අරාජික වී ඇති ආර්ථිකය ඉදරියට ගෙන යාමට නම් ශ්‍රී ලංකා රේගුව වැනි රජයට ආදායම් ලබාදෙන ආයතනවල ප්‍රධානීන් පත් කිරීම හා ඉවත් කිරීම දේශපාලනයෙන් තොරව සිදුවිය යුතු බව ජවිපෙ අවධාරණය කරයි.

එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. බත්තරමුල්ල පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (28) පැවැති මෙම හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ හඳුන්නෙත්ති මහතා මෙසේද කීය.

වත්මන් ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් ජනතාව ඡන්දයක් දීලා පත් කර ගත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බලා‍පොරොත්තුවෙන්. ඒ ජනතාව ආර්ථික කාරණා ගැන කතාබහ කිරීම ටිකකට පැත්තකින් තිබ්බා. නමුත් ආණ්ඩුව රටේ ආර්ථිකය අමතක කළ යුතු නැහැ. වර්තමාන ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකය අනාථ කරලා තිබෙනවා.

රටේ යහපත් ආර්ථික ගමනක් සඳහා මේ ආණ්ඩුවෙන් යෝජනා, අණපනත් කිසිම දෙයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ නැහැ. ආණ්ඩුව ගෙනාපු අතුරු අයවැයේ තිබෙන සමහර යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ යුතුව තිබෙනවා. නමුත් ඒ පිළිබඳව කිසිදු අවධානයක් නැහැ.

උදාහරණයක් විදියට පසුගිය අතුරු අයවැයෙන් සමෘද්ධිලාභීන්ගේ දීමනාව රු. 1000 සිට 3000 දක්වා වැඩි කරන්න යෝජනාවක් ගෙනාවා. මහ‍පොළ ශිෂ්‍යාධාර රු. 5000ක් දක්වා වැඩි කරනවා කිව්වා. නමුත් එම යෝජනා පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කරලා ක්‍රියාත්මක කරන්න මේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ඒවා අතුරු අයවැයේ යෝජනා පමණක් බවට පත්වෙලා. පාර්ලිමේන්තුවේ කිසිදු ඵලදායී දෙයක් සිදුවෙන්නේ නැහැ. රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු නතර වෙලා.

එම ක්ෂේත්‍රයේ සේවය කරපු 70000කගේ පමණ රැකියා අහිමි වෙලා. එම ව්‍යාපෘති සඳහා රජයේ ආයතනවලින් ගෙවිය යුතු මුදල් ගෙවා ගැනීමේ දුෂ්කරතාවන් මතුවෙලා. සතොස වැනි ආයතන භාණ්ඩ මිලදී ගැනීම් නතර කොට තිබෙනවා. ජනතාවට අවශ්‍ය බඩු දැන් සතොසේ නැහැ. ආර්ථිකය සම්පූර්ණයෙන්ම අරාජික වෙලා.

රටේ ආර්ථිකය යහපත් වෙන්න නම් මහ බැංකුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආයතන සක්‍රීයව තිබිය යුතුයි. නමුත් මෙම ආයතනවල ක්‍රියාකාරීත්වය දැන් රටේ ආර්ථිකය කඩා වැටීම පිළිබිඹු කරන ආයතන බවට පත්වෙලා. ඒවා දේශපාලනීකරණය වෙලා.

රටේ ආර්ථිකය බිඳවැටෙමින් තිබෙන මොහොතක රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් පෞද්ගලික හේතු මත කියමින් ඉල්ලා අස්වුණා. මෙම අධ්‍යක්ෂ ජනරාල්වරයා එම තනතුරට පත්වීමේදීත් ඔහුට විවිධ විවේචන එල්ල වෙලා තිබුණා. ඔහුගේ පත්වීම දේශපාලනික හේතු මත සිදුවූවක් බවට චෝදනා තිබුණා.

අද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීම පිටුපස දේශපාලන මැදිහත්වීම් සහ විවිධ ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු එළියට එමින් තිබෙනවා. කරුංකා පුවක් ගනුදෙනුවක් පිළිබඳව දැන් සාකච්ඡාවක් මතුවෙලා. ඒ වගේම ග්ලයිකෝ ‍පොස්පේට් කන්ටේනර් 15ක් රේගුවෙන් නිදහස් කිරීම පිළිබඳවත් පැරණි වාහන ලංකාවට ගෙන ඒමේදී නිකුත් කරන බලපත්‍ර ලබාදීම පිළිබඳවත් දැන් විවිධ කතාබහ මතුවෙලා. පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරුත් තමන්ගේ විෂය පථය පාවිච්චි කරලා ව්‍යාපාර කටයුතු කළා. අද එක්සත් ජාතික පක්ෂ පාලනය තුළත් ව්‍යාපාර කරන ඇමැතිවරු ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයට උදව් කරන්නේත් ව්‍යාපාරිකයෝ.

පසුගිය කාලයේ අපේ රටේ කෘමි උවදුරක් පිළිබඳව සාකච්ඡාවක් මතුවුණා. එයට ලංකාවට ආනයනය කරන ශාඛ හා සත්ත්වමය භාණ්ඩ බලපාන බවට කතාබහක්ද මතුවුණා. එමනිසා රටකට භාණ්ඩ ආනයනය කිරීමේදී මුදල ගැන පමණක් නොව පරිසර හානිය සම්බන්ධයෙන්ද සැලකිල්ලට ගත යුතුය. එම නිසා පසුව මැයි  මාසයේ සිට මෙම කරුංකා පුවක් ජාවාරම නතර කරන්න රේගුව තීරණයක් ගත්තා. එසේ තිබියදී කරුංකා පුවක් කන්ටේනර් 58ක් නිදහස් කරන්න කියලා දේශපාලන බලපෑම් ආවා. මෙම බලපෑම් නිසා රේගුවේ නිලධාරීන් කළකිරුණා. එම නිලධාරීන්ට තමන්ගේ රාජකාරි කටයුතුවලට බාධා සිදුවුණා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීමටත් මෙම ගනුදෙනුව බලපාලා තිබෙනවා.

ලංකාවට පැරණි වාහන ගෙන්වීමේදී වසර 3කට වඩා පැරණි වාහන ගෙන්වනවා නම් ආනයන අපනයන පාලකගෙන් විශේෂ අවසරයක් ලබාගත යුතුයි. නමුත් මේ වනවිට එම නීති නොසලකා පැරණි වාහන ගෙන්වමින් තිබෙනවා. ආනයන අපනයන පාලකගේ සීමාවක් නැති අවසරය ඇතිව පැරණි වාහන ගෙන්වනවා. ආණ්ඩුවේ ඇමැතිවරු එයට මැදිහත් වෙනවා. ඡන්දයේදී උදව් ගන්න දැන් තමන්ගේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට උදව් කරනවා.

ජනතාව ඡන්දය දීලා බලයට පත් කරන ආණ්ඩුවෙන් ව්‍යවස්ථා සංශෝධන සම්මත කරලා කොමිෂන් සභා පත් කරනවා. ඒවාට නිලධාරීන් පත් කරනවා. නමුත් ඊට පිටින් දේශපාලන බලපෑම් සිදුවෙනවා නම් කොමිෂන් සභාවලින් ඇති වැඩේ මොකක්ද? මේ තත්ත්වය වළක්වන්න මැදිහත් වෙන්න ඕනෑ. ආණ්ඩුව කරන දේශපාලන පත්වීම්, මාරුකිරීම්, ඉවත් කිරීම්, වහා නතර කළ යුතුයි. රටක ආර්ථිකයේ හදවත බඳු රේගු දෙපාර්තමේන්තුව පිරිහුනේ දේශපාලන පත්වීම් නිසයි.

එවැනි කැපකිරීමකින් වැඩකරන ආයතනවලට දේශපාලන ඇඟිලි ගැසීම් කිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මේ ආණ්ඩුවේ මහබැංකු ගනුදෙනුවේදී දකින්නට ලැබුණේ එවැනි තත්ත්වයක්. එමනිසා සුදුසුකම් මත රාජකාරි අවශ්‍යතාව මත හැකියාව මත ඉහළට එන නිලධාරීන් රාජ්‍ය ආයතනවලට පත් කළ යුතුයි. එසේ නැතිනම් රටේ ආර්ථිකය අරාජික වෙනවා. එම නිසා ආයතන ස්වාධීන ආයතන බවට පත්කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒ සඳහා සියලුම දේශපාලන බලපෑම් නතර කළ යුතුයි.

තිලක් පුෂ්ප කුමාර