරප්පනය, අඹතලාගම රජමහා විහාරයේ ධර්මශාලාව විවෘත කිරීමට සහභාගි වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනතුරුව කැකිරාව ප්‍රදේශයේ ජනහමුවකට සහභාගි වී සවස කලාවැව අක්කර 500 ප්‍රදේශයේ ජනහමුවට සහභාගි වූයේය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
‘ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඩාර්ලි පාරේ 301 ගොඩනැගිල්ල ‍නෙවෙයි. බෝඩ්ලෑල්ල ‍නෙවෙයි. ලාංඡනය ‍නෙවෙයි. 91න් පස්සේ අපි ‘අත’ ලකුණෙන් තරග කළේ නෑ. අන්තිමට තරග කළේ අපි 1991දී විතරයි. මේ ඉතිහාසය අමතකයි. ජනතාවටත් අමතකයි, අපටත් අමතකයි, දේශපාලනඥයාටත් අමතකයි. දැන් නිකම් කටට එනවාට කෑගහනවා ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා කියලා. කොහෙද රටේ පංචමහා බලවේගය ඒකරාශි වෙන්නේ එතැන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජ කරන්නේ. ජනතාවගේ හදවත්වලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජ කරන්නේ. ප්‍රතිපත්තිවලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජ කරන්නේ.

අපි අවුරුදු 30ක් තිබුණ යුද්ධය අවසන් කරලා මේ රටේ සියලු ජනතාවට අභයදානය ලබාදුන්නා. අපේ දරුවන්ට යුද්ධය අමතකයි. එයාලට යුද්ධය තිබුණු හැටි අමතකයි. ඒ වගේම අපේ රටේ තරුණ පරපුර එක්සත් ජාතික පක්ෂයක රස බලලා නෑ. තරුණයන්ට වධකාගාර ගැන අමතකයි. 89-90 කා‍ලේ ඉපදුණ දරුවෝ අද ඡන්දදායකයෝ. එදා තිබුණ භයානක තත්ත්වයත්, එදා රට වැටී තිබූ තත්ත්වයත්, අපේ රටේ සම්පත් විකුණා දැමූ ආකාරය ඒ තරුණයින්ට දැන් අවබෝධයක් නෑ. මෙවැනි තත්ත්වයක් තුළ ඇවිත් තමයි අපි 2005 මැතිවරණය ජයග්‍රහණය කරලා මේ රට ඒකීය රටක් බවට පත්කරලා රටේ සංවර්ධනය ආරම්භ කළේ.

“පුතා කඩාගෙන යනකොටත් මම පක්ෂයේ හිටියා. මහ ‍ලේකම්ලා කඩාගෙන යනකොටත් මම පක්ෂයේ හිටියා. මම පක්ෂය කඩන්න හදනවාලු.පක්ෂය කැඩුවේ මම නොවෙයි’”

ඉතා කෙටි කාලයකින් මෙතරම් සංවර්ධනය වූ යුගයක් මේ රටේ තිබුණා කියලා මම හිතන්නේ නෑ. මේ ගම්වල තිබුණ පාරවල් කොහොමද තිබුණේ? ගමේ රෝහල්, පාසල් ඇතුළු රජයේ කාර්යාල සියල්ල පිළිබඳ අපේ අවධානය යොමු කරලා අපි සංවර්ධනය කළා. මේ සංවර්ධනය හුඟක් අයට දිරෙව්වේ නෑ. දිරවගන්න බැරිවුණා. සංවර්ධනයේ වේගය වැඩියි. ඒ නිසා මේවට උත්තර දෙන්න විදිහකුත් නෑ. පාරවල් ටික කාපට් කරලා ඉතා වේගයෙන් ගමන් බිමන් යනවා. මේ නිසා නොයෙක් මත ඉදිරිපත් කළාම ඒවා ගිලගන්න ‍ලේසි වුණා. ඉන්ටර්නෙට්, තොරතුරු තාක්ෂණය අද අපේ දරුවන්ගේ ඇඟිලි තුඩුවල තියෙනවා. එදා මේක තිබුණේ නෑ. එදා අපි මහින්දෝදය විද්‍යාගාර හදලා අපි අපේ දරුවෝ ලෝකයත් එක්ක තරග කරන්න දැම්මා.

අපිට ඕනවෙලා තිබුණේ ලෝකයත් එක්ක තරග කරන දරුවෝ පිරිසක් මිසක් ගමේ තරග කරන්න ‍නෙවෙයි. අපි පරිගණක විද්‍යාගාර, ගණිතය, විද්‍යාව විද්‍යාගාර, භාෂාගාර ගම්වල හැදුවා. දැන් ඒවා විවෘත කරන්නෙත් නෑ.

සමහරු කියනවාලු විද්‍යාගාරයට බඩු ඕන නම් මහින්දෝදය විද්‍යාගාරයේ ‘මහින්දෝදය’ කපන්නලු. සමහරු මහින්දෝදය කපලා බඩු ටික ගෙන්වා ගන්නවා. මම කිව්වා ඕක ගලවලා දාගන්න. බඩු ටික දීලා දරුවන්ට ඉගෙන ගන්න ඉඩ තියන්න. මේක තමයි මේ අයගේ මානසිකත්වය. මේ අයට වැඩ කරගන්න බැරිව මහා හීනමානයකින් පෙලෙනවා.

පිටරටවලින් දැන් මේ රටට හාල් ගේනවා. අපි වැඩිපුර හාල් නිෂ්පාදනය කරලා පිටරටට හාල් යවන එක යුගයක් ඇති කළා. අවුරුදු ගණනක් වගා නොකර පුරන් වෙලා තිබුණ කුඹුරු නැවත අස්වද්දන්න අපි පටන් ගත්තා. මේ රට සංවර්ධනය කරගෙන ආව යුගයක් තමයි මේ අතරමග නැවතුණේ. දින 100ක කැලැන්ඩරයක් දුන්නා ජනතාවට. මේ දවස් 100ට මේවා මේවා කරනවා කියලා ඡන්දය දෙන්න කිව්වා. දැන් අරගෙන බලන්න ඒ කැලැන්ඩරය දින 100ට මොනවද කරලා තියෙන්නේ කියලා. පළිගැනීම් හැර වෙන කිසිවක් කරලා නෑ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කිව්වට එහි බලතල අහෝසිවෙලා නෑ. ‍පොඩි සොච්චම් බලයක් දෙකක් අයින් වෙලා. මේ අච්චාරු ආණ්ඩුව එක්තරා විදිහකට ඔවුන්ගේ දේශපාලන පළිගැනීම් හා වුවමනාවන් දැන් ඉෂ්ට කරගෙන යනවා වෛරයෙන්, ක්‍රෝධයෙන්, පළිගැනීමෙන් යුතුව කටයුතු කරනවා.

සමහරු කතා කරන්නේ වෛරයකින්. මේ දේශපාලන ශබ්ද කෝෂයට ‘විනාශ කරනවා’ කියන වචනය මේ මැතිවරණයෙන් පසුව එකතු වුණා. මෙච්චර කාලයක් දේශපාලන ශබ්ද කෝෂයේ හතුරා විනාශ කරනවා කියලා කිසිම නායකයෙක් කිව්වේ නෑ. හැබැයි අද කියන්නේ රාජපක්ෂ විනාශ කරනවා කියලා. මේ වෛරය, ක්‍රෝධය වැරදි ආදර්ශයක්.

දැන් ජනතාව වී එහෙම රුපියල් 50ට විකුණනවා ඇති ‍පෝලිමේ ගිහින්. කමතට ඇවිත් ගන්නවාලු 50ට. ‍පොහොර නොමි‍ලේ දෙනවාද නිකම්, ජනතාවට දුන්න පින් පඩිය දැන් මාස තුනකින් ගෙවලා නෑ. මම ඉන්න කා‍ලේ 60 පැන්නට පස්සේ වැඩිහිටියන්ට රුපියල් 3000ක් දුන්නා. ඒක අද නෑ. වකුගඩු ආධාර දෙන්නේ නෑ. දැන් කොච්චර ලාභද? අල එහෙම හුඟක් ලාභ කරලා මේ ආණ්ඩුව. බොම්බායි ලූනු ඉතාම ලාභයි. මේක තමයි වෙනස. අපි එදා ගොවියා රැක්කා. දැන් ආණ්ඩුව වෙනත් රටවල ගොවියා රකිනවා. මේ ඉතිහාසය අමතක කරන්න එපා.

කෑලිවලට කැඩෙන්න ගිය රටක් අපි එක්සේසත් කරලා දුන්නු රට අනාගතය භාරගන්න ඉන්න දුවා පුතාට විතරක් ‍නෙවෙයි නූපන් දරුවන් වෙනුවෙනුත් ඒකීය රටක් වශයෙන් තබාගැනීමට පියවර ගැනීමේ වගකීම ජනතාවට තිබෙනවා. ඒ නිසා ඔබේ තීන්දු ගැනීමේදී මොන තීන්දුව ගත්තත් මාතෘභූමිය පාවා නොදී, සියලු ජාතීන්ට හා ආගම්වලට එකට සිටිය හැකි රටක් ගොඩනගන්න තීන්දු ගන්න’ මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් චමල් රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක ලෙස නම් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවට සහභාගි වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඒ අවස්ථාවේදී සිනාමුසුව මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ‘අයියා මොකද? මල්ලි මොකද?’ යනුවෙනි.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් විමසීමක් කළ අතර එයට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ‘ඔයිට වඩා දේවල්වලට කැඳවයි’. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනකු සඳහා නව අමාත්‍ය ධුර ලබාදීම පිළිබඳවද මාධ්‍යවේදීන් විමසීමක් කළ අතර ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ‘රත් වෙනකොට තව ඇමැතිකම් දෙයි’ යනුවෙනි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන එස්.එම්. චන්ද්‍රසේන, එස්.පී. මුතුකුමාරණ, වීරකුමාර දිසානායක, ෂෙහාන් සේමසිංහ, ඩබ්ලිව්.බි. ඒකනායක, තිස්ස කරල්ලියද්ද යන මහත්වරු ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරු මන්ත්‍රීවරු ඇතුළු විශාල ජනතාවක් එක්ව සිටියහ.

ජනහමුවට සහභාගි වූ පිරිසෙන් කොටසක්
ජනහමුවට සහභාගි වූ පිරිසෙන් කොටසක්

බුද්ධික විජේසූරිය-අනුරාධපුරය