හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකකම ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධාන පක්ෂ නායකයන්ට පෙරේදා (27) රාත්‍රී ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පලවා හැර සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක ලෙස නම් කරන්නැයි සන්ධාන නායකයන් කිහිප දෙනෙක්ම ජනාධිපතිවරයාගෙන් මෙම හමුවේදී ඉල්ලා ඇත.

එසේ වුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට එකඟ වී නැත.

අගමැති අපේක්ෂක ධුරයක් නම් නොකරන බව මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සන්ධාන නායකයන්ට දැනුම් දී ඇත.

සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මැතිවරණ ව්‍යාපාරයක් පවත්වන්නේ නම් ඊට ප්‍රබල සාධකයක් වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයකු ලෙස නම් කළ හොත් පමණක් බව සන්ධාන නායකයන් කිහිප දෙනෙක් මෙම හමුවේදී අදහස් දක්වා තිබේ.

මෙහිදී එළැඹෙන මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා තමාට ශක්තිය ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී ඇත.

මේ අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් සන්ධාන පක්ෂ නායකයන්ගේ සහාය ලබා දෙන බව මෙම හමුවේදී තීරණය කර ඇත.

ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, ඒ.එල්.එම්. අතාවුල්ලා, ප්‍රභා ගනේෂන්, මුත්තු සිවලිංගම්, පියසිරි විජේනායක, වීර කුමාර දිසානායක, අසංක නවරත්න, ‍පොඩි අප්පුහාමි, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරු ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පෙරේදා (27) රාත්‍රී මෙම හමුව පැවැත්විණි.