Friday, 18th April 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 17.04.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1400 විකුණුම් මිල (රු) 132.0200 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 216.6700 විකුණුම් මිල (රු) 222.8700 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 177.7000 විකුණුම් මිල (රු) 183.5100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 145.6800 විකුණුම් මිල (රු) 151.0400 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.7200 විකුණුම් මිල (රු) 120.6700 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 120.1400 විකුණුම් මිල (රු) 124.6700 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 102.7600 විකුණුම් මිල (රු) 106.1300 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2613 විකුණුම් මිල (රු) 1.3018

වික්ටර් නම් යුග පුරුෂයා

සංගීතඥයෙකුට එක් වරක් පමණක් හිමිවන සිටිසෙල් චැනල් අයි සම්මානය මෙවර ලංකාවේ විශිෂ්ටතම සංගීතව්දියකු හා ගායන ශිල්පියකු වන ආචාර්ය වික්ටර් රත්නායක මහතාට හිමි වී ඇත. මෙම සම්මානය ජූලි මස 30 වන දින සංස්කෘතික අමාත්‍ය ටී.බී. ඒකනායක මැතිතුමා අතින් ඔහු වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබීමට නියමිතය.

බංගලිදේශයේ ප‍්‍රථම සංනිවේදන සමාගම වන සිටිසෙල් 2004 වර්ෂයේ සිට විෂයයන් 16 ක් පදනම් කොට ගෙන කලාකරුවන් වෙත මෙම සම්මාන පිරිනැමීම සිදුකරනු ලබයි. වික්ටර් රත්නායකයන් මෙම සම්මානයට නිර්දේශ කරන ලද්දේ පසුගිය පෙවරවාරි මාසයේ දීය. හැට හෑත්තෑව දශකයේ සිට සිංහල රසිකයන්ගේ හද ඇද බැඳ ගත් කලාකරුවකු වන වික්ටර් රත්නායකයන් වර්තමාන සිංහල සංගීතයේ දේශීය අනන්‍යතාවය ශක්තිමත් කරලීමට උත්සාහ කළ යුග පුරුෂයකු යැයි කිව යුතුය. නමුත් සිටිසෙල් තේරීම කර ඇත්තේ හින්දුස්ථානි අනන්‍යතාවය වෙනුවෙන් බව පැහැදිලිය.

සිංහල සංගීතයේ අනන්‍යතාවය හින්දුස්ථානි නොවේ. එය සුවිශේෂිය. මේ සම්ප‍්‍රදාය අපගේ අදීන ගායන ශිල්පීන් විසින් ඉතාමත් අසීරුවෙන් ගොඩ නගා ගත්තකි. ඩබ්.ඞී . අමරදේවයන් සිය ස්වතන්ත‍්‍ර නිර්මාණයන් ගෙන් ගුවන්විදුලි හා චිත‍්‍රපට සංගීතයෙහි ඉඩ  හසර පුරවන කල්හි හින්දි ගීත අනුකරණය කරමින් ඒ තනුවලට සක්ක පද යොදමින් සිටි ශිල්පීන් පවා තමන්ගේ නිර්මාණයන් කෙරෙහි නැවත හැරී බලන්නට උත්සාහ ගත්හ. නවසිය හතළිස් අටේ ලැබූ නිදහසත් රටේ පැවති සුබසාධක ආර්ථිකයත් විසින් හැට හැත්තෑව දශකවල ඇති කරන ලද සෞන්දර්යවාදී ප‍්‍රවේශය මේ කලා කෘති ගොඩ නැග්මට අපූරු තෝතැන්නක් විය. වික්ටර් රත්නායකයන් රජයේ සංගීත විද්‍යාලයෙන් ඉවත්ව ගුරුවරයකු ලෙස බණ්ඩාරවෙල ඇත්තලපිටිය මහ විදුහලේ සේවය කරන අවදිය සිංහල ගායන රටාවන් නව මගක යන්නට උත්සාහ කළ කාලවකවානුවකි. ජේ.ඒ. මිල්ටන් පෙරේරා ධර්මදාස වල්පොල සිසිර සේනාරත්න මෙන්ම එච්. ආර් ජෝතිපාලයන්ද සිංහල රසිකයින්ගේ හද බැඳ ගත් ගායන ශිල්පීන් ලෙස එදා කිරුළ පැළඳ සිටියහ.

වික්ටර් සිසිල් සුළංරැල්ලේ ගීතයෙන්ම රසික හද බැඳ ගත්තේ ය. ඒ ගීත තැටියටම අඩංගු වූ පාවේ වලා, ශෝක සැනසුම් වේදනාවන්, දෙතොළඟ සිනහා වැනි නැවුම් ආරේ පේ‍්‍රම ගීතයන් ගුවන්විදුලියේ ඇසෙන්නට ඇසෙන්නට පෙර සඳහන් කළ අනුකරණවාදී ගායන ශිල්පීන්ගේ ආවේශයෙන් බැහැර සංගීත නාදයක් නිර්මාණය වන්නට විය. වික්ටර් රත්නායක ගායන ශිල්පීයා අද හැත්තෑ එක් විය පසු කර සිටී. ඔහුගේ ගායන දිවියේ එකිනෙකට වෙනස් කඩයිම් තුනක් මම දකිමි. හින්දි ගීත සිහිපත් කරවන එහෙත් ඉන්දියානු රාගධාරි සංගීතයෙන් ම`දක් ඈත් වූ නාද ස්පර්ශයන් යොවුන් හදවත් තුළට මෙන්ම සමස්ත සමාජයටද මුදා හැරීම ඉන් එක් අවදියකි. ඒ අවදියේදීම ආර්.ඒ. චන්ද්‍රසේනයන්ගේ ඇසුරේ වැඩුණු වාදන ශිල්පියෙකු විලසින් විකටර් නව ආරක බටහිර නාද මාලාවන්ද සිය නිර්මාණ කෙරෙහි ආරෝපණයට සමත් වෙයි. මෝහෙන් මුලා වෙලා, ජන්ම භුමි වන්දනා, ශ‍්‍රී ලංකා කලාකෙතේ, පුන්සඳෙන් රැස් ගංතෙරෙන් , ළිදෛන් වතුර බීලා වැනි පද අරුතින් සරු නවමු ගීත ගුවන් විදුලියේ ජනප‍්‍රිය ගීත අතරට එක් විය. එසේම තවත් වෙනසක් විය. ඒ බොදු බැති ගී සරණියට ඔහු අතින් නවමු පදවැල් සමග හද බැඳ ගන්නා ගීතාවලියක්ද ඉදිරි පත් වීමයි. දෙව්රම් වෙහෙරේ ගීතය ඔහුගේ ජනප‍්‍රියතම බැති ගීය බවට පත් විය. ස ප‍්‍රසංගය අතරතුර මේ ගීතය ඇසෙන කල්හි ශාලාවේ එකදු හඬක් නැගෙන්නේ නැත. රසිකයින්ගේ සමාධිය වික්ටර් රත්නායකයන් ධෛර්යමත් කළ බවට නිසැකය.

අරුණලූ පැතිරෙන හිමිදිරි යාමේ  - සිතුවිලි පව්වේ පෙරදිග        අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි- හිමියනි මම බුදු රැස් දැක    ගත්තෙමි

යනුවෙන් ගැයූ මේ ගීතය අද අප‍්‍රකටය. එහෙත් ඔහුගේ බුදු බැති ගී අතරින් ඉතාමත් සාර්ථක මහාර්ඝ ගීතයක් ලෙසින් එය මම දකිමි. කුම්භ ලග්නයෙන් උපන් වික්ටර් රත්නායකයන්ට මිත‍්‍ර  සම්පත්තියෙන් අඩුවක් නොවීය. ගුවන් විදුලි වාදකයෙක් විලස සිය  වපසරිය තුළ දැන හඳුනාගත් ශිල්පීන් රාශියක් ඔහුට සහායට සිටියේය. මර්වින් පෙරේරා නම් වූ කල්‍යාණ මිත‍්‍රයා මෙන්ම පුණ්‍යසිරි මහවත්ත, සේන ජයන්ත වීරසේකර ඔහුගේ මධුර ගීතයන්ට සැපයූ තනු විවිධත්වයේ මං සළකුණු තැබීය. අමරදේවයන් ගැමි ගීයට තබන ලද ප‍්‍රවිශ්ඨය වික්ටර් ගේ නාද මාලාවන්ගෙන් සංවර්ධනය වී සිංහල සංගීතයට නව සළකුණක් එක් කළේය. හිරු පායන පාන්දරින්, මුතු වරුසාවට  තෙමිලා, ?කල පැලට, වීහේනේ ලගින්නේ වැනි ගීතවල ඇති මටසිලූටු ස්වභාවය යටින් නින්නාද වන්නේ ගැමි ජීවීතයේ සරල සුගම බවයි. ගැමියන් ආදරය පේ‍්‍රමය දකින ආකාරය නාගරිකයන්ටද පොදු අත්දැකීමක් බවට පත් වන්නේ වික්ටර්ගේ මධුර ගායනා ස්වරයෙනි.

එළිය කරයි සඳ නැග වෙල ළඟ දෙණිය - බඹරු පුරනවලූ මීවද වල පැණිය
සිතක සතුට වක්කඩ කැඩුවා වැනිය - ඇයට බාර දෙනවාමයි මගෙ තනිය

යනුවෙන් පේ‍්‍රමකීර්ති ද අල්විස් ගේය  පද රචකයා සටහන් කරන කවිය සැබැවින්ම සිංහල ජන ගායනාවක ප‍්‍රති නිර්මාණයකි. උඩරට උඩැක්කිය පසුබිමෙන් වාදනය වන මේ ගීතය තව දුරටත් ඉන්දියානු රාගධාරි  නාද මාලාවන් ඔස්සේ යන්නක් බවට පත් නොවේ. ප්‍රේමකීර්ති, කේ. ඞී. ක් ධර්මවර්ධන, බණ්ඩාර කේ. විජේතුංග වික්ටර්ගේ සමකාලීන ගුවන්විදුලි ගී රචකයින්ය. මේ මිත‍්‍ර සම්පත්තිය ඔහුගේ සංගීත දිවිය නව මාවතකට ගෙන ආයේය. ඒ ගීත තරංගනි සංගීත වැඩ සටහනෙන් යයි මට සිතේ. ජී.එස්.බී රාණි පෙරේරා මහත්මියගේ නිෂ්පාදනයක් වූ මේ වැඩ සටහන මගින් වික්ටර් පමණක් නොව මර්වින් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි වැනි ශිල්පීන්ද සංගීත ක්ෂේත‍්‍රයේ පර්යේෂණ යන් ආරම්භ කලේය. මේ වික්ටර් ගේ දෙවනි කඩයිමයි. වික්ටර් අතින් මාලිනියේ, පුංචිහාමු, පොඩි කුමාරිහාමියේ, ආදරයේ උල්පත වැනි ගීත බිහි වන්නේ සිංහල ජන සංගීතයත් පැරණි නාඩගම් සංගීතයත් රාගධාරි සංගීතයත් එමෙන්ම බටහිර සංගීතයත් එකට මුසු කරලීමෙනි. මේ සංගීත පර්යේෂණයන්ට අරුත් බර ගීත ලියූ පෙර කී ශිල්පීන් අතරට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ද එකතු වීම වීක්ටර් ගේ භාග්‍යක්ම විය. මේ පර්යේෂණ ආරම්භය ඔහු ගේ ස ප‍්‍රසංගයට ඉතාමත් වටිනා ගීතාවලියක් එකතු කලේය.

සුනිල් ආරියරත්නයන් රචනා කළ තොටුපළ අයිනේ ගීතය වේදිකාවේ ගැයෙන කල්හි ශාලාවෙන් ඇහෙන නොසන්සුන්තාව මුණු මුණවක් වී නිහඬතාවයකට පරිවර්තනය වූ හැටි මට අදත් මතකය. ඒ කළුතර පුරහලේ දී මුල් වතාවට ස ප‍්‍රසංගය නැරඹූ දවසයි. එසේම තනි තරුවේ ගීතයද එසේමය. හැත්තෑව දශකයේ ඇරඹෙන මේ යුගය සිංහල සංගීතයේ නිම් වළලූ පුළුල් කරමින් වටිනා ගීත රැසක් බිහි කළ  යුගයක් විය. එයට එක් හේතුවක් වූයේ පණස් හයේ පෙරළියෙන් පසුව නිදහස් අධ්‍යාපනයෙන් ප‍්‍රයෝජන ගනිමින් පැරණි සම්භාව්‍ය අධ්‍යාපනය ද පසුබිමේ තබමින් අපගේ ගේය පද රචකයන් ගීත රචනයට ප‍්‍රවිශ්ටවීමයි. වික්ටර්ගේ චිත‍්‍රපට ගීතය ද වෙනස් ආරක යැවුනක් විය. මට මෙහිදී මතකයට නැගෙන්නේ වෙස් ගත්තෝ චිත‍්‍රපටයේ අඩවන් දෑසින් ගීතයයි. චිත‍්‍රපටකරුවන් වික්ටර්ව දකින්නේ බටහිර ආරට සමීප කටහ`ඩක් ඇත්තෙකු විලසටය. ගිගිරි ගීත රාවේ වැනි ගීතද එයට නිදසුන්ය. එහෙත් මාතර ආච්චි චිත‍්‍රපටය තුළින් සංගීත අධ්‍යක්ෂණයට යොමු වූ වික්ටර් සිය පර්යේෂණ දැනුම එයටද මුසු කළේය. හිනැහෙන්න රෝමියෝ මමයි , අඳුර බිඳින්නට වැනි ගීත එයට උදහරණයන්ය. මේ වික්ටර් ගේ තෙවනි වර්ධනීය අවස්ථාවයි.
දෝස්ති  නම් හින්දි චිත‍්‍රපටයේ චායාවක් වන කළණ මිතුරෝ වික්ටර් ප‍්‍රධාන පසුබිම් ගායකයෙක් බවට පත් කළේය. ඔහු එහිදී මෙහොමඞ් රාෆි කෙනෙකු නොවුණු බව සැබෑය. එහෙත් සංගීතවේදී ෂෙල්ටන් පේ‍්‍රමරත්නයන් කළණ මිතුරෝ චිත‍්‍රපටයට නිර්මාණය කළ සංගීත ස්වර රටාවන් මගින් වික්ටර් රත්නායකගේ අනන්‍යතාවයට මහා පෞරුෂයක් එකතු කළ බව මට මතකය. කළණ මිතුරු දහමයි - පිරුණු සදාදරයයි මෙන්ම උපන් කාට උණත් මේ චංචල ලෝකේ  වැනි ගීතයන් ස්වතන්ත‍්‍රව නිර්මාණය වීමද ගැයීමද එකල මහා අභියෝගයක්ම විය.

1960-1980 සිංහල සංගීත ක්ෂේත‍්‍රයේ ස්වර්ණමය අවදිය විය. අමරදේව, සනත් නන්දසිරි, වික්ටර්, නන්දා මාලනී, මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා, මර්වින්  පෙරේරා, සුජාතා, ලතා, සිසිර ඉන්ද්‍රානි වැනි ශිල්පීන් ස්වකීය සංස්කෘතියේ අක්මුල් හැඳින ගනිමින් රසිකයින් අමන්දානන්දයට පත් කරන ගමන් භාව කම්පනයට පත් කරන පසුබිමක්  ද නිර්මාණය කොට අවසන් ව තිබුණි. ගුවන් විදුලිය පමණක්ම තිබූ යුගයක වුවත් සීමා මායිම් දැන හැඳින සිංහල සංගීතය කුමක්ද යන්න  පැහැදිලි කළ බව ස්ථීරය. සී. ද එස් කුලතිලකයන්ගේ ජන ගීත පර්යේෂණයන් නිසා මේ පසුබිම තව තවත් ශක්තිමත් විය. එහෙත් මේ මහා වෘක්ෂය විවෘත ආර්ථිකයේ සුලි කුණාටුවලින් වැසී ගියේය. ගුවන් විදුලියට කණ කොකා හැඬවුණි. දේශපාලන බලධාරීන්ගේ අත කොලූවක් බවට පත් වූ ගුවන් විදුලිය සිය ශිල්පීන් නොසලකා හැරියේය. එහි තිබූ මහාර්ඝ තැටි ඇතැමෙක් ඉරි ඇඳ විනාශ කළේය. ජාතකයක් නොදත් එෆ්.එම්. නාලිකා බිහිවන්නේ මේ පසුබිම යටතේය.

වික්ටර් සිය ගමන් මගේ ජාතියට දායාද කළ මහාර්ඝ ගීත අතර දේශාභිමාන ගායනා රැසක්ද වෙයි. සීගිරි ළඳකගෙ, රුවන් නිදන හෙළ බිමයි  වැනි මට සිලූටු ගිත පමණක් නොව ඉතාමත් අප‍්‍රකට ගීතයක් වූ මහගම සේකරයන් විසින් රචනා කළ ඈත එපිට ගම්මානෙක,  වෙල අද්දර පුංචි පැලේ වැනි ගීතයන්ද මෙහිදී මට මතක් වේ. එහි එක් කොටසක මෙලෙස සඳහන්ව තිබුණි.

පාන්දරින් වෙල් නියරේ- ඇවිදින කොට ලා     පින්නේ
වාසනාව මේ පොළවේ - හිතට කයට දැනෙයි    පුතේ

ඔහුගේ ඇසුරට මඩවල එස්. රත්නායක , අරිසෙන් අහුබුදු ,ඩෝල්ටන් අල්විස්, ධර්මසිරි ගමගේ වැනි ගීත රචකයන්ද සම්මාදම් වීම  ද මහා ශක්තියක් බවට පත් විය. ධර්මසිරි ගමගේ වරක් යොවුන්  පහන් වැට සම්මන්ත‍්‍රණයකට වික්ටර් රත්නායකයන් ගෙන්වූ හැටි තවමත් මට මතකය. ඒ ඔවුන් ගෙන් පසු නව ගේය පද රචකයින්ට අවශ්‍ය ශක්තිය ලබා දීම පිණිසය. බන්දුල නානායක්කාරවසම්, යමුනා මාලිනී පෙරේරා, මෙන්ම බණ්ඩාර ඇහැලියගොඩ නම් නව ගීත රචකයන් ගේ ඇසුර නව ගායකයින්ට ලැබෙන්නේ ඒ නිසාය. මේ යුග කාර්ය භාරය වර්තමානයේ දී ඉටු කළ යුත්තේ ගුවන් විදුලියයි. වසර හැත්තෑ එකක සිය ජීවිතය සංගීතයටම කැප කළ වික්ටර් නම් පහන් තරුව ද ලෝ අනියත අනුව දිනක නිවී යන්නෙහිය. එහෙත් අමරදේව වික්ටර් සනත් මෙන්ම නන්දා මාලිනීලා බිහිකළ සිංහල සංගීතයෙහි අනන්‍යතාවය අප ඊළඟ පරපුරට දායාද කළ යුතුය. ඒ යුග කාර්ය භාරය ඉටු කළ හැක්කේ ගුවන් විදුලියටම බව නැවත නැවතත් කියා පෑ යුත්තේ වික්ටර් නම් යුග පුරුෂයා බිහි කළේ ඒ මහ ගෙදරින් බැවිනි.
මතුගම සෙනෙවිරුවන්

 

W»ly

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.